සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ මාරාන්තික සරම්ප රැල්ලක් පැතිර යාමත් සමඟ මාසයක් තුළ දරුවන්ද ඇතුළුව 100කට අධික පිරිසක් මියගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව, මාර්තු 15 වන දින සිට සැක සහිත සරම්ප රෝගීන් 7,500 කට වැඩි සංඛ්‍යාවක් අතරින් 900ක් කට වඩා තහවුරු වී ඇති අතර එය සීඝ්‍ර වර්ධනයකි. මෙත් සමඟ බංග්ලාදේශය හදිසි එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.
මිලියන 170 ක ජනතාවක් සිටින බංග්ලාදේශයේ, මාස නවයක් තරම් කුඩා දරුවන්ට සාමාන්‍ය සරම්ප එන්නත් ලබා දෙනු ඇති අතර එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂහ්රියර් සජාඩ් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණේ, මෑත කාලීන වසංගතයෙන් ආසාදනය වූවන්ගෙන් තුනෙන් එකක් පමණ මාස නවයට අඩු අය බවයි.
සාමාන්‍ය එන්නත් වලට අමතරව, බංග්ලාදේශය සෑම වසර හතරකට වරක් විශේෂ සරම්ප එන්නත් කිරීමේ ව්‍යාපාර පවත්වන නමුත් මෙම ව්‍යාපාර සැලැස්මට අනුව සිදු වී නොමැත.
2020 සිට රටතුල විශේෂ සරම්ප එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇණහිට ඇති අතර පළමුව කොවිඩ් නිසා පසුව දේශපාලන තත්වය නිසා එම වැඩසටහන් අසාර්ථක වී ඇත.
ඉන් අනතුරුව 2024 දී බංග්ලාදේශය දේශපාලන කැලඹීමකට මුහුණ දුන් අතර, එහි දිගුකාලීන පාලක නායිකා ෂෙයික් හසීනා බලයෙන් පහ කරන ලදී. හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු අන්තර්කාලීන රජයක් බලයට පත් වූ අතර, මේ වසරේ පෙබරවාරි මාසයේදී රට නව රජයක් තෝරා පත් කර ගන්නා ලදී.
මේ වසරේ අප්‍රේල් මාසයේදී සරම්ප එන්නත් කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව තිබුණි, නමුත් එය සිදු නොවීය. නව එන්නත්කරන ව්‍යාපාරය හරහා බංග්ලාදේශයේ උප දිස්ත්‍රික්ක 30 ක් පුරා, මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් මිලියන 1.2 කට වඩා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

