සටහන – රුවන් නෙළුගොල්ල
අද රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ඉතිහාසය පුරා ඒ අය නිර්ධන පන්තිය නියෝජනය කරන බවත් රට විනාශ කළේ ධනපතිය පන්තිය යැයි පැවසූ නමුත් මේ වන විට ධනපති යැයි කියපු ආණ්ඩු ජනතාවගේ පැත්තෙන් හොඳට කළ දේවල්වත් මේ අයට අද කර ගන්න බැරිව කෙදිරි ගාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ධනපති යැයි කියන ආණ්ඩුව සාධාරණ මිලකට හාල් ලබා දෙන විට නිර්ධන පන්තිය නියෝජනය කරනවා යැයි කියන මාලිමාව හාල් ලබා දෙන්නේ රු.100ක් වැඩියෙන් බවත් රට විනාශ කළා යැයි කියන ආණ්ඩු සාධාරණ මිලට පොල් දෙනකොට නිර්ධන පන්තිය නියෝජනය කරනවායැයි කියන මාලිමාව අද පොල් දෙන්නෙත් රු.100ක් විතර වැඩියෙන් බවත් මේ අය නිර්ධන පන්තියට අමුතු සේවාවක් කරන බවත් ධනපති යැයි කියන කණ්ඩායම් කලට වේලාවට පොහොර සහනාධාරය දෙන විට මේ අය පොහොර සහනාධාරය සදහා අරමුදල් ලබා දෙන්නේ වගා කටයුතු අවසන් කිරීමෙන් පසුව බවත් මේ අයට කලට වේලාවට පොහොර ටිකවත් දී ගන්න බැරිව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රැකියා විරහිත උපාධිධාරින් දහදහස් ගණනින් මේ රජය බිහි කරන්න සහයෝගය ලබා දුන්නත් අද වන විට මේ අයට රැකියා විරහිත උපාධිධාරීන් පවා අනාථ කර ඇති බවත් රැකියා ලබා නොදි සාමකාමී උද්ඝෝෂණයේ නිරත උපාධිධාරින්ට කදුලු ගෑස්, බැටන් ප්‍රහාර හා රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර උද්ඝෝෂණ භුමියේ සිට රෝහලට උපාධිධාරීන් යවා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නගා බලයට පැමිණියායැයි කියන මාලිමාව අද සාමාන්‍ය ජනතාව පොදු ජනතාව අමතක කර ධනවාදය කොපි කරමින් නිර්ධන පන්තිය අමතක කර ඇති බවත් පැවසීය.
මේ රජය පළමු මාස දෙකේදී ජනතාව රැවටූ බවත් එම නිසා ජනතාව මාස 6ක් යන විට බොරුව මුසාව මුලාව ඇන්දවීම හොදට තේරුම් ගෙන ඇති බවත් මේ ආකාරයට වසරක් විතර යන විට ජනතාවට සැබෑ සත්‍ය යථාර්ථය අවබෝධ වන බවත් සත්‍ය කොච්චර අමිහිරි වුවත් ඒ ඇත්ත වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය නැගී සිටින බවත් රටේ ජනතාව රැකගන්න ආරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පොදුජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදය උදා වෙලා
මේ වන විට අමුතුම මාදිලියේ පාතාලයක් නිර්මාණය කරන්න වත්මන් රජය කටයුතු කර ඇති බවත් පාතාලයේ මුල් බීජය නාදුනන තුවක්කුකරුවන් පැහැර ගැනීමේ සංස්කෘතිය මිනිමැරීමේ සංස්කෘතිය අභිරහස් ලෙස රැගෙන යාමේ සංස්කෘතිය රටට හදුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ව්‍යාපාරය බවත් මොවුන් ජඩකම මැරකම පිස්තෝල සංස්කෘතිය තුවක්කු දේශපාලන රටට හදුන්වා දුන් බවත් එය රටේ ජනතාව අමතක නොකළ යුතු බවත් පොදුජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
අපේ ප්‍රතිපත්තිය මැද මාවතයි
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ අන්ත ධනවාදී අන්ත සමාජවාදී ප්‍රතිපත්තියෙන් බැහැර වූ මානුෂිය ධනවාදය කේන්ද්‍ර කර ගත් මැද මාවතේ ගමන් කිරිම බවත් කුප්‍රකට ගජමිතුරු ධනවාදි ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කර සමාජ සාධාරණත්වය යුක්තිය හා සාධාරණත්වය තුළින් ධනය බෙදා දීම බවත් සමාජවාදී ක්‍රමයට රටක් ගොඩනැගිය නොහැකි බවත් කොමියුනිස්ට් කියන චීනය හා රුසියාව පවා ක්‍රියාත්මක කරන්නේ ධනවාදය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය රජය දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයේ දී විශාල බරක් පීඩනයක් එල්ල කළේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට බවත් ඔවුන් බැංකු පද්ධතිය සහ කෝටි ප්‍රකෝටිපතියන් ඉවත් කර වැඩ කරන ජනතාවට බලපෑම් කරන විට සමගි ජන බලවේගය එයට විරුද්ධ වූ බවත් මේ ලුම්පන් ධනවාදයට විරුද්ධ වූ බවත් රටේ ආර්ථික ප්‍රශ්න විසදන්න පුළුවන් රාජ්‍ය මැදිහත් වීමෙන් පමණක් යැයි සමාජ වාදය විශ්වාස කළත් එය බොරුවක් බවත් උතුරු කොරියාවක් කියුබාවක් වෙන්න නම් ඒ ක්‍රමය හරහා බවත් සිංගප්පූරුව වැනි රටක් බවට පත් වන්නට නම් මේ ක්‍රමය සුදුසු නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.
