නිශ්මං රණසිංහ ,මාර්තු 27, කොළඹ LNW:
තවමත් බිග් මැච් ඉවර නැත.මහා තරග කියා කියනවාට වඩා බිග්මැච් යන්න සිංහලටත් වඩා දැනෙන සිංහල වචන වී සිතේ පදිංචිව ඇත.බිග්මැච් විශාල ප්‍රමාණයක් දැන් ක්‍රියාත්මක වන්නේ තෙදින තරග ලෙසය.ඒ තෙදින සංස්කෘතියට මුලින්ම පැමිණි බිග්මැච් එක රාජකීය – ශාන්ත තෝමස් ය.
මේ තෙදින ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් අධීක්ෂණය නිරන්තරයෙන් ලැබෙන තරගාවලියකි.එසේම ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සතු දෘෂ්ටිය කවරේද යන්න පැහැදිළි කරන්නකි.මෙවර තෙදින තරග පැවත්වීම කණ්ඩායම් ජයග්‍රහණයට ද යම් ආකාරයකට බලපෑවේය.අඩ සිය වසකටත් වැඩි කාලයක් ජයගහණ නොමැතිව ලත වෙමින් සිටි විද්‍යාල මහා තරග ජය ගත්තේය.මහනුවර කිංස්වුඩ් සහ මාතර ශාන්ත සර්වේශස් එවැනි පාසල් දෙකකි.
එමෙන්ම මේ තෙදින අත්දැකීම අල්ලාගෙන සිටිය හැකි කණ්ඩායම් ද ක්‍රීඩකයන් ද මේ තරගාවලීන් තුළ මතුවෙමින් තිබීමත් වැදගත්ය.එසේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතර වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයින් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය දිනා සිටින්නන් වීම ද නොසළකා සිටිය නොහැකිය.මේ අවධානය නිසා ඔවුන්ට ලැබුණු අවස්ථාවන් විසින් ඔවුන්ව කෙතරම් දුරට පෝෂණය කර ඇද්ද යන්න මෙහිදී අවබෝධ කර ගත යුතු කාලයක්ය.
ජේඩන් අමරවීර (S. Thomas’ College, Mount Lavinia): රාජකීය – ශාන්ත තෝමස් අතර පැවැත්වුණු 147 වන නිල් මහා සටනේ (Battle of the Blues) දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 100* ක් රැස් කළේය.
අඩම් හිල්මි (Trinity College, Kandy): ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු 107 වන කන්ද උඩරට නිල් මහා සටනේදී (Hill Country Battle of the Blues) ලකුණු 125 ක් රැස් කළේය.
කවිජ ගමගේ (Kingswood College, Kandy): ධර්මරාජ විද්‍යාලය සමඟ පැවැත්වුණු 119 වන මරූන් සටනේදී (Battle of the Maroons – Kandy) ඉනිම දෙකේදීම ශතක (Twin Centuries) රැස් කරමින් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූ අතර, එක් ඉනිමකදී ලකුණු 112 ක් රැස් කළේය.දෙවන ඉණිමේ ඊට හාත්පසින් වෙනස් වූ වේගවත් ලකුණු 100 ක් නොදැවී ලබා ගත්තේය.
නේතුල එදිරිමාන්න (Ananda College, Colombo): 96 වන ආනන්ද – නාලන්ද ආනන්ද-නාලන්ද මහා ක්‍රිකට් සටනේදී ලකුණු 165 ක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීය.
නෙමිඳු අක්මීමන (Nalanda College, Colombo): ආනන්ද විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු එම තරගයේදීම ලකුණු 142 ක් රැස් කළේය.එම ඉණිමේදී මිහින් සොයිසා (නාලන්ද විද්‍යාලය) 119
නෙක්ශ ඉද්දමල්ගොඩ (Sri Sumangala College, Panadura) මොරාටු මහා විද්‍යාලය සමඟ පැවැත්වුණු 74 වන රන් මහා සටනේදී (Battle of the Golds) ලකුණු 136 ක් රැස් කළේය. මෙම තරගයේදී දෙවිදුහල්වල පිතිකරුවන් තවත් ශතක තුනක් වාර්තා කළ අතර මෙම ශතකාලාභීන් සිව් දෙනාගෙන් ඔෂධ ජයවික්‍රම (මොරාටු මහා විද්‍යාලය) 117, සන්දීප විජේරත්න (ශ්‍රී සුමංගල විද්‍යාලය)116 සහ නේක්ෂ මේ වන විටත් අවුරුදු 19 න් පහළ සංචිතයේ සිටින අතර බොහෝ විට තුන් ඉරියව් හැකියාව ඇති මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් මහා තරගයේදී ලකුණු 105 ක් ලබා ගත් දෙනෙත් සිතුමිණ ද සංචිතයට කැඳවීමට ඉඩක් ඇත.
මෙම ශතකලාභින්ගේ ලැයිස්තුවට උතුරෙන් යාපනය ශාන්ත ජෝන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර තරගයේදී ජෝන් විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 121 ක් රැස් කළ උතයනන් අභිජෝයිශාන්ත් ද,දකුණේ ජනප්‍රියම මහා තරගය වන මහින්ද – රිච්මන්ඩ් ගැටුමේදී ලකුණ් 124 ක් රැස් කළ දිනෙත් පැහැසර ද මහා තරග ශතකලාභීන් අතරට වැටේ.
මේ සියලු දෙනාම පාහේ ජාතික මට්ටමෙන් අවධානය දිනාගෙන ඇති ක්‍රීඩකයන්ය.මේ දක්ෂතාවලට ශතක රැස් කරන්නටත් පෙර වටිනාකම් ලැබූ ක්‍රීඩකයන්ය.ඒ අතර මාතර සර්වේශස් කණ්ඩායමට මහා තරගයේදී මෙන්ම එක්දින තරගයේදී ද ජය ගෙනා විරාන් චමුදිත ද එසේ හඳුනාගෙන සිටින 19 න් පහළ ලෝක කුසලානයේදී සිය පිත්තෙන් සහ පන්දුවෙන් ලෝකයේම අවධානය දිනා ගත් ක්‍රීඩකයෙක්ය.
ඉණිම දෙකේදීම ශතක ලැබූ කිංස්වුඩ් විද්‍යාලයේ කවීජ ගමගේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උප නායකයාය.අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ යෙදුණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඇඩම් හිල්මි ද ජාතික අවධානය දිනාගෙන සිටින ක්‍රීඩකයෙකි.
දෙනෙත් සිතුමිණ මෙන්ම මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කොෂේන්ද්‍ර ප්‍රනාන්දු ද මේ තරගවලදී තමන් සතු තුන් ඉරියව් දක්ෂතා පෙන්වමින් කැපී පෙණින.වඩාත් වැදගත් වන්නේ මේ තරගකාරී තත්ත්වය සහ අරමුණු සහ පහසුකම් සමඟ ඒවා ක්‍රීඩාවට බලපාන ආකාරයය.කිංස්වුඩ් – ධර්මරාජ මහා ගැටුමේ වසර 68 ට පසුව කිංස්වුඩ් විද්‍යාලය මහා තරගය ජය ගත්තත්,එක්දින තරගයේදී ධර්මරාජය ඔවුන්ට අභියෝග කරමින් එම තරගය කඩුලු 7 න් ජය ගන්නට සමත් විය.එහිදී කවීජ ලකුණු 42 ක් රැස් කිරීම හැරෙන්නට කිසිවෙකුට ලකුණු අතරට ඒමට ධර්මරාජය ඉඩ නොඳුන්නේය.
මේ ආකාරයටම ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මහා තරගයේදී වේල්ස් කුමාර විද්‍යාලය ඉණිමකින් පරාජය කළා වුව ද,එක්දින තරගයේදී නැවත නැගිටි වේල්ස් කුමරුවන් එම තරගය ජය ගැනීමට සමත් විය.පවතින තත්ත්වය අනුව අද වන විට පාසල් ක්‍රීඩකයන්ගේ හැකියාව සංවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් එම කණ්ඩායම් දිස්ත්‍රික් මට්ටමෙන් සංචිත ගත කර දිස්ත්‍රික් හැටියට පවත්වන තරගාවලිද පවත්වාගෙන යාමක් සිඳු කරන්නේය.මේ ක්‍රියාවේදී වඩාත් හොඳින් මේ දක්ෂයන් අධ්‍යයනය කර ටෙස්ට්,එක්දින සහ විස්සයි ලෙස වර්ගීකරණයක් කරමින් ක්‍රීඩකයන් පදනමේ සිටම මෙහෙයවීය හැකිනම් එයද වැදගත් වනු ඇත.
එහෙත් සමහර ක්‍රීඩකයන්ට මේ වෙහෙස දරා ගැනීම අපහසු විය හැකිය.ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ක්‍රියා කිරිම වැදගත්ය.මහා තරග දින තුනක් වීම තුළ හොඳ ඉවසිලිවන්ත සහ සැළසුම් සහගත ඉණිම කරා යාමට පිතිකරුවන්ට ලැබෙන ඉඩ වැදගත්ය.ආරක්ෂාව පෙරටු කර ගත් පිිතිකරු ඉණිම අතරේ කඩුලු ලබා ගැනීම සඳහා පන්දු යවන්නන්ට වඩාත් ගැඹුරට සිතා කටයුතු කරන්නට වීම ද වැදගත්ය.මේ ශතකලාභීන් සියල්ලම පාහේ මේ ඉණිම් ක්‍රියාත්මක කිරීම් තුළ පැහැදිළි කළේ ඔවුන්ට දීර්ඝ ඉණිම් වෙනුවෙන් රැදී සිටීමේ සහ ස්වයංව තමන්ගේ ඉවසීම පාලනය කරන්නට ඇති හැකියාවය.
වැදගත්ම කාරණය මෙහිදී ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් අධ්‍යයනය කරමින් ඔවුන් තෝරා ජාතික තලයට ගෙන ඒමේ වගකීම පැවරී ඇති පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඒ වගකීම කෙතරම් හොඳින් ඉටු කරමින් සිටිනවාද යන්නත් මේ ප්‍රතිපල හරහා පැහැදිළිවීමය.මේ මහා තරගවල දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් සියල්ලම පාහේ මේ වන විටත් සිය පාසල් ධජයට අමතරව සිහ ධජය යටතේත් ක්‍රීඩා කරන්නට හෝ එසේ ක්‍රීඩා කිරීම සඳහා සංචිතගත වූ පිරිස නියෝජනය කිරීමය.





