රෂිකා හෙන්නායක මාර්තු 30, කොළඹ LNW :
ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිග කලාපය දැඩි යුද ගින්නකින් වෙලී යද්දී, එහි රාවය ගෝලීය බලශක්ති සැපයුම වෙත ප්‍රබල 'බලශක්ති අර්බුධයක් (Energy Shock) එල්ල කර තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ලෝක ආර්ථිකය දැඩි අවිනිශ්චිතතාවයකට ඇද වැටීම සාමාන්‍ය ස්වභාවයයි. සාමාන්‍යයෙන් මෙවන් ගෝලීය අර්බුධයකදී ශ්‍රී ලංකා රුපියල වැනි නැගී එන ආර්ථිකයක මුදල් ඒකකයක් සීඝ්‍රයෙන් කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කළත්, මෙවර සිදුව ඇත්තේ උඩුයටිකුරු වූ පුදුම සහගත සිදුවීමකි. කලාපීය සෙසු මුදල් ඒකක දැඩි පසුබෑමකට ලක්වෙද්දී, ශ්‍රී ලංකා රුපියල සිය ස්ථාවරත්වය සුවිශේෂී අයුරින් රැකගැනීමට සමත්ව තිබේ.
නමුත් මෙවන් ස්ථාවරත්වයක් නිරායාසයෙන්ම ඇතිවූවක්ද? එහි රහස ඇත්තේ මහ බැංකුව ක්‍රියාත්මක කරන සුවිශේෂී ප්‍රතිපත්තිය සහ දත්ත තුළ සැඟව ඇති සැබෑ කතාව තුළයි.
මැදපෙරදිග අර්බුදයත් සමඟ කලාපීය රටවල් රැසක මුදල් ඒකක දැඩි සේ අවප්‍රමාණය වී ඇතත්, ශ්‍රී ලංකා රුපියල පෙන්වා ඇත්තේ ඉතා අවම සහ කළමනාකරණය කළ හැකි මට්ටමක බලපෑමකි. මැදපෙරදිග යුද අර්බුදය ආරම්භ වූ පෙබරවාරි අග සිට මාර්තු 25 දක්වා කාලය තුළ රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 1.6% කින් පමණි.
අසල්වැසි කලාපීය දැවැන්තයින් හා සැසඳීමේදී රුපියලේ මෙම ඔරොත්තු දීමේ හැකියාව වඩාත් පැහැදිලි වේ:
- ඉන්දියානු රුපියල: -3.1% ක සැලකිය යුතු පසුබෑමක්.
- තායි බාට් (Baht): -4.6% ක දැවැන්ත කඩා වැටීමක්.
- පිලිපීන පේසෝ: -3.8% ක අවප්‍රමාණය වීමක්.
- නේපාල රුපියල: -3.2% ක අගය අඩු වීමක්.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වන අතර, රුපියල මෙලෙස ශක්තිමත්ව පැවතීම මගින් ආනයනික උද්ධමනය පාලනය කර ගැනීමටත්, ජනතාවට ඉන්ධන මිල ඉහළ යාමෙන් දැනෙන පීඩනය යම් මට්ටමකට අවම කිරීමටත් හැකි වී තිබේ.
"මැදපෙරදිග ගැටුම ආරම්භ වීමත් සමඟ රුපියල මත යම් පීඩනයක් ඇති වුවද, 2026 වසරේ මේ දක්වා (YTD) කාලය තුළ රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 1.3%ක් වැනි සුළු මට්ටමකිනි. කලාපීය අනෙකුත් රටවල් සමඟ සසඳන විට මෙය සාපේක්ෂව ඉතා මධ්‍යස්ථ අගයකි." — ආචාර්ය ලසිත පත්බේරිය, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා මහ බැංකුව
යුද්ධයට පෙර සහ පසු – සංඛ්‍යාලේඛන පවසන සැබෑ කතාව
රුපියලේ මෙම ගමන් මග තේරුම් ගැනීමට නම් අප කාලරාමුව දෙස ගැඹුරින් බැලිය යුතුය. 2026 වසරේ මැදපෙරදිග අර්බුදය ආරම්භ වීමට පෙරාතුව, ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 0.2% ක සුළු අගය අගය වැඩිවීමක් (Appreciation) පෙන්නුම් කළේය. මෙය 2025 වසරේදී රුපියල 5.6% කින් අවප්‍රමාණය වී තිබූ පසුබිමක ලැබූ ඉතා වැදගත් ජයග්‍රහණයකි.
යුද්ධය ආරම්භ වීමෙන් පසුව ද රුපියලේ අවප්‍රමාණය වීම 1.6% මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමෙන් පැහැදිලි වන්නේ ගෝලීය වෙළඳපොළේ ඇති වූ කම්පනය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව කළමනාකරණය කරමින් පවතින බවයි.
මහ බැංකුවේ සූක්ෂ්ම ඩොලර් මිලදී ගැනීමේ උපාය මාර්ගය
රුපියලේ ස්ථාවරත්වය රැකගන්නා අතරතුරම මහ බැංකුව තවත් දැවැන්ත කාර්යයක නිරත වී සිටී. එනම් විදේශ විනිමය සංචිත ගොඩනැගීමයි. 2026 වසරේ මුල් මාස දෙක තුළ පමණක් මහ බැංකුව වෙළඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර තිබේ.
සාමාන්‍යයෙන් මුදල් ඒකකයක් පීඩනයට ලක්ව ඇති අවස්ථාවක ඩොලර් මිලදී ගැනීම රුපියලේ අගය තවත් බිඳ වැටීමට හේතු විය හැකි වුවද, මහ බැංකුව මෙහිදී ඉතා සූක්ෂ්ම ‘තුලනය කිරීමක’ (Balancing Act) නිරත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 පෙබරවාරි අවසානය වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 දක්වා වර්ධනය වී ඇත. මෙය ජනවාරි මාසයට වඩා ඩොලර් මිලියන 500 ක සැලකිය යුතු වර්ධනයකි. රුපියල පාලනය කරන අතරතුර මෙවැනි විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් “අතුගා දැමීම” (Mopping up liquidity) මගින් අනාගත කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන “නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තිය” (Flexible Exchange Rate Policy) මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම රහසයි. මීට පෙර අනුගමනය කළ විනිමය අනුපාතය කෘතිමව පාලනය කිරීමේ ක්‍රමවේදය වෙනුවට, දැන් ඉල්ලුමට සහ සැපයුමට ඉඩ දී ඇති අතර මහ බැංකුව මැදිහත් වන්නේ දෛනිකව සිදුවන අධික විචල්‍යතාවන් පාලනය කිරීමට පමණි.
යුද වාතාවරණය හමුවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ “Wait and See” (බලා සිට පියවර ගැනීම) උපාය මාර්ගය ඉතා කාලෝචිතය.
"මෙම යුද්ධයේ ප්‍රතිඵල කෙසේ වනු ඇත්දැයි පුරෝකථනය කිරීමට කිසිවෙකුට නොහැකියි. අපට කළ හැක්කේ සිදුවන දේ දෙස බලා සිට අවශ්‍ය පියවර ගැනීමයි. විනිමය අනුපාතය තීරණය වීමට ඉල්ලුමට සහ සැපයුමට ඉඩ දෙන අතරම, සාර්ව ආර්ථික මූලධර්ම සලකා බලා කෙටි කාලීන විචල්‍යතාවන් අවම කිරීමට අප මැදිහත් වනු ඇත." — ආචාර්ය නන්දලාල් වීරසිංහ, අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව
මැදපෙරදිග අර්බුදය හමුවේ ලොවම සලිත වෙද්දී, ශ්‍රී ලංකා රුපියල පෙන්වන මෙම ස්ථාවරත්වය මෙරට ආර්ථික පදනම ශක්තිමත් වී ඇති බවට කදිම සාක්ෂියකි. කලාපීය දැවැන්තයින් පවා ඇද වැටෙද්දී රුපියල මෙතරම් දුරට ඔරොත්තු දීම ආර්ථික කළමනාකරණයේ ලැබූ ජයග්‍රහණයකි. කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ ගෝලීය බලශක්ති මිල ගණන් වල ඇති විය හැකි හදිසි කම්පන හමුවේ රුපියල මෙම ස්ථාවරත්වය දිගින් දිගටම රැකගනු ඇත්ද යන්න අප විමසිල්ලෙන් බැලිය යුතුය.



