සටහන – ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය තවලම ධම්මික නාහිමි
අප්‍රේල් 01, ස්විට්සර්ලන්තය (LNW): බොහෝවිට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලදී නිතර අපට හමුවන ආරෝහ පරිනාහ පෞරුෂත්වයෙන්,විශදව දුර සිට වුව ද නෙතට ලක්වෙන ප්‍රියමනාප භික්ෂු චරිතයක් අපේ මතකයේ පවතී.
ඍජු කයින් යුතුව ගමන් කරමින් හමුවන හැමට උන්වහන්සේගේ හුරු පුරුදු බැල්මෙන් සුහදතාව පළකරමින් අපට සමීප මෙම භික්ෂු වරයාණන් අන් කවරෙක් නොව මෑතදී මියන්මාර ජනරජයෙන් රාජ පුජිතව අග්ගමහා පණ්ඩිත ගෞරවණිය උපාධියෙන් සම්මානිත වූ කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අකුරටියේ නන්ද මාහිමිපාණන් වහන්සේය.
දකුණුලක අගනුවර ගාලු පුරවරයට ආසන්න අකුරටිය නම් සම්භාවනීය, යතිවරයාණන් වහන්සේලා නිසාම කීර්තිමත් වූ ගිංගාව අසබඩ දර්ශනීය ගම්මානයේ උභය කුල පාරිශුද්ධ පින්වත්දෙමාපිය දෙපළ කට දාව උපත ලත් නන්ද හිමියෝ ගාල්ලේ ඉතාම සම්භාවනීය පැරණි අධ්‍යාපන ආයතනය වූ විද්‍යාලෝක මහා පිරිවෙන් විහාරාධිපති හා ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂකව වැඩසිටි රාජකීය පණ්ඩිත අකුරැටියේ අමරවංශ නාහිමිපාණන් වහන්සේගේ හා එම ආයතනයේම ඉන්පසු ආධිපත්‍ය හෙබවූ ශාස්ත්‍රපති පුජ්‍ය අකුරැටියේ නන්දසාර නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදිව උන්වහන්සේලා ඇසුරෙන් අවශ්‍ය උගත මනා බණ දහම් හා අනෙකුත් විෂය මාලාවන්ගෙන් විශේෂ දක්ෂතා දක්වමින් අනාගත සාර්ථක භික්ෂු චරිතයක අංකුර රෝපණය කරගනිමින් දමාගත් පදනම අප අද උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුළින් ප්‍රකටව දර්ශනය කරවන්නේමය.
අනතුරුව විදුලකර සරසවියෙන් මුලික උපාධිය හා දර්ශනපති, ශාස්ත්‍රපති උපාධි ලබමින් හා එංගලන්තයේ කේම්බ්‍රිජ් හා ලන්කස්ටර් සරසවි වලින් පශ්චාත් උපාධි ඩිප්ලෝමා සාර්ථකව ලබමින් ඉංග්‍රීසි භාෂාවෙන් ද සිය අනාගත සාර්ථක ආගමික ශාස්ත්‍රීය මෙහෙයකට සුදුසුකම් ලබා තම ශාස්ත්‍රීයපෞරුෂත්වය මැනවින් ඔපමට්ටම් කර ගත්හ.
මේ නිසාම වරෙක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුලපති වරයාණන් ලෙසද, මහාචාර්ය පි.බි සන්නස්ගල වැනි අයෝමය විද්වතුන් හෙබවූ සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කතෘ තනතුර ද හොබවමින් ප්‍රශංශනීය සේවාවක් සිදු කළහ. ඒ අතර තම ගුරුදේවයන්වහන්සේ මාළිගාකන්දේ විද්ද්‍යෝදය මහා පිරිවෙන්හි අධිපතිවූ කල්හි එහි කෘත්‍යාධිකාරින් වහන්සේ ලෙස ද තරුණ භික්ෂූන් පුහුණු කරමින්,පිරිවෙන් පරිපාලනයටද සුවිශාල මෙහෙයක් සිදු කළහ.මේ අතර බොහෝ ප්‍රදේශවල විහාරස්ථානයන්හි, විවිධ සමිති සමාගම් වල දේශනා, ධර්ම දේශනා සිදු කරණ උගත් යතිවරයෙකු ලෙසද ප්‍රකටය.
වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල සංවිධානය කරණ කමිටුවේ ප්‍රධානියෙකු ලෙස ලංකාව නියෝජනය කරමින් අනෙක් බෞද්ධ රටවල් සමග කරට කර බර උසුලමින් සිය යුතුකම හා වගකීම බෞද්ධ ලෝකය වෙනුවෙන් සිදුකරණ ආකාරය බෙහෙවින්ම අගය කළ යුතුය.එංගලන්තයේ කින්බස්රි සද්ධාතිස්ස බෞද්ධ ආයතනයේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් එම විහාරාධිපතිව වැඩ විසු අතිපුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමි ඉල්ලිම පරිදි එම ආයතනයට සහය වෙමින් කටයුතු කරණ ආකාරය වැදගත්ය.
අපේ රටේ පසුගිය කාලය තුළ ඇතිවූ බොහෝ ආගමික සමාජ හා විවිධ සංකිර්ණ ප්‍රශ්න හමුවේ නොබියව සිය අදහස් ප්‍රකාශ කිරීම එම කරුණු අරභයා අවංකවම මැදිහත්වීම, විසදුම් සෙවීම උන්වහන්සේ තම ජීවිතයෙන්ම පුරුද්දක් කරගෙන කටයුතු කරති.
මේ හැම සම්භාවනීය අවස්ථාවන්හිදී ම තම ඍජු හුරුපුරුදූ ප්‍රතිපත්තිගරුකව ක්‍රියාකිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙයි. මෙම විවිධවූ මහනිය ගුණයන්ගෙන් පිරිපුන් උන්වහන්සේ අද රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති වරයාණෝ ද වෙති.
මේ සියලු ශාසන මාමක තත්ත්වයන් අවධානයට ලක් කරමින් මියන්මාර් ජනරජය මගින් උන්වහන්සේ වෙත භික්ෂුවරයෙකුට උපහාර කරණ ඉහළම සම්මානය වන අග්ගමහා පණ්ඩිත තනතුරෙන් පුජනීයත්වයට පත් කිරීම අතිශයින්ම සම්භාවනීය මංගල කාරණයක්මය. මෙම අලුත් තත්ත්වයන් තුළ වඩාත් පරිණතව හා අභිමානවත්ව, මහත් ලෝක ශාසනික ශාස්ත්‍රීය සේවාවක යෙදෙන්නට උන්වහන්සේට අපිදු මෙසේ සුභාශිංසන පළ කරම්හ.