සටහන – රුවන් නෙළුගොල්ල
සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12න් අවසන් වන බවත්, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මොවුන්ට රාජ්‍ය සේවයට එක්වීමට ඇති අවස්ථාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අවහිර කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවත් සඳහන් කළේය.
“මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.
අපි සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සඳහා කටයුතු කරගෙන යනවා. ඔවුන්ට කාලයක් ලබා දුන්නා, එම පත්වීම් ලබාගැනීමට අයදුම් කිරීම සෙනසුරාද දවල් 12න් අවසන් වෙනවා. ඒ අයගේ දුෂ්කර සේවා සහ ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
මේ වනවිට සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරු රජයේ සේවයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරමින් ඉන්නවා. මේ වෛද්‍යවරු සමහර විට අවුරුදු 5 ලංකාවේ වෛද්‍ය පීඨවල, නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන සමහර විට අවුරුදු 6ක්, 7ක්, 8ක් වෙන්න පුළුවන්.
ඔවුන් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ලබලා, රජයේ සේවයට ඇතුළත්වීම සඳහා අපේක්ෂා සහගතව ඉන්න වෙලාවක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අය උපයෝගී කරගෙන මේ වැඩ වර්ජනය දියත් කරන්නේ. මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ.
සෙනසුරාදා දවල් 12 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.
දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න. ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ”
“මේ වෛද්‍යවරු 453ක් බිල්ලට අරගෙන, ඔවුන් බය කරලා, විකෘති සහගත දේවල් අසත්‍ය තොරතුරු කියලා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරගෙන යන ක්‍රියාව අතිශය අමානුෂිකයි, අතිශය අසාධාරණයි.
ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ…, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.
අපි ශ්‍රී ලංකා පොලීසිය හරහා ඒ පිළිබඳ විමර්ශන කරනවා. මේ වනවිට සමහර රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට තර්ජන එල්ල කරලා තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වෙනවා. පැමිණිලිවලට අපි සඳුදායින් පස්සේ පරීක්ෂණ පවත්වනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනමත්, පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමත් ඒ කටයුතු සිදුකරනවා.
කෙසේ නමුත් සෙනසුරාදා 12න් පස්සේ මේ ලැයිස්තුව එක විනාඩියක්වත් දික් කරන්නේ නැහැ”
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


