නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් වෙනස් කරන්න හිතවන්න පුළුවන් සබඳතාවයන් නැති වුණාම ඒ ක්‍රීඩාවල සිඳුවීම් කවරාකාරයක් ගනීද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට ක්‍රීඩා අමාත්‍යංශයට ද අදාළ නැත.ප්‍රශ්නයක් තියෙනවනම් සහ කවුරු හරි ප්‍රශ්නයක් තියෙන බවට ඉහළට හිතවන්න පුළුවන්කමක් තියෙනවනම් එම ක්‍රීඩා ව්‍යවස්ථාවේ සිටම වෙනස් කර කණපිට හරවන්න ඉදිරිපත් වන්නේය.මිත්‍රකමක් බැදීමක් ඇත්නම් වැරදුණ අතීතය වල දමා නැවුම් මුහුණුවරකින් මැරී ඉපදුණ ගාණට අලුත් විදිහට යන්නට හැකිය.
මේ දෙකොටසටම අයිති නැති ක්‍රීඩාවල මොනවා වුණත් කමක් නැත.අද බැඩිමින්ටන් ක්‍රීඩාව වැටී ඇත්තේ එතැනටය.නිලධාරි පොකුරු පිටින් ඉල්ලා අස්වෙද්දී සභාපති රොෂාන් ගුණවර්ධන එහි ඡන්ද හිමි බැඩිමින්ටන් ක්‍රීඩා සංගම්වල ඒකමතික තීරණයට අනුව බලය ලද පිරිසෙන් විශාල පදාසයක් ගැල වී ගිය ද නොසැලී එම තනතුරේ ඉන්නේය.මා පළමු කී තීරණයට අදාළ නොවන පිරිසක් පසුව එක් කරගෙන තනතුරුවල හිස්තැන් සංඛ්‍යාත්මකව පිරී පවතින්නට සළස්වා වැඩ කරන්නට ද ඉඩ ඇත.වටේ සියල්ල කඩා වැටෙන් විට තනිව දරාගෙන ලැජ්ජාව නොසළකා හෝ ප්‍රතික්ෂේප කිරිමේ පණිවිඩය නොතකා වැඩ කරන්නට රොෂාන් දේශපාලනඥයෙකු ලෙස ලබා ඇති පන්නරය වැදගත්ය.
එහෙත් ප්රශ්නය ඒ පන්නරය රටේ බැඩිමින්ටන්වලට කොච්චර වැදගත් ද යන්නය.
චීනයේ නින්ග්බෝ හී පැවත්වෙන නින්ග්බෝ බෑන්ක් ආසියානු බැඩිමින්ටන් සූරතාවලියට වැඩි සද්දයක් නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගොස් ඇත.තරගාවලිය අප්‍රේල් 7 සිට 12 දක්වා පැවත්වෙන අතර සද්ද නැතුව පිටත්ව ගොස් ඇති හේතුව සද්දය දැමූ විට එහි ගැබ්ව ඇති හිස් බව දැනීම විය යුතුය.
කොහොමත් ආසියාවේ බැඩිමින්ටන් යනු පහසු වැඩක් නොවේය.ඉන්නේ ලෝකයේ ඉහළම දක්ෂයෝය.එහෙත් මේවාට අභියෝග කරමින් ලංකාවේ විරේන් සහ රනිත්මා දෙදෙනා ලංකාව යම් තැනකට ඔසවමින් ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලින් පෙරට පැමිණියහ.එහෙත් දැන් ඇති වී තිබෙන අවුල නිසා ඔවුන් දෙදෙනාගේ ජාත්‍යන්තර තරග සහභාගීත්වය සීමා වී ඇත.අනුග්‍රාහකත්වය ගිලිහී යමින් ඇත.සමහර විට මැලේසියාවේ සමාගමක් විරේන්ට ලබා දී තිබෙන අනුග්‍රාහකත්වයන් වුව තරගාවලි සහභාගීත්වය දැඩි නියගයට හසුව ගසාගෙන යද්දී වෙනස් විය හැකිය.
මේ නියඟය නිසා විරේන්ගේ ශ්‍රේණිය පහත වැටී ඇත.රනිත්මාගේ ද එසේය.දෙදෙනාටම තරග කරන ප්‍රධාන තරගකරුවන් 32 සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලැබීමේ වටයට මුහුණ දෙන්නට සිඳු වී ඇත.විරේන් නෙත්තසිංහ ට සහ රනිත්මා ලියනගේ යන දෙදෙනාටම මීට වඩා යහපත් ස්ථාවරයකින් මේ තරගාවලියට මුහුණ දෙන්නට ඉඩ සකස් කරන්නට අවශ්‍යය කාරණාවන් බැඩිමින්ටන් පරිපාලනයට සිඳු කිරීමට නොහැකිව තිබුණිද?
රොහාන් ද සිල්වා සිටියානම් කරයි.
ඇත්තටම ඒ හැකියාව තිබුණේ රොහාන්ගේ මූල්‍යමය ශක්තිය තුළ සහ කළමණාකරන හැකියාව තුළය.එය අඛණ්ඩව පවත්වාගෙන යාමට රොෂාන්ට මූල්‍යමය ශක්තිය නොවුණත් උපක්රමිකව රොහාන්ගෙන් උපකාර ගැනීමේ හැකියාව ක්‍රියාත්මක කරවා ගන්නට තිබිණ.එය සිඳු නොවිණ.ඔහු රොහාන් සමාන මූල්‍යමය හැකියාවක් ඇති අය තමාගේ නායකත්වය යටතේ බැඩ්මින්ටන් වටා රොඳ බැඳ ඇති බව පෙන්වන්නට උත්සාහ කරමින් රොහාන්ව අහිමි කර ගත්තේය.එයින් රොෂාන් දැන් තනතුරක නාමයක් පමණක් වී තනතුර නාම පදයක් පමණක් නොවී ක්‍රියා පදයක් වීමේ ඉඩ සපුරා වසාගෙන ඇත්තේය.යාන්තමට ජාත්‍යන්තර පුහුණුකරුවෙක්ගේ වියදම දැරීමට රොහාන්ගේ බැඩිමින්ටන් පෙම ක්‍රියාත්මක වි තිබෙන නිසා රෙද්ද සම්පූර්ණයෙන්ම නොකැඩී එල්ලෙමින් තිබෙන තත්ත්වයට පත්ව ඇත.
මේ තරගාවලියේදී පිරිමි යුගල තරග අංශයට ක්‍රීඩා කරන්නෙ මධුක දුලාංජන සහ මන්තුක රූපතුංගයි.මිශ්‍ර යුගල ඉසව්වේදී තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වඳිනවා.ගෙවුණු කාලයේ විශාල දීප්තියක් සහිතව වැඩෙමින් සිට තවමත් පාසල් සිසුවියන් වන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා කාන්තා යුගල අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලබා සිටිනවා.





