Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

වීදි විරෝධතා යනු සෑම සමාජයකින්ම පැන නඟින පොදු ජන විරෝධතා අතුරින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරිත්වයකි.තම ප්‍රජාවේ පැවැත්මට එරෙහි වන කිනම් හෝ සමාජ ,ආර්ථික,දේශපාලනික හෝ සංස්කෘතික බලපෑම් මඟින් පීඩාවට පත් වන ජන කොටස් ඒවා එල්ල කරන පුද්ගලයන්ට හෝ පාර්ශවයන්ට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස භාවිතා කරන මෙම විරෝධතා ජන මනැස විසින් මෙහෙයවනු ලබන ඒවා ය.

මෙවර අප්‍රියෙල් තුන් වන දා දියත් කිරීමට සැළසුම් කොට තිබූ ජනතා අරගලය ද එවැන්නකි. ඒ හැර එය ඒක කේන්ද්‍රීය අධිකාරීගත බලයක් විසින් මෙහෙයවුණු එකක් නොවේ. එමෙන්ම එය පක්ෂ දේශපාලනයෙන් අත් මිදුණු පොදු ජනතාව විසින් මෙහෙයවන හසුරුවන සේම නියාමනය කිරීමට සැළසුම් කොට තිබූ වීදි විරෝධතාවකි.තම ප්‍රජාව හෝ සමාජය කෙරෙහි එල්ල වන කිනම් හෝ පීඩාවක් හමුවේ ඊට ප්‍රතිරෝධය දැක්වීම පිණිස සංවිධානය කෙරෙන මෙවන් වීදි විරෝධතා සඳහා දේශපාලනික දැක්මක් අවශ්‍ය නොවේ.

බොහෝ විට බිම් මට්ටමේ ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරීත්වයක් වන ඒ තුළින් පවත්නා රජයට එරෙහි දේශපාලන පක්ෂ සහ සංයුතීන් පෝෂණය වීම දෙවනුව සිදුවන්නකි.අපගේ නිගමනයට අනුව මෙය එක්තරා සමාජ අරගලයක් මිස හුදු දේශපාලනික අරගලයක් නොවේ.

එහෙත්, සයිබර් අවකාශය උපයෝගී කරගනිමින් නූතන තරුණ පෙළ සංවිධානය කිරීමට සැරසුණු මෙම ජනතා විරෝධය අප රටේ ප්‍රධාන විකල්ප දේශපාලන පක්ෂ දුටුවේ හුදු දේශපාලන කෝණයකිනි.එමෙන්ම මීට දශක කිහිපයකට ඉහත අතීතයක් තෙක් දිව යන අතීත ද්‍රශ්ඨියකිනි.

අප්‍රියෙල් තුන් වන දා සංවිධානය කෙරෙන අන්දමේ සමාජ විරෝධතා ඵලක් නොමැති බවත් එය යම් දේශපාලන ද්‍රශ්ඨියකට නතු වී දේශපාලන නායකත්වයකට යටත් ව කළ යුතු බවටත් එම විකල්ප දේශපාලනඥයෝ තරුණ පෙළට අනතුරු ඇඟවූහ. එමෙන්ම ඔවුන් එම තරුණයන්ට අවධාරණය කොට සිටියේ කවර හෝ සද්අභිලාෂයකින් දක්වනු ලබන විරෝධතාවයක් තුළට වෙනයම් බාහිර බලවේග රහසිගතව කඩාවැදීමෙන් එම විරෝධතාවයේ ප්‍රගතිශීලීත්වයක් වෙනුවට ප්‍රතිගාමීත්වයක් ඉස්මතු විය හැකි බවයි.

එහෙත්,මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ සරසවි ශිෂ්‍ය ප්‍රජාව සේම ඔවුගේ වයස් ඛාණ්ඩයේ සෙසු තරුණ ප්‍රජාව පවසනුයේ එවන් විරෝධතාවයන් තුළට එවැනි බාහිර විෂබීජ ඇතුළු වීමට ඇති හැකියාව හැත්තෑවේ අසූවේ දශකයන් සම්බන්ධයෙන් සාධාරණී කරණය කළ හැකි වුව ද අනූවේ දශකයේ සිට ගත වූ දශක තුන තුළ විද්‍යා ප්‍රවර්ධනය වූ නවීන විද්‍යා තාක්ෂණය අනුව අද වන විට එවැනි විෂබීජ පහසුවෙන් හඳුනා ගෙන ඒවා විනාශ කර දැමීමේ ක්‍රම වේද සයිබර් අවකාශය සතු බවකි.

එමෙන්ම අප රටේ දේශපාලන ඉතිහාසය තුළ සිදු වූ සන්නද්ධ අරගල වලින් එදා මෙදා තුර සිදු වූ සමාජ දේශපාලන ප්‍රගමනය කුමක් දැයි විමසා සිටින සරසවි ශිෂ්‍ය ප්‍රජාව හා ඔවුනට සමගාමී තරුණ පිරිස් පවසනුයේ තමන් ගේ මෙම සැළසුම අප රට පෙර පැවැති අරගල මෙන් පොදු ජන ජීවිත සහ දේපල විනාශ කිරීමෙන් නිමාව සන්නද්ධ අරගල කිරීම නොවන බව ය. එනිසාම ඒවාට සම්බන්ධ වූ පාර්ශවයන්ගෙන් මෙම කටයුතු සඳහා නියාමනයක් අධීක්ෂණයක් අවශ්‍ය නොවන බව ද ඔවුහු කියා සිටිති. අපගේ නිගමනය අනුව මෙය නවතම සමාජ ආකල්ප පිබිදුමක් හා පෙරැලියකි.

මානව චර්යාවන් යන්න කාලානුරූපී ලෙස වෙනස් වන්නකි.මානව බුද්ධි පරිනාමය සහ ඒ හා බැඳුණු විද්‍යා තාක්ෂණික පසුබිම දෙස සංවිභාගශීලී වීම හැරුණු කොට ඒවාට අනුගත වීමට වැඩිහිටියන් වන අපට කළ නොහැකි වන්නට පුළුවන. නිදසුනක් ලෙස මගේ ජංගම දුරකතනය හෝ පරිගණකය සම්බන්ධ දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ මට නොමැති හැකියාවක් වයස අවුරුදු දහයේ දොලහේ දරුවකුට වුව තිබිය හැක.ඒ නිර්නායකය අනුව බලන විට ඔහු මට වඩා දැනුම් තේරුම් ඇත්තෙකි.අප එය ද පිළිගත යුතුමය.

අප්‍රියෙල් තුන් වන දා සංවිධානය වී තිබූ මෙම තාරුණ්‍යය කේන්ද්‍රකර ගත් ජනතා විරෝධයේ නියාමකත්වය තමන් සතු කර ගෙන එමගින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මාන බලන විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට හැකි වනු ඇති බවත් එමඟින් එම අරගලයේ දේශපාලනමය අරමුණ යටපත් වන බවත් විකල්ප දේශපාලන පක්ෂ වල අදහස වී තිබේ.එහෙත්, තමන් සතු ඉකුත් දශක කිහිපයේ අමිහිරි අද්දැකීම් එලෙස ගොනු කර ගැනීමට ඔවුනට හැකි වුව ද නූතනයන් වන තමන්ට එය අදාල නොවන බව එම තරුණයන්ගේ මතය වී තිබේ.

එනිසා තම විරෝධතාවයන්ට කඩා වදින බාහිර පිරිස් වලට ඇතුළු විය හැකි දොරටු වසා තබන බවත් බාහිර පාර්ශවයන් ගේ එම බලහත්කාරී ප්‍රවිශ්ඨයන් විද්‍යුත් සන්නිවේදන ක්‍රම ඔස්සේ සමාජ ගත කරන බවත් එම තරුණ පිරිස් අප හා කියා තිබේ.එමෙන්ම එම තරුණ ප්‍රජාව අවධාරණය කරනුයේ තමන් ගේ මෙම අරගලය ආණ්ඩු පෙරැලියකට නොව වත්මන් රාජ්‍යය බිඳ වැටීමට එරෙහිව කරන සමාජ ක්‍රියාකාරීත්වයක් බව ය.

මෙය ද අප රටේ සියළු පාර්ශවයන්ට අයත් වැඩිහිටි දේශපාලඥයන් සිහි තබා ගත යුතු යැයි මම යෝජනා කරමි.
අප රටේ ඇතැම් දේශපාලන බලවේග තමන්ගේ ද සහභාගීත්වයෙන් ගොඩ නඟා ගත් නිදහසින් පසු දේශපාලන ඉතිහාසය “වසර හැත්තෑ හතරක ශාපය” ලෙස නම් කරමින් තමන් ගේ දේශපාලන ගමන් මඟට අමුතු පාරිශුද්ධතාවක් එක් කොට ජනතාව එක් කර ගැනීමට මාන බලනු පෙනෙයි.

ඒ අතරේ නව සියවසේ ලෝකය පුරා පැතිරගත් අති නවීන දැනුම බුද්ධිය ව්‍යවහාරික වශයෙන් භාවිතා කරන නූතන තරුණ පරපුරට අප රටේ සමාජ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසිය හැකි නව මංපෙතක් විවර වන අන්දම උපේක්‍ෂා සහගතව බලා සිටීම ද වැදගත් සමාජමය අවශ්‍යතාවකි.ඒ බව මෙවන් ජනතා විරෝධතාවයන්ට එරෙහි වන සහ සූක්ෂම ලෙස ඒවායේ හිමිකාරත්වය ගැනීමට මාන බලන සියළු දේශපාලනඥයන්ට කාරුණිකව මෙනෙහි කරනු කැමැත්තෙමි.

රජය දියත් කළ මර්දන කාරී වැඩ පිළිවෙල මගින් මෙවර අප්‍රියෙල් තුන් දා විරෝධතාව එතරම් සාර්ථක නොවූව ද ඉදිරි කාලයේ දී හෝ නවීන තාක්ෂණික දැනුම නව නිර්මාණාත්මක සංකල්ප පරිකල්පන වලින් සුපෝෂිත තරුණ පරපුර අතීත අරගල කරුවන් මෙන් සන්නද්ධ නොවූ බුද්ධිය අවියක් කොට ගත් නිරායුධ ජනතා විරෝධතාවනට පිවිසෙනු ඇත.

ඒ ඔස්සේ තමන් පතන නිදහස් නිවහල් සමාජය වෙත පිය නැඟීමට ඔවුන් තුළ පවත්නා උනන්දුව හා ඊට ඇති අවකාශය දෙස සමාජයේ සියළු වැඩිහිටියන් උපෙක්ෂා සහගතව හා සහනශීලිව බැලිය යුතු ය.එසේ නොමැතිව තම තමන් ගේ පෞද්ගලික දේශපාලනික මතවාද, දර්ශන පදනම් කරගෙන නූතන තරුණ පෙළට මෙම සමාජයීය අවකාශය අහිමි කරවීම නවතම සමාජ අසාධාරණයක් විය හැකි බව ද කාරුණිකව අවධාරණය කරමි.

විනිවිද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.