සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 05 , කොළඹ (LNW):අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බවයි,
රජිත කීර්ති තෙන්නකෝන් මහතා ත්ස්ව්ස් දුරටත් පැවසූවේ,
” විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙනවා.
තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙනවා.
එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව කිවයුතුයි.
රජයේ මෙම ණය ගෙවීමේ ප්‍රශස්ත වාර්තාව හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ප්‍රමුඛ ආයතන රජයට අඛණ්ඩව ණය සහ වෙනත් සහන ලබා දී ඇති බව ද සඳහන් කළයුතුයි.
මෙම කාලය තුළ ද්වි පාර්ශවීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇති අතර මේ වන විට අදාල රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා.
ඊට අමතරව පැරිස් සමාජයට අයත් රාජ්‍යයන් ද ඇතුළුව ණය සහ පොලිය ගෙවීමට අදාල මුලික එකඟතාවයන් ගොඩ නඟා ගෙන ඇති අතර 2024 පෙබරවාරි මස අවසානය වන විට ගෙවිය යුතු හිඟ පොලිය ඩොලර් මිලියන 450.7 ක් වනවා.
පසුගිය සමයේ අතරමඟ නැවතී තිබූ ව්‍යාපෘති රැසක් නැවත ඇරඹීමට, ජපානය ඇතුළු රාජ්‍යයන් ගණනාවක් මුලික එකඟතාව ලබාදී ඇති බවද සඳහන් කළයුතුයි. එසේම කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, කුවේටය, පාකිස්ථානය, රැසියාව, ස්පාඤ්ඤය, ඇමරිකාව යන රාජ්‍යයයන් මෙන්ම චීන සංවර්ධන බැංකුව, චීන-හංගේරියානු, ඉන්දීය හා ඇමරිකානු එක්සිම් බැංකු ඇතුළු තවත් මුල්‍ය ආයතන 25 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ලංකා රජය ද්වි පාර්ශවීය ණය ගනුදෙනු සිදු කර තිබෙනවා.
මෙම ණය සහ පොලී ගෙවීම සිදු කර ඇත්තේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, කැනේඩියන් ඩොලර් යන මුල්‍ය ඒකකයන්ගෙන් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ඩොලර් සංචිතය වැඩි කර ගෙන ඇත්තේ විදේශීය මුදල් ඒකක වලින් දේශීය වශයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුවට ගෙවිය යුතු දේශීය ණය හා පොළිය ද ගෙවීමෙන් පසුවයි.
තවද, මෙම බහු පාර්ශවීය, ද්විපාර්ශවීය සහ දේශීය ඩෝලර් ණය ද ගෙවීමෙන් අනතුරුව ද මේ වන විට මෙරට මුදල් සංචිතය ඩොලර් බිලියන 4.9 ( ඩොලර් මිලියන 4950) ඉක්මවා වර්ධනය වී තිබෙනවා.
ඉහළ පොලී අනුපාත යටතේ රජය ලබා ගෙන ඇති ව්‍යාපාරික ණය සහ පොලිය ඩොලර් මිලියන 4,439.2 ක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය කටයුතු කරමින් සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්වන තුරු එම මුදල් ගෙවීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවද කිවයුතුයි.
මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන් විශේෂ පොලී අනුපාතිකය පිළිබඳව මේ වන විට සිදුවන කථා බහ පිළිබඳ අදහසක් දැක්විය යුතුයි.
2015 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් ලබා දීම යටතේ, එනම් වාර්ෂිකව 15%ක පොලී අනුපාතිකයක් ලබා දුන්නා. ඒ වන විට බැංකුවල පැවති අඩු පොලී අනුපාතිකයේ සිට 15% වූ ඉහළ පොලී අනුපාතිකය දක්වා වන පරතරය පියවීමට මුදල් ලබා දුන්නේ භාණ්ඩාගාරයයි.
2015 දී වාණිජ බැංකු හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට රුපියල් ලක්ෂ 10ක් දක්වා මුදල් ප්‍රමාණයකට මෙම පොලී අනුපාතිකය ලබා දුන් අතර 2018 අයවැය මඟින් මෙය ලක්ෂ 15ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව පැවති ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 12 ටම මෙම පොලි අනුපාතිකය හිමි වුණා.
2022 වන විට මෙම අතිරේක පොළිය ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් එක් කාර්තුවකට රුපියල් බිලියන 20ක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ කාර්යය සඳහා වසරකට රුපියල් මිලියන 80,000ක මුදලක් භාණ්ඩාගාරය දැරිය යුතු වුණා. එහෙත් රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ 2022 ඔක්තෝබර් 01 වන සිට මෙම ක්‍රියාවලිය නවතා දැමීම සිදු වුණා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 50%කට වැඩි පිරිසක් මාසිකව ඔවුන්ගේ පොලි මුදල ලබා ගන්නවා. අද පවතින මූල්‍ය තත්ත්වය අනුව මේ වෙනුවෙන් වසරකට මිලියන 80,000ක අතිරේක මුදලක් දැරීමට රජයට නොහැකි බව ඉතා පැහැදිළියි.
2022 ඔක්තෝබර් මාසය දක්වා ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය ලබා දීම සඳහා වන අතිරේක මුදල් වෙනුවෙන් මේ වන විට බැංකු 17කට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 108ක් වෙනවා.
රුපියල් මිලියන 80000 ක් වන වසරකට අවශ්‍ය අතිරේක මුදල සොයා ගැනීමට නම් අද තිබෙන වැට් අගය 1%කින් වැඩි කළ යුතුයි.
මේ පසුබිම තුළ ඇතැම් පාර්ශ්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලිය අඛණ්ඩව ලබා දීමේ හැකියාවක් පවතින බව සඳහන් කරනවා නම් ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධයේ පැවසිය යුතුයි.
මහ බැංකුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පොලී අනුපාත පහත හෙලා තරගකාරී ක්‍රමයකට ලාභ ඉපැයීම සඳහා ආයෝජන අවස්ථා ලබා දීමයි. ආකර්ෂණීය මැතිවරණ පොරොන්දු ලබා දීමෙන් බැංකු පොලී අනුපාතික 30% ආසන්නයට යාමෙන් ජනතාවට ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමට පවා නොහැකි වූ අයුරුත්, රට බංකොලොත්භාවයට පත් වූ අයුරුත්, අප අත් විඳ තිබෙනවා. මේ අවස්ථාවේ වැදගත් වන්නේ එම තත්ත්වය නැවත ඇති නොවන ලෙස කටයුතු කිරීම බව අවධාරණය කළ යුතුයි” ලෙස කියා සිටියේය.