සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන්න – විදෙස් තානාපතිවරු රජයට පවසති

Date:

රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ රජයට විරෝධය පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර විදෙස් තානාපතිවරු රජයෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී විරෝධතා පැවැත්වීම සඳහා ජනතාවට ඇති අයිතියට කරු කරන ලෙසයි.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය වැසියන්ට සාමකාමී විරෝධතා පැවැත්වීමට අයිතියක් තිබෙන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා අත්‍යාවශ්‍ය දෙයක් බවත් ය. මතුව ඇති තත්ත්වය පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරන ඇමරිකානු තානාපතිනිය ඉදිරි දින තුළ සෑම පාර්ශවයකගෙන්ම සංයමයක් බලාපොරොත්තු වන අතර, මෙම මොහොතේ අත්‍යාවශ්‍ය ආර්ථික ස්ථායීතාව පීඩාවෙන් පසුවන අයට සහන ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද සඳහන් කරන්නීය.

යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාවේ මතුව ඇති තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රකාශ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම තම දැඩි අවධානයට යොමුවූ බවත්, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සතු සාමකාමී ඒකරාශී වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට ගරු කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ය.

ජර්මානු තානාපති හොල්ගර් සූබර්ට් මහතා යුරෝපා සංගමයේ මතයට එකඟතාව පළකර ඇති අතර, මිනිසුන් තම අයිතිවාසිකම් සඳහා ඒකාරාශී වීම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හේතුවක් නොවිය යුතු බව අවධාරණය කළේය. හදිසි තත්ත්වය වන්නේ ඔවුන් වීදි බැසීමට පාදක වූ හේතුව බව ද හෙතෙම පැහැදිලි කළේය.

ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාව ඇතුළු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක සාර්ථකත්වයට මූලික වන කරුණක් බව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසයි. අභියෝග වලට විසඳුම් සොයා ගත හැකි වන්නේ නිදහස් අදහස් හුවමාරුව තුළින් බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර, ලොව නන්දෙස සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාව පවතින රජය හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන මෙන් බලකරමින් විරෝධතා පවත්වන අන්දම ඊයේ (04) දින ද දක්නට ලැබිණි. මේ අතර ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, එක්සත් රාජධානිය, ප්‍රංශය, එක්සත් ජනපදය, ෆින්ලන්තය, කැනඩාව, ඉතාලිය හා ජර්මනිය යන රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විරෝධතා වල නියැලෙන අන්දම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වල හුවමාරු වී තිබිණි. මර්දනය නවතා පුද්ගලයන් සතු විරෝධතා දැක්වීමට ඇති අයිතියට ගරු කළ යුතු ය යන්න පවා ඔවුන්ගේ සටන් පාඨ අතර විය.

මේ අතර, එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පුතුගේ නිවස ඉදිරිපිට ද කුඩා විරෝධතාවයක් සංවිධානය කර තිබූ අන්දම ද දක්නට ලැබිණි. ජනපති පුතුගෙන් ඔවුන් ඉල්ලා සිටියේ තම පියා යළි ඇමරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...