සටහන – රුවන් නෙළුගොල්ල
බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් පුරා මේ සමාජයේ වෛරය පැතිරූ බවත් වෛරය පතුරා ඒ වෛරය තුළින් ජයග්‍රහණ ලබා ගන්නට කටයුතු කළ බවත් ලෝකයේ කිසිම රටක් වෛරය පතුරවා දියුණු නොවූ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මාස 60ක ජනාධිපති වරමක් ඇති බවත් දැන් ඉන් 1/10ක් ඉවර වුවත් තවමත් කරන්නේ වෛරය පැතිරවීම බවත් වෛරය පැතිරවීම තුළින් දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රටේ ජනතාවට අවශ්‍ය වන්නේ වෛරය පැතිරවීම නොව වැඩ කිරීම බවත් ගුරුවරුන්ට දෙනවා කියූ වැටුප් වැඩි වීම, රැකියා විරහිත උපාධිධාරීන්ට පොරොන්දු වූ 35000ක රැකියා ලබා දෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් වෛරය පැතිරවීම තුළින් සිදුවන්නේ රටේ ආධ්‍යාත්මය බිද වැටීම එකමුතුභාවය බිද වැටීම බැවින් කයිවාරුව නතර කර වැඩ ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පැය ගණන් කයිවාරු ගසා ලැයිස්තු ඉදිරිපත් කරනවාට වඩා නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් ඇති නිසා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් නීතිය ක්‍රියාත්මක නොව දේශපාලන ජාමේ බේරා ගැනීමට සූදානම් නොවන ලෙසත් ආණ්ඩුවක් යනු දැවැන්ත යාන්ත්‍රණයක් බවත් මේ දැවැන්ත යාන්ත්‍රණය තුළ වගකීම සහ වගවීම ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුවේ වගකීම කෙදිරි ගෑම හෝ වෛරය ක්‍රියාත්මක කිරීම හෝ වැඩ කරන්න බැරි හේතු කියන්න නොව ජනවරම ලබා දී ඇත්තේ ජනතාවට සේවාවක් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනවරම දුන්නේ කෙදිරි ගාන්න නෙවෙයි
පොල් ටික රිලව් කනවා කිය කියා ආණ්ඩුවේ ඇමතිවරු කෙදිරි ගාන බවත් බල්ලන්ට බත් දෙන නිසා හාල් හිගයක් ඇතිව තිබෙන බවත් පොල්සම්බෝලයි බතුයි කන නිසා ප්‍රමාණවත් සහල් නෑ කියා ආණ්ඩුවේ ඇමතිවරු කෙදිරි ගාණ බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කෙදිරි ගෑවට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් රටේ ජනතාව වරමක් දුන්නේ කෙදිරි ගාන්න නොව විසදුම් සැපයීමට බවත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩිදුරටත් පැවසීය.
අදටත් අර කන්ටේනර් 323ට වුන දේ දන්නෑ
රජයක් ලෙස මනා කළමනාකරණයකින් යුක්තව රාජ්‍ය පරිපාලනය ක්‍රියාත්මක කළ යුතු වුවත් කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවත් මේවායේ මත්කුඩු මත්පැන් රත්රං පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබුණාද කියා සැකයක් ඇති බවත් හොර පාරේ නිදහස් කළ මේ බඩුවලින් පුනරුදය ලබන්නේ හොර ජාවාරම් කාරයන් බවත් මේවායේ කුඩු තිබුණේ නම් පුනරුදය ලබන්නේ කුඩු කාරයන් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
පුනරුදයේ කැලෑ නීතිය රජ වෙලා
මේ වන විට කැලෑ නීතිය රජ වී මංකොල්ලකරුවන් කුඩුකරුවන් ජාවාරම්කරුවන් සමාජයම ගිලගෙන ඇති බවත් නීතිය හරියට ක්‍රියාත්මක නොවන බවත් බුද්ධි අංශ ගැන ජාතික ආරක්ෂාව ගැන පන්ති තියනවා කිව්වත් පොලිස්පති බාර වෙනතුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් උසාවිය ඇතුළේ ඝාතනය සැලසුම් කළ කාන්තාව පවා අදටත් නිදැල්ලේ බවත් රට වටේම මිනිමැරුම් පවා සිදුවන බවත් එම නිසා රටට වෙනසක් අවශ්‍ය බවත් එය පළාත් පාලන මැතිවරණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයන් සඳහා පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.
