ගාසා තීරයේ අඳුරු අරගලය: දුරකථනයත් ලාම්පුවක් වෙලා!

රෂිකා හෙන්නායක මාර්තු 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දිගුකාලීන යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ බලශක්ති පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් සිවිල් වැසියන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා අසීමිතය.

විදුලිය නොමැතිකම නිසා ජනතාව තම දෛනික ආලෝක අවශ්‍යතා සඳහා ජංගම දුරකථන පන්දම් මත යැපෙන අතර, ඒවා ආරෝපණය කර ගැනීමට දිනපතා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත.

සූර්ය බලශක්ති උපකරණ සහ ඉන්ධන මිල අධික වීම නිසා දුප්පත් පවුල්වලට විදුලිය ලබාගැනීම සිහිනයක් බවට පත්ව ඇති බව මෙහි සඳහන් වේ.

විදුලිය නොමැතිකම නිසා ආහාර කල් තබා ගැනීමට නොහැකි වීම සහ කුඩා දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම වැනි බහුවිධ ගැටලු රැසක් නිර්මාණය වී තිබේ.

මෙමගින් අවධාරණය කරන්නේ තාවකාලික විසඳුම් වෙනුවට විධිමත් විදුලි සැපයුමක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අත්‍යවශ්‍යතාවයයි.

ගාසා තීරයේ අවතැන් වූ පවුල් සඳහා ස්මාර්ට් දුරකථනය දැන් සන්නිවේදන මෙවලමකට වඩා එහා ගිය දෙයකි. එය ඔවුන්ගේ ප්‍රධාන “ලාම්පුව” බවට පත්ව ඇත. 21 වන සියවසේ වඩාත්ම දියුණු තාක්ෂණික මෙවලම, මිනිසාගේ ප්‍රාථමිකම අවශ්‍යතාවය වන “ආලෝකය” ලබා ගැනීම සඳහා 19 වන සියවසේ ඉටිපන්දමක් මෙන් භාවිතා කිරීමට සිදුවීම තුළ ඇති උත්ප්‍රාසය සුළුපටු නොවේ. අබ්දෙල් කරීම් තම කූඩාරම තුළ රාත්‍රී කාලයේ ආලෝකය ලබා ගැනීමට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දුරකථනයේ ‘ටෝච්’ (torch) පහසුකම මතයි.

“මම මගේ දුරකථනය සහ බිරිඳගේ දුරකථනය ආරෝපණය කරනවා. අපි ඒවා රාත්‍රියේ ආලෝකය සඳහා භාවිතා කරනවා, විශේෂයෙන්ම මගේ දරුවන් වයස අවුරුදු පහට අඩු නිසා ඔවුන් අඳුරේ අවදි වුවහොත් බියට පත් වෙනවා,” යනුවෙන් අබ්දෙල් කරීම් පවසයි

විදුලිය නොමැතිකම නිසා ඇති වන පීඩාව දෘශ්‍යමාන වුවද, එහි ඇති ආර්ථික බර ලෝකයාට “නිහඬ” පීඩාවකි. අබ්දෙල් කරීම් පවසන පරිදි, දුරකථන දෙකක් දිනකට දෙවරක් ආරෝපණය කිරීම සඳහා ඔහුට ෂෙකෙල් 8 සිට 10 දක්වා (ඇමරිකානු ඩොලර් 2.55 සිට 3.20 දක්වා) මුදලක් වැය කිරීමට සිදු වේ. මෙය මසකට ගණනය කළහොත් ඩොලර් 95ක් (ෂෙකෙල් 270-300) පමණ වේ.

කිසිදු ස්ථිර ආදායමක් නොමැති පවුලකට මෙය දරාගත නොහැකි බරකි. මෙම මුදල බොහෝ විට පවුලකට ලැබෙන මාසික සහනාධාර ප්‍රමාණයටත් වඩා වැඩි අගයකි. මීට අමතරව, යුද්ධයට පෙර පැවති මිලට වඩා දස ගුණයකින් ඉහළ ගොස් ඇති සූර්ය බලයෙන් ක්‍රියා කරන ලාම්පුවක මිල අද වන විට ඩොලර් 95ක් (ෂෙකෙල් 300) දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස අපට ඉතා සාමාන්‍ය සේවාවක් වන “බැටරියක් ආරෝපණය කිරීම” අද ගාසා තීරයේ ළඟා විය නොහැකි සුඛෝපභෝගී සේවාවක් බවට පත්ව තිබේ.

ගාසා තීරයේ ජනතාව අතිශය නිර්මාණශීලී ලෙස ජීවිතය ගැටගසා ගැනීමට උත්සාහ කරති. ජංගම දුරකථනය ලාම්පුවක් ලෙස භාවිතා කිරීමේ සිට සූර්ය බලයෙන් දුරකථන ආරෝපණය කිරීම දක්වා ඔවුන් විවිධ උපක්‍රම සොයාගෙන ඇත. කෙසේ වෙතත්, "අපිව කාන්තාරයක තනි කර දමා ඇතිවාක් මෙන් දැනේ" යන අබ්දෙල් කරීම්ගේ වදන්වලින් ගම්‍ය වන්නේ එම තාවකාලික විසඳුම්වල ඇති අසරණභාවයයි.