කොළඹ LNW:ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයත් සමඟ ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඇති කර ගත් එකඟතාවන් සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල අවධානයකට ලක්ව තිබේ. විශේෂයෙන් පෙර දේශපාලන අභ්‍යාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ ලෙස පැවති ඉන්දියානු විරෝධය තවදුරටත් මතුකරමින් අද වන විට ස්ථාපිත කර තිබෙන ජාතික ජන බලවේගයේ ස්ථාවරයන්ට පහර ගසන්නට විපක්ෂය කටයුතු කරමින් හිඳින් බව පෙනෙන්ට තිබේ. එය දේශපාලන පිටියේ විශේෂතාවක් නොවේ. එක පැත්තකින් ඉන්දියාව සමඟ සුහදශීලි ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන අතරම අනෙක් පසින් ආණ්ඩුවට කෙනිත්තීමේ දේශපාලන වුවමනාව වෙනුවෙන් ඉතිහාසය තුළ පැවති ඉන්දියානු විරෝධය මතු කරමින් පසුවෙති. එහෙත් රාජ්‍ය පාලනය අතට ගත් මොහොතේ සිට නොව ඊට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස ලිබරල් මාවතකට පිවිසෙමින් දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදුකරගෙන තිබුණ ආකාරය ප්‍රදර්ශනය කරමින් තිබුණි. එය සියලුම දේශපාලන කඳවුරු කණ්ඩායම් නොදන්නා කරුණක්ද නොවේ. රාජ්‍ය පාලනය අතට ගෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිදුකරන ලද ඉන්දියානු නිල සංචාරය තුළ ඔවුන් ඉන්දියාව සමඟ පැවති විරෝධයන් පසෙක තබා සංවෘත සිමාවෙන් විවෘත සීමාවට පැමිණ රාජ්‍ය පාලනයට අත තබා තිබෙන ආකාරය වචන වලින් නොකියා ක්‍රියාවෙන් පෙනෙන්නට ඉඩ හැර තිබුණි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය යාම යාම එකඟතාවලට පැමිණ ඇති බව රජයේ පාර්ශවයෙන් පවසා තිබේ.
මෙම පසුබිම මත අද (07) දින ද පක්ෂ විපක්ෂ නියෝජනයන් ඉන්දියානු අගමැතිවරයාගේ මෙරට නිල සංචාරය සම්බන්ධයෙන් විපක්ෂයේ සාතිශය බහුතරයක් විවිධ අදහස් දක්වා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ තුළ පැවති ඉන්දියානු විරෝධයන් හුවාදක්වමිනි. ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අනුර – මෝදි හමුව සම්බන්ධයෙන් ඉතා සාධනීය ලෙස අදහස් දක්වා තිබුණි.
”මම විශ්වාස කරන විදිහට අපේ පක්ෂයේ මිත්‍රවරු මොනවා කිව්වත් මෝදීගේ ශ්‍රී ලංකා සංචාරය ඉතාම සාර්ථක,වාසි සහගත,ඉතාම අර්ථාන්විත සංචාරයක් කියල තමයි මම හිතන්නේ. ආණ්ඩුවත්,ජනාධිපතිවරයාත් මේ සංචාරයේදී ශ්‍රී ලංකාවට උපරිම ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහට මේ සංචාරය හා සාකච්ජා සංවිධානය කරලා තිබ්බා දැක්කා. ඒ නිසා මම ඒ ගැන සතුටු වෙනවා අපි ඒ පක්ෂයේ නොවුණත්. මොකද ලංකා ඉතිහාසය දිහා බැලුවොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉන්දිර ගාන්ධි මැතිණිය එක්ක තියා ගත්ත තද මිත්‍රත්වය,සම්බන්ධය,අන්‍යෝන්‍ය විශ්වාසය මත තමයි කච්චතිව් දුපතත් දුන්නේ. අදත් කච්චතිව් දුපත ගන්න කියල ලොකු බලපෑමක් තමිල්නාඩුවෙන් තියෙද්දී මෝදි අග්‍රාමාත්‍යතුමා ඒ ගැන කිසි කතාවක් නොකර පළාත් සභා ෆිටුවන්න බලය බෙදන්න කියන කාරණය කියල අනික් හැම පැත්තෙන්ම විශාල වාසි,ප්‍රයෝජන,ලාභ විශාල ගණනක් අත්පත්කරලා දුන්නා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දිරා ගාන්ධි මැතිණියගේ විරෝධය මැද හලාවත ඇමරිකානු ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ලබාදීම තමයි 30 අවුරුදු යුද්ධයේ ආරම්භය. LTTE ,EPDP EPRLF,TELO මේ සංවිධාන ඉතාම පුංචි, ආයුධ නැති එහෙම කල්ලි ටිකක් තමයි හිටියේ. ඒවා දැඩි ලෙස ශක්තිමත් කරලා, මුදල් දීලා,ආයුධ දීලා පුහුණුව දීලා ලංකාවට 30 අවුරුදු යුද්ධයක් ලැබුණේ ජේ.ආර්.ජනාධිපතිතුමාගේ ඒ මෝඩ වැඩේ හින්දා. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ වත්මන් රජය මෝදි ජනාධිපතිතුමාගේ විශ්වාසය ආදරය තියාගෙන ඒ අත්සන් කරපු ගිවිසුම් වුණත් හැම එකක්ම අපට වාසිදායකයි කියල තමයි මම කියන්නේ. 1815 ගිවිසුම වගේ කියල සමහර අය කියනවා ඇහුනා. ඒ අය ගැන අපට හිනා වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. ඉන්දියව කියන්නේ මේ කලාපීය බලවතා. අපේ අසල්වැසියා.ඔවුන් සමඟ ආරක්ෂණ එකඟත්වයකට යාම ලංකාවට ඉතාම වාසිදායකයි.”
ඒ අනුව මේ මොහොතේ ආණ්ඩුවට එල්ල වී තිබෙන විපක්ෂයේ විරෝධයන් හාස්‍යයෙන් යුතුව බැහැර කිරීමට එස්. බී. දිසානායක මහතා කටයුතු කර තිබුණි.
මේ අතර ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරය සහ එහිදී ඇතිකර තිබෙන එකඟතාවන් සම්බන්ධයෙන් ආවේගයෙන් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා අවධාරණය කරන ලද්දේ ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය විසින් මේ මොහොතේ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් ඉතා භයානක විය හැකි බවයි. විශේෂයෙන රක්ස්හක් ගිවිසුමකට එළඹීම යෝග්‍ය නොවන ක්‍රියාවක් බවත් එය ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දන්නා තරම පෙන්නුම් කිරීමක් බවද පවසන ලදී.
” නිදහස් ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ අයුරින් ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹෙන්න වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පසුගියදා කටයුතු කළා. බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ජේ.අර. ජයවර්ධන ජනාධිපතිතුමා,රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන අයට ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ හොඳ ඉවක් තිබුණා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සිරිමාවෝ මැතිණියට,ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජාතික ආරක්ෂාව ගැන හොඳ දැනුමක් තිබ්බා. නමුත් මේ කිසිම රාජ්‍ය නායකයෙක් ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹෙන්න කටයුතු කළේ නැහැ. වසර 78ක් පුරාවට එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ එක් කඳවුරකට එකතු වුණොත් ඒ හරහා ශ්‍රී ලංකාව විනාශයට පත්වෙන බව තේරුම් ගන්න මේ නායකයින් බුද්ධිමත් වුණා. පරිණත වුණා. විචක්ෂණ වුණා. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම නායකයෙක් නොකළ අයුරින් ආරක්ෂක ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම හරහා වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමා තමන්ට ජාතික ආරක්ෂාව පිළිබඳත්,ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳත් මෙලෝ හසරක අත්දැකීමක් අවබෝධයක් නැහැ කියන එක සමස්ත ලෝකෙටම ප්‍රදර්ශනය කළා. වසර 2050 වන විට ලෝකයේ ප්‍රධාන බලවතුන් බවට පත්වන්නේ චීනය සහ ඉන්දියාව. මේ චීනයේ දැවැන්ත බලයට මුහුණ දෙන්න වර්තමාන බලවතුන් වන බටහිර බලවතුන් අද ඉන්දියාව වටා රොක්වෙමින් ඉන්නවා. එදා සෝවියට් දේශය සහ ඇමරිකාව බලකඳවුරු දෙකක් ලෙස සටන් කරද්දී ශ්‍රී ලංකාව නොබෙදි පිළිවෙතක සිටීම නිසා තමයි ශ්‍රී ලංකාවට පවතින්න පුළුවන් වුණේ. ඒ අයුරින්ම අද චීනය සහ ඉන්දියාව ලෝක බලවතුන් බවට පත්වෙද්දී ඒ බලවතුන් තමන්ගේ අසල්වැසියන් වුණු නිසා වෙනදාටත් වඩා නොබෙදි ස්වාධීන ප්‍රතිපත්තියක පැවතීම ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවයට ඉතාම වැදගත් වෙනවා. ඉතිහාසයේ ලංකාවට ආපු ආක්‍රමණ 21න් 17ක් එන්නේ ඉන්දියාවෙන්. අපි ආරක්ෂා විය යුත්තේ ඉන්දියාවෙන් නම් එවැනි රටක් සමඟ ආරක්ෂක ගිවිසුමකට එළඹීම අතිශය භයානක පියවරක් විදිහටයි අපි දකින්නේ.”
ඒ අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව මේ මොහොතේ සමීපව කටයුතු කිරීම තුළ මෙරටට අහිතකර ආකාරයේ බලපෑමක් සිදුව තිබෙන බවට වූ මතයක් ගොඩනැගීමට ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා උත්සහ කළේද යන ප්‍රශ්නය මතුවෙයි.
කෙසේවෙතත අද පස්වරුවේ ගාල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා, ඉන්දීය අගමැතිවරයා සමඟ රජයක් ලෙස ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකරන ලදී.
”පහුගියදා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීමත් එක්ක අපි විශාල වශයෙන් ආර්ථික ජයග්‍රහණ අත්පත්කරගැනීම සඳහා යම් ප්‍රයත්නයක් දරුවා. 2023 වසරේ අපි ණයක් අරන් තිබුණා ඉන්දියානු රිසව් බැංකුවෙන්. අපි සාකච්ජා කරපු වෙලාවේ එතුමා එකඟතාව පළකළා එහි පොළී අනුපාතිකය අඩු කරන්නත් ගෙවන කාලය දීර්ඝ කිරීම සඳහා එකඟතාවකට එන්න සමත් වුණා. ඒ වගේම අපට කෝටි 1000කට අසන්න ප්‍රදානයක් මේ වසරේ ලබාදෙන්න එකඟතාව පළකළා. ඒ වගේම සාම්පුර්වල විදුලි බල මණ්ඩලය 50%යි ඉන්දියානු සමාගමේ 50%ක් සහිත මෙගාවොට් 120ක විදුලි බලාගාරයක් ආරම්භ කරන්න තීරණයක් ගනු ලැබුවා. ඒ වගේම මහව ඕමන්ත දක්වා දුම්රිය පාරේ සංඥා පද්ධතිය ඉදිකළේ ඉන්දියානු සමාගමක්.එම සංඥා පද්ධතිය වෙනුවෙන් අපි ගෙවිය යුතුව තිබුණ ඩොලර් මිලියන 14.9ක්. ඉන්දියානු රජය එකඟතාව පළකළා එම ඩොලර් මිලියන 14.9 ම ආධාරයක් බවට පරිවර්තනය කරන්න. අපි උත්සහ කරන්නේ කුමක්ද? සමහර ක්ෂේත්‍රවල අපි දන්නවා ඩිජිටල්කරණයේ ඉතාම ඉහළ පිම්මක් ඉන්දියාව ලබාගෙන තිබෙනවා. අපි නැවත පරියේෂණ කරලා ඒ ක්ෂේත්‍රය වර්ධනය කරනවාද?එහෙම නැත්නම් ඒ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන කණ්ඩායමේ සහය අපි ගන්නවාද? මොකක්ද හොඳ? ඒ නිසා අපි ඩිජිටල්කරණය ගැන එකඟතාවකට ආවා. ඒවගේම නැගෙනහිර පළාතේ පශු සම්පත් ක්ෂේත්‍රය,ඉඩම් ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර ගණනාවකට ආධර සැපයීම සඳහා එකඟතාවකට ආවා. ඒ වගේම අපේ රෝහල් පද්ධතිය විටින් විට බෙහෙත් හිඟයක් ඇතිවෙන ක්ෂේත්‍ර තිබෙනවා. සමහර බෙහෙත් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා. එසේ නිෂ්පාදනය නොකරන බෙහෙත් ඉන්දියානු රජය සමඟ ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ගිවිසුමක හරහා ලබාගත හැකිද කියල අපි තීරණයක් අරන් තිබෙනවා. මේ එකක්වත් මතක තබාගන්න පෞද්ගලිකව මම වෙනුවෙන් හරි පෞද්ගලිකව අපේ ආණ්ඩුවේ නියෝජනයක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ සියල්ල කරමින් තිබෙන්නේ මේ රට මීට වඩා සුභදායී රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් සකස් කරමින් තිබෙනවා. විශාල ආන්දෝලනයට ලක්කරමින් තිබෙන ආරක්ෂක ගිවිසුම. මොනවත් නැහැ. දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් තිබෙනවා දැනටමත් ඒකාබද්ධ පුහුණු තියෙනවා. අපේ නිලධාරින් ගිහින් එහෙ පුහුණු වෙනවා. දැනටමත් එකට කරන පර්යේෂණ තිබෙනව. ඒවා විධිමත් කරගැනීම සඳහා අපි එකඟතාවකට පැමිණ තිබෙනවා. අපට මේ කලාපයේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. ආරක්ෂාව වැනිතාක්ෂණයක හැකියාව තිබෙන ආරක්ෂාව ගැන නිපුණතාවක් තියෙන අයගෙන් සහය අප ලබා ගත යුතුයි. එහෙම නැතුව කොහොමද රටක් ඉස්සරහට යන්නේ. අපට එහෙම යන්න පුළුවන්කම තිබුණා වසර 76ක් මේ රටේ තාක්ෂණයෙන් විද්‍යාවෙන් දියුණුවේ හිනිපෙත්තට ගෙන්න මේ පාලකයන් සමත් වුණා නම්.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
