ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර නිල සාකච්ඡාවක් ඊයේ (25) ආරම්භ වුණා. රටක් වශයෙන පහුගිය දශක ගණනක් තිස්සේම අපිට වැරදුණු තැනක් නිවැරදි කරගැනීමක් ගැන සුබවාදී බලාපොරොත්තුවක් ඒ ඔස්සේ දැල්විලා තියෙනවා.
අද උතුරු – දකුණු භේදයකින් තොරව සමස්තයක් හැටියටම රටේ ආර්ථිකය ඉතාම භයානක ඉරණමක් කරා යොමුවෙලා තියෙන්නෙ. ඒ වගේම ඒක අපි කාටත් ඇඟට දැනෙන්න අරන් තියෙනවා. මෙහෙමම ගියොත් ඉදිරියේදී ඒක අපට කොහෙත්ම දරාගන්න බැරි මට්ටමකට ඒවි.
මේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී බොහෝ දෙනා මේක අරයාගෙ වැරැද්ද, මෙයාගෙ වැරැද්ද කියනවා මිසක් අපට මේ ඉරණම අත්වෙන්න හේතුවෙච්චි මූලික කතාවක් බොහොම පහසුවෙන් අමතක කරනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට කන් නොදීම නිසා රට තුළ ඇතිවුණු ජාතික ප්‍රශ්නය. අපි දශක තුනක් තිස්සේ යුද්ධයක් මැද්දෙන් ආපු රටක්. ඒ දශක තුන තුළ අපට බොහෝ දේ අහිමි වුණා.
මේ ආර්ථික ප්‍රශ්නෙදී බොහෝ අය ඇඟිල්ල දික් කරන්නෙ විවෘත ආර්ථික ක්‍රමයට. සමහරු කියන්නෙ 1977 පටන් ගත්තු විවෘත ආර්ථිකය තමයි මේ සේරටම මුල කියලා. ඒ වගේම අහන්නෙ මෙච්චර කාලයක් තිස්සේ ඔය විවෘත ආර්ථිකයෙන් මොනවද අපට හම්බුණේ කියලා. ඒ හැමෝම අමතක කරනවා විවෘත ආර්ථික ප්‍රතිපත්තියට මාරුවෙලා අවුරුදු කීපයක් ඇතුළත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයවලට පිළිතුරු නොදීමේ තත්වය මත උතුරේ සන්නද්ධ අරගලයක් ආරම්භ වුණා කියලා. ඊළඟට දකුණේ අන්තිම නින්දිත කළු ජූලියක් ඇතිවුණා කියලා. ඊට පස්සෙ දීර්ඝ කාලීන යුද්ධයක් පැවතුණා කියලා. විවෘත ආර්ථික ක්‍රමයකට යද්දී රටක් බලාපොරොත්තු වෙන්නෙ මහා පරිමාණ විදේශ ආයෝජකයින් ගෙන්වා ගන්න. ඒ ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොලට වැඩියෙන් නිෂ්පාදන යවන්න. ඒ හරහා ආදායම් උපදවන්න. ඒත් දරුණු යුද්ධයක් පවතින, අනාරක්ෂිත රටකට මොන ආයෝජකයාද එන්නෙ ? අනික ලෝකය තුළත් දකුණු ආසියානු කලාපය තුළත් ඒ දශක තුන කියන්නේ අපට ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න අවස්ථාවක් තිබුණු කාලයක්. දැනට වඩා අවකාශයක් ඒ යුගයේ තිබුණා එහෙම වෙන්න. ඉතින් ඒ දශක තුනේ අපට බොහෝ දේ අහිමි වුණා කිව්වෙ ඕවාත්එක්ක.
ඊළඟට ඔය ජාතිවාදී මානසිකත්වයත් එක්කම අපි මෑත අතීතයේ මීට පෙර ලැබුණු ස්වර්ණමය අවස්ථාවන් දෙකකට පයින් ගැහුවා. පළවෙනි එක 2004 සුනාමියෙන් පසු තත්වය. ඇත්තටම ඒ සුනාමියෙන් ශ්‍රී ලංකාවට වුණු බරපතළ විනාශයත් එක්ක ලෝකයේ අවධානය අපේ රට වෙත යොමුවුණා. ඒ මොහොතේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යෝජනා කරපු සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරලා උතුරත් එක්ක යම් සමාදානයකට ඇවිත් ලෝකයෙන් ආධාර ඉල්ලුවා නම් අපට ආර්ථික ගමනේ සෑහෙන පියවරක් ඉදිරියට තියන්න ඉඩ තිබුණා. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවෙන් සහාය ගන්න තිබුණා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ ජාතිවාදී දේශපාලන බලවේග ඒ අවස්ථාව කඩාකප්පල් කළා.
දෙවැනි අවස්ථාව ලැබුණේ 2009 යුද්ධයේ අවසානයත් එක්ක. ඒ වෙලාවේ අපි ජාත්‍යන්තරය හමුවට ගිහිල්ලා, ජාත්‍යන්තරයෙන් එල්ල වුණු මානව හිමිකම් චෝදනාවලටත් කාටත් පිළිගත හැකි විසඳුමකට එකඟවෙලා, මේ යුද්ධයෙන් විනාශ වුණු ආර්ථිකය ගොඩගන්න ආධාර ඉල්ලුවා නම් ඒ මොහොතේත් අපට විශාල සහයෝගයක් ගන්න හැකියාව තිබුණා. විශේෂයෙන්ම යුද්ධයෙන් විනාශම වෙලා තිබුණු උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි ගොඩනඟන්න අපට දෙමළ ඩයස්පෝරාවෙන් සහායක් ගන්න තිබුණා යම් දේශපාලන විසඳුමකට යන ප්‍රවේශයකට ආවා නම්. ඒත් ඒ වෙලාවෙත් රාජපක්ෂ ආණ්ඩුව යුධ ජයග්‍රහණයේ මානසිකත්වය දේශපාලන ආයෝජනයක් වශයෙන් රට තුළ පාවිච්චි කළ නිසාත් ඒ මනෝභාවයෙන්ම ජාත්‍යන්තරය සමග බොහෝ මුරණ්ඩු ගැටුමක් ඇතිකරගත් නිසාත් අපට ඒ අවස්ථාවත් නැති වුණා.
දැන්, නැවත 2022 මේ ආර්ථික අර්බුදයත් එක්ක රටක් හැටියට විනාශ මුඛයට යනවා වෙනුවට මේ ජාතික ප්‍රශ්නයට කාටත් පිළිගත හැකි විසඳුමකුත් දීලා, රට ගොඩගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබාගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. පසුගිය වසර විස්සක් විතර තිස්සේ අපේ දකුණේ මිනිස්සුන්ට මාධ්‍ය ඔස්සේ පොවලා තියෙන්නෙ දෙමළ ඩයස්පෝරාව කියන්නෙ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙන මහා භයානක සංවිධානයක් විදියට. ඒත් ඒක දේශපාලන වාසි වෙනුවෙන් මවාපු බිල්ලෙක් විතරයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින්, දකුණේ සිංහල ජනතාව විසින් තමන්ට කරපු අසාධාරණයත් එක්ක ජීවිත තර්ජන මැද රටින් පිටවෙලා ගිහින් වෙනත් රටවලදී තමන්ගේ බුද්ධිය, දැනුම, හැකියාව, උත්සාහය භාවිතා කරලා දියුණු වුණු, ධනවත් වුණු, ඩොලර් බිලියනපතියන් බවට පත්වුණු අපේම දෙමළ ජනතාවගෙන් විශාල කොටසක් ඉන්නවා. මේක අපේ වගේම ඔවුන්ගෙත් උපන් බිම. අපි මේ රටට ආදරය කරනවා වගේම ඔවුනුත් මේ රටට ආදරය කරනවා. ඔවුන්ගෙත් ඥාතීන් මේ රටේ තවමත් ඉන්නවා. ඔවුන්ගේ මතකයන්, ඔවුන්ගේ මුල් තවමත් මේ රටේ රැඳිලා තියෙනවා. මේ රටට උදව් කරන්න සැබෑ වුවමනාවකුත් ඔවුන්ට තියෙනවා. ඒ කවුරුත් පිට අය නෙවෙයි, මේ අපේම මිනිස්සු !
ඔය අතරේ මේ ජාතික ප්‍රශ්නය වවාගෙන කාලා ජීවත්වෙන කොටසකුත් ඔය ඩයස්පෝරාව තුළ නැතිවා නෙවෙයි. ඒත් ඒ හා සමාන පිරිසක් අපේ රටේත් ඉන්නවානෙ. ඔවුන් දැනටමත් මේ උත්සාහයට එරෙහිව කටින් යුද්ධ ප්‍රකාශ කරන්න පටන් අරන්. මොකද, ඔවුන් ජීවත් වෙන්න ආදායම් උපයන්නෙ ජාතිවාදය ඇවිස්සීමෙන් නිසා. අපි දැක්කා පෙරේදා උදය ගම්මන්පිල මහතා කියනවා මේ තුවක්කුවෙන් බැරිවුණු එක ඩොලර්වලින් දිනාගන්නය යන්නේ, එහෙනම් මොකටද “අපි” මෙච්චර ජීවිත පූජා කළේ කියලා. මේ “අපි” කියන්නෙ කවුද ? ගම්මන්පිල යුද්ධ කළාද ? ගම්මන්පිල අද ඔය ගතකරන අධිසුඛෝපභෝගී ජීවිතය ගෙවන්න සල්ලි හොයාගත්තේ කොහොමද ? ගම්මන්පිලගේ පවුලේ අය ඉන්නෙ මොන මොන රටවල්වලද ? අපිට අද දැනෙන දරුණු ආර්ථික ප්‍රශ්න ගම්මන්පිලට ගෑවිලාවත් යන තරමින් දැනෙනවාද ? මේ අය මේ රටේ ජාතික ප්‍රශ්නය ඉල්ලමක් කරගෙන සල්ලි, බලය හම්බකරපු මිනිස්සු. මේ ප්‍රශ්නය විසඳිලා රට පොඩ්ඩක් ඔළුව උස්සනවාට එයාලා කොහෙත්ම කැමති නෑ, තමන්ගෙ ආදායම් මාර්ගයට හානිවෙන නිසා. මේ වර්ගයේම දෙමළ ගම්මන්පිලලා, දෙමළ වීරවංශලාත් ඉස්සරහට මතුවේවි. මේ දෙගොල්ලොම එකයි. මේ දෙගොල්ලටම රැවටෙන්නෙ නැතුව මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න රටක් හැටියට අපි උපරිම කැපවෙන්න ඕනෙ.
ඉතිහාසය කියන එක තුළදී හැමදාමත් රටවල්වලට, මිනිස්සුන්ට ප්‍රශ්න විසඳාගන්න මාර්ග විවෘත වෙන්නෙ නෑ. අවස්ථාවන් ලැබෙන්නෙ නෑ. ඉතින් මේ ලැබුණු අවස්ථාවටත් අපි පයින් ගැහුවොත් මේ තියෙන තත්වය අනුව අපිට රටක් හැටියටම බංකොලොත් වෙන්න වේවි. කන්න නැතිව හාමතෙන් මිනිස්සු මැරෙන, දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන, ලෝක ආහාර සංවිධානයේ ආධාර ලොරියක් ආවාම හාල් ටිකක් ගන්න එකිනෙකා මරාගන්න රටක් කියන තැනට වුණත් අපි ලොකු දුරකින් නෙවෙයි ඉන්නෙ. එහෙම තත්වයක් ආවොත් ඔය ඊනියා දේශප්‍රේමී මහත්තුරු කවුරුවත් මේ රටේ ඉන්නෙ නෑ. එයාලා තමන් මෙතෙක් හම්බුකරපු ධනස්කන්ධයත් තමන්ගෙ දූ දරුවනුත් අරන් තමන් මෙතෙක් බැන බැන හිටපු බටහිර රටකටම පැනලා යනවා. එහෙම ගිහින් ජීවත් වෙන්න තරම් ධනයකුත් ඒගොල්ලො ළඟ තියෙනවා. නමුත් අපට යන්න තැනක් නෑ. අපේ දරුවන්ට කන්න බොන්න දෙන්න එහෙම ධනයකුත් අපි ගාව නෑ. ඒ නිසා මේ වතාවේවත් උන්දැලාගෙ බොරු දේශප්‍රේමයට රැවටෙන්න එපා. රැවටිලා තමන්ගෙම වළ කපාගන්නත් එපා.
මේ අපි ඉදිරියේ තියෙන්නේ බොහෝවිට ශ්‍රී ලංකාවට රටක් හැටියට ලැබෙන අවසාන අවස්ථාව. ඒ ස්වර්ණමය අවස්ථාව අත් නොහරිමු !
- දර්ශන වීරසිංහ