ඉම්රාන් ඛාන්ගේ දේශපාලන නායකත්වය පදනම් වූයේස හොරකමට,වංචාවට සහ දූෂණයට එරෙහිවය.අවසානයේ පකිස්තානු ජනතාව සිය රට හරි මඟට ගෙන යාමට තරම් ශක්තිමත් මහජන මතයක් ඉම්රාන් අත තැබීය.ඔහු පොරොන්දු වූ පරිදි දේශපාලන නායකයන්ගෙන්ම වංචාකරුවන් දූෂිතයන් එලවා දමන්නට පටන් ගත්තේය.එය තමන්ගේ දේශපාලන කඳවුරේ සිටි අයට එරෙහිවද දියත් කළේය.ඒ වියෝවන් මේ වන විට ඉම්රාන්ට තම කණ්ඩායමේම විරෝධතාවයක් ගොනුවෙන තරමට බලපෑම් කරමින් තිබෙන අතර මේ වන විට ඔහු සිටින්නේ විශ්වාස භංගයක් අභිමුවය.අද (මාර්තු 25) එම විශ්වාස භංගය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු විය යුතුව තිබුණත් කතානායක අසාද් කයිසර් එය 28 වන දා දක්වා ඉදිරියට ගෙන ගියේය.
ඉම්රාන්ගේ ටෙහ්රීක් -ඊ -ඉන්සාෆ් පක්ෂය ජනතාව අතරින් තවමත් ප්‍රතික්ෂේප වී නැති බවක් පෙණුනත් ජනතාව විසින් පත් කර එවන ලද මහජන නියෝජිතයන් බහුතරය එයට අකමැති වීම නිසා ආණ්ඩුව අවසන්වීමේ අවදානමකට පත් ව ඇත.ලෝක මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවාරයක සිටියදී ඒ සියල්ල මේ දේශපාලන අස්ථාවරභාවය ඉදිරියේ අඩපන ව ඇත.පකිස්තාන රුපියලට එල්ලවන තර්ජනය ද මේ තත්ත්වය නිසා වර්ධනය වෙමින් ඇති අතර ණය වාරික ගෙවීම් සම්බන්ධයෙන් ද පකිස්තානය අර්බූදයට තල්ලු වෙමින් ඇත.
පකිස්තාන හමුදාවට විශාල බලයක් දේශපාලන ව්‍යහුය තුළ පැවතීම පකිස්තානයේ දේශපාලන ස්වභාවය විසින් ඇති කර ිතබෙන අතර මේ අවස්ථාවේදී පකිස්තාන හමුදාවේ සහය ඉම්රාන්ට හිමි වීම සිය බලය රැක ගැනීමට ඔහුට පාදක වන්නේය.නමුත් ඉකුත් සමයේ මිලිටරි බලපෑමේ පළල යම් ආකාරයකට හීනි කරන්නට හමුදාවේ තීරණවලට වෙනස් තැනෙක සිට ගනිමින් ඉම්රාන් කළ ක්‍රියාවන් නිසා මේ වන විට හමුදාව මුනිවත රකින්නට තීරණය කර ඇත.මුනිවත යනුම පවතින රජයට විරුද්ධ නිහඩ රංගනයක්ය.වචනවලින් නොකියවෙන විරෝධයක්ය.
හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් බජ්වා තමන්ගේ ස්වාධීනත්වය ප්‍රකාශ කරමින් රටේ ජනතාව විසින් බලය පවරපු නායකයා සමඟ එකට නොසිටින බව කියන්නේම සරල දේශපාලන කියවුමේ දී වුව රජයට විරුද්ධ තැන පිහිටන බව කියා පෑමක්ය.කෙසේ හෝ මේ පවතින තත්ත්වය තුළ ඉම්රාන්ට පැවරි ඇති අභියෝගයනම් 28 වන දාට පෙර 342 ක් වූ පකිස්තානු මන්ත්‍රණ සභාවේ බහුතරය සාදා ගැනීමය.එසේම තවත් ආකාරයකට ඡන්දයෙන් වැළකී සිටීමෙන්ද ඉම්රාන්ට එරෙහිව වැඩි ඡන්ද ප්‍රමානයක් වැටීම නවත්වන්නට වැළක්විය හැකිය.
ඉම්රාන් ලෝකයක් පරද්දන්නට, කණ්ඩායමක විවිධ මත හැඩ හැසිරීම් ඇති පිරිස් එක මතයකට ගෙනා ඇති ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව,බොහෝ කියවීමේ රුචි ඇත්තන් දන්නා දෙයකි.ඒ පිරිස ඔහුගේ නායකත්වය හමුවේ එක අරමුණක ගෙන ඒම තරම් දේශපාලනයේදී එසේ කිරීම අපහසුය.ඔහු එම උත්සාහයේදී ද කණ්ඩායම මෙන්ම රටේ ජනතාවද ක්‍රමාණුකූලව පකිස්තානයට ලෝක කුසලානය අවශ්‍යය එකක් සහ දිනිය හැකි එකක් යන තැනට මනසින් පත් කළේය.මෙහිදී ද ඔහු ජනතාව දිනා ගෙන ඇත.නමුත් ඔහුට කණ්ඩායමේ ඒ ඉඩ සකස් කර ගැනීමේ අභියෝගයක් දකින්නට ඇත.මාර්තු 28 වන දා තීරණය වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ සිදු කළ දේ පකිස්තානු මහජන නියෝජිතයන් අතරද ඉම්රාන්ට කළ හැකිද යන්නය.
මෙහිදී ඉම්රාන් වෙතින් රජය උඳුරා ගන්නට දරණ උත්සාහයේදී මහජන කැමත්ත උරගා බැලීමක් සිඳුවන්නේ නැත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා අතපසු වෙමින් පකිස්තානු රුපියල අවප්‍රමාණය විමේ තර්ජණය විසල් වූ රටකට ප්‍රවේශ වූ විට එම පීඩනයේ නරකම තත්ත්වයට මුහුණ දෙන්නේ ජනතාවටය.ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුය ඇතුළත පවතින ජනතා කැමත්ත හීන වූ රජයක බලය පකිස්තානු රාජ්‍යය ඇතුළෙ සුවිසල් බලයක් සහිත හමුදාවකට අපහසු වන්නේ නැත.ඒ අනුව හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් බජ්වා හිතා මතා රජයට සහය දැක්වීමෙන් වැළකී ඇති වී තිබෙන තත්ත්වය තුළ හමුදාමය මැදිහත්වීමකට ඉඩ සකස් කර ගැනීමට ජනතා කැමත්තෙන් තොර සහ ජනතා ප්‍රශ්න නිර්මාණය විමට පරිසරය සකස් කරමින් සිටිනවා ද යන්න කල්පනා කළ යුතුව ඇත.එසේ වුවානම් නිල හමුදාමය මැදිහත් වීම් සිඳු වී බවට පකිස්තානු ඉතිහාසය තුළ පිළිගැනෙන 1958 – 1971, 1977 – 1988, 1999 – 2008 වසර අගට වර්ථමානය ආරම්භක වර්ෂය ලෙස එකතු වන්නට ඉඩ ඇත.
පකිස්තානය 1947 දී නිදහස ලැබුණු දා සිට වරින්වර හමුදාමය කුමන්ත්‍රණවල ගොදුරක් වි බව දැකිය හැකිය.පකිස්තාන නිදහසේ පියා සේ සැළකෙන අලි ජින්නා බලාපොරොත්තු වූ සමාන මිනිස් අයිතිවාසිකම් සහිත පකිස්ථානය උත්තුංග දේශපාලන අභිමතාර්තයන්ගෙන් ඈත්ව යම් ආකාරයකට අධිපතිවාදී බලයක් සහිත මුස්ලිම් ආධිපත්‍යයක් සහිත දේශයක් බවට පත්වීමට ද ඒ ආකාරයට සිඳු වූ වෙනස්කම් බලපෑවේය.
ඒ ආකාරයට හමුදා බලය යොදා ගනිමින් පළමුවරට 1953 දී අාණ්ඩුකාරවරයා ලෙස සිටි ජෙනරාල් ගුලාම් මුහම්මද් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සහයෝගය නොතකා, අගමැති කවාජා නසිමුදීන්ගේ රජය විසුරුවා හැරීම ද යම් ආකාරයක හමුදා බලය යෙදීමක් ලෙස ගැණුනද හමුදා ආක්‍රමණයක් සිඳු වූ බව ඉතිහාසය විසින් වාර්තා කරන්නේ 1968 වර්ශය පදනම් කර ගෙනය.
එහිදී 1958 දී, පළමු පකිස්ථාන ජනාධිපති මේජර් ජෙනරාල් ඉස්කන්දර් මිර්සා විසින් පකිස්ථානයේ ව්‍යවස්ථාදායක සභාව සහ අගමැති ෆෙරෝස් ඛාන් නූන්ගේ රජය විසුරුවා මැරීමට කටයුතු කළේය.සාධාරණ යැයි කීමට නොහැකි වුව, දේශපාලනමය මුහුණුවරකින් සිඳු වූ එම විසුරුවා හැරීමෙන් ඉනික්බිතිව මේජර් ජෙනරාල් ඉස්කන්දර් මිර්සා විසින් හමුදා ප්‍රධානී ජෙනරාල් අයුබ් ඛාන් ප්‍රධාන යුද නීති පරිපාලක ලෙස පත් කිරීමට පියවර ගත්තේය.එම පත් කිරිමෙන් දින 13 ක් ගෙවෙන තැන හමුදා ප්‍රධානී ජෙනරාල් අයුබ් ඛාන් ඉස්කන්දර් මිර්සා බලයෙන් පහ කරමින් තමාම ජනාධිපති දූරයට පත් වූයේය.
ඔපරේෂන් ෆෙයාර් ප්ලේ යනු 1977 දී ජෙනරාල් සියා උල් හක් සිදුකළ හමුදාමය අත්පත් කර ගැනීමය.එවකට අගමැති සුල්ෆිකාර් අලි භූතෝගේ රජයට එරෙහිව හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්වරයා වූ සියා-උල්-හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන හමුදාව විසින් 1977 ජූලි 4 මධ්‍යම රාත්‍රියේ එම හමුදා කුමන්ත්‍රණය සිදු කරන ලදී. ජෙනරල් සියා විසින් භූතෝ, ඔහුගේ ඇමතිවරුන් සහ පකිස්ථාන මහජන පක්ෂයේ සහ පකිස්ථාන ජාතික සන්ධානය යන දෙඅංශයේම අනෙකුත් නායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කලේය. ජාතික වශයෙන් විකාශය වූ දේශනයකදී, පකිස්ථානයේ ජාතික සභාව සහ සියලුම පළාත් සභා විසුරුවා හරින ලද බවත්, පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන ලද බවත් ජෙනරල් සියා නිවේදනය කළේය.
ජනාධිපති ජෙනරාල් සියා විසින් බලාත්මක කරන ලද යුධ නීතිය හරහා ජාතිකවාදී සහ ආගමික වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් මුහම්මද් අලි ජින්නාගේ නිකායික නොවන දැක්මෙන් රට දැඩි රට දැඩි ඉස්ලාමීයකරණයකට කැඳවා ගෙන ගියේය.අද ද පකිස්තානය එම ගෝත්‍රික තත්ත්වයේම වෙලී ඇති අතර ශ්‍රී ලාංකිකයෙකු ද මෑත කාලයේ ඒ උන්මාද ආගමික ගෝත්‍රවාදයේ ගොදුරක් වූවේය.
දේශපාලන සහ මිලිටරි නායකත්වයන් අතර පවතින මතභේද හේතුවෙන් හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් එක්සත් ජනපදය කර තිබූ අනතුර හැඟවීම සැබෑවක් කරමින් 1999 දී සිඳුවූ ලේ නොසැලි හමුදා කුමන්තණයකින් පසුව අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් බලයෙන් නෙරපා දමා ජෙනරාල් පර්වේස් මුෂාරෆ් බලයට පැමිණියේය.එහිදී ද වර්ථමානයේ දී දැකිය හැකි අයුරෙන්ම හමුදා අභ්‍යන්තරයේ යම් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව සහ හමුදාව අතර පැවති වෙනස් තේරීම් නිසා හටගත් අර්බූද සහ ගැටළු දකින්නට ලැබුණු අතර ජෙනරාල් පර්වේස් මුෂාරෆ් එවැනි ගැටුම්වලදී තමන්ට අවශ්‍යය පරිදි හමුදාමය වගකීම් දිනා ගනිමින් කුමන්ත්‍රණයට අවශ්‍යය පියවර සකස් කර ගත් බවක් දැකිය හැකිය.
මේ ඉතිහාසගත අලුත් අභියෝගය ඉදිරියේ පකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය ගෙනවිත් දුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා දේශපාලනයට අමතරව තමන්ට එල්ලවන හමුදාමය බවුන්සරය හමුවේ ද දැඩි පීඩනයකට මුහුණ දි ඇත.එයින් ඔහුත් බේරී පකිස්තානු ප්‍රජාතන්ත්‍රවාදයේ හිසත් බේරා ගැනීමට ඉම්රාන්ට හැකියාව ලැබේවිද යන්න තීරණය වන්නේ මාර්තු 28 වන දාය.ජනතා විශ්වාසය බිඳ වැටුණු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක හමුදාවන් බලයට පත්වීමේ පකිස්තානු ප්‍රවනතාවය හමුවේ ජනතාව සෑම විටකම පසුවට එය නරක ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන්ට වඩා නරක බව තේරුම් ගෙන තිබෙන බව පැහැදිළිය.ඒ නිසා නැවත නැවත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යහුයට අදාළව සිය මතයෙන් පාලනය තෝරා ගන්නා මැතිවරණ සහිත ප්‍රජාතන්ත්‍රවාදයටම හැරෙන්නේය.නමුත් ඒ චක්‍රය යළි යළිත් සිඳුවන්නේ පකිස්තාන පාලන ව්‍යහුය තුළ හමුදාව කෙරෙහි ඇති බලය ප්‍රජාතන්ත්‍රවාදයට අවහිරයක් නොවන ලෙස ව්‍යවස්ථාපිතව කෙට්ටු කිරීමට පාලකයන් උනන්දු නොවන නිසාය.ඉම්රාන් ද පකිස්තානයද එහි අලුත්ම ගොදුර වෙමින් තිබෙන බව දැකිය හැකිය.මේ අවදානම ජනතාව පැත්තේ සිට කියවා ගැනීමට ඉම්රාන්ගෙන් බලය පැහැර ගැනීමට බලන දේශපාලන නායකයන්ට බල අන්ධකාරය නිසා පෙනෙන බවක්ද නොපෙනෙන්නේය.
RM