දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ….

නොවැලපෙමි , ඔබ යන්න – වැලප ඇති පල කිම්ද?
ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද?

නොවැලපෙමි, ඔබ යන්න – වැලප ඇති පල කිම්ද?
ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ
ඔබ නැතද – ජීවිතේ නසා ගත නොහැක මට
ඔබ යන්න ජීවිතේ සොයා ගෙන සොයා ගෙන

ඔබ යන්නෙ මධුරතර සප්ත ස්වරයත් අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර-හඳ අරන්
ඔබ යන්න මහද තෙත් වැහි වලාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න – මගේ ආයුස අරන්

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් – මම එතැන පාට හත ගනින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කඳුළකට ඇහේ ඉඩ තියා නැත.

වෙස් මුහුණ පැළඳගෙන සිටින තැන හිතක් නැත
ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට
පෙම්-ගී අලංකාර වීසි කොට යනු මැනවි
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන්
ඔබ ඔබේ සිහිනයට – මම මගේ ලෝකයට

සෙමෙන් මා අත අතැර – දෙපස හෙවණැලි අතර
ඔබ සෙමෙන් හැංගුණේ – එය වඩා විනීතයි
එදා ඔබ ගෙයි මුල්ලෙ – සොයා ගත් මං දිනුම්
ඔබ සැඟව ගිය කොයිද – සොයන්නේ නෑ ඉතින්
ජය පරාජය කවුද – මට එයින් පලක් නැත

ආදරය නින්දක්ද – පිබිදිලා සිටින මට
දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය, සුවිපුල්ය
නින්ද තුළ නැති වුණේ එක දෙයයි – වරදක්ද?
තව බොහෝ දේ තිබේ – ජීවිතය ජයගනිමි

~ පරාක්‍රම කොඩිතුවක්කු
( ‘පොඩි මල්ලියෙ’ කෘතියෙනි)