ඇමරිකානු නිදහස් මාධ්‍යවේදිනියක් වන ෂෙලී කිට්ල්සන් බැග්ඩෑඩ්හිදී පැහැර ගනියි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාක අගනුවර වන බැග්ඩෑඩ්හිදී ඇමරිකානු නිදහස් මාධ්‍යවේදිනියක් වන ෂෙලී කිට්ල්සන් ඊයේ(31)දිනයේදී පැහැර ගෙන ගොස් තිබේ.

ෂෙලී කිට්ල්සන් සේවය කරන ප්‍රවෘත්ති ආයතනයක් වන අල්-මොනිටර් ප්‍රකාශ කර තිබුණේ, ඇය පැහැරගනු ලැබූ සැකකරුවන්ගෙන් එක් අයෙකු ඉරානයේ සහාය ලබන මිලීෂියාවකට සම්බන්ධ බව ඉරාක සහ ඇමරිකානු නිලධාරීන් පවසන බවයි.

ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව,පැහැරගත් අය පසුපස ආරක්ෂක අංශ හඹා ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැරගත් අයගේ මෝටර් රථයක් පෙරළී ගොස් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත්ය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා මිලීෂියා කණ්ඩායමක් වන කටයිබ් හිස්බුල්ලා සමඟ සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර කටයිබ් හිස්බුල්ලා කාන්තා මාධ්‍යවේදීන් පැහැර ගැනීමට හෝ මරා දැමීමට කුමන්ත්‍රණය කරන බව පැවසේ.

බැග්ඩෑඩ් වරක් පැහැරගැනීම් සඳහා කුප්‍රකට වූ නමුත් මෑත වසරවලදී ඉරාකයේ ආරක්ෂක තත්ත්වය වැඩිදියුණු වී ඇති බැවින් පැහැරගැනීම් අඩු වී ඇත. කෙසේ නමුත් FBI, ජාතික ආරක්ෂක කවුන්සිලය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඩෙල්ටා බලකාය සහ ඉරාක ත්‍රස්ත විරෝධී සේවය ඇයගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් සම්බන්ධව විමර්ශන සිදු කරමින් පවතියි.