වෙනස් කරන කතා වෙනස් නොවී හිස් වීම


නිශ්මං රණසිංහ ,අප්‍රේල් 07, කොළඹ LNW:

ක්‍රිකට් වෙනස් කරන්න සුදුසුම කෙනා සහ දන්නම කෙනා හැටියට අර්ජුන රණතුංගගෙ නමනෙ කියන්නෙ.කවුරුත් නොකීවත් එයාම ඒක කිව්වම ඒ පස්සෙ ගිහිං තමන්ටත් ක්‍රිකට් පරිපාලනයට එන්න පුළුවන් කියලා හිතන අයත් බර දාලා ඒක ඇඳගෙන යනවනෙ.ඒක ටික කාලයකදි උන්නාන්සෙ හොඳයි කියනවට වඩා ඉන්න අය වැරදියි කියන්න බර දාන වැඩක් වුණා.කෙනෙක්ව ඕනි කියන එක ඒත්තු ගන්නවන්නනම් ඒකට අවශ්‍යය වැඩ චර්යාවක් තියෙන්නත් අවශ්‍යය කරනවනෙ.ඒක ගැන තිබුණ ගැටළු නිසා ඉන්න අය එපා කරවීම උත්සාහය වුණා.

ක්‍රීඩකයෙක් වැරද්දක් කරත්,තරගයක් පැරදුණත් මේ හැම තැනකදිම හේතුව පරිපාලනය වෙන වැඩේ පටන් ගත්තෙ ඒ විදිහට.96 ඉදලා 99 ලෝක කුසලානය දක්වා කාලය ඇතුළත 96 ලෝක කුසලානය දිනපු නායකයගෙ ඉදලා සියයට 90 ක් විතර කණ්ඩායමේ ඉද්දි 99 දි මොකද වුණේ?

එතකොටත් අර්ජුන නායකයා විතරක් නෙමෙයි එයාගෙ අයියා ක්‍රිකට් එකේ ප්‍රදාන විධායක.මල්ලි උප සභාපති කෙනෙක්.ඊට පස්සෙත් අර ගිණුම් සහිත පරිගණක පද්ධතියෙ දත්ත පවා නැති වුණ ලෝක කුසලානය කාලෙත් අර්ජුනගෙ මල්ලි කෙනෙක් ලේකම් හැටියටත් හිටියා.කතාවෙ මුලට ආපහු ගියාම 96 දිනපු ලංකාව 99 දී මූලික වටයෙන්ම වීසි වෙද්දි අර්ජුන හිටියෙ කණ්ඩායම තුළ විශාල ආධිපත්‍යයක් තියාගෙන.කණ්ඩායම තේරීම ගැන ඉදලා ගන්න තීරණ ගැන බරපතල විවේචන මැද.

ඒ වෙන කොට 96 කණ්ඩායමේ කී දෙනෙක් එම කණ්ඩායමේ ක්‍රීඩා කළාද කියන කාරණයට පිළිතුර ඔබේ දැණුමෙන් බලා ගන්න එම කණ්ඩායම මෙහි දක්වා තිබෙනවා.
• අර්ජුන රණතුංග (නායක)
• අරවින්ද ද සිල්වා (උප නායක)
• සනත් ජයසූරිය
• මාවන් අතපත්තු
• මහේල ජයවර්ධන
• රොෂාන් මහනාම
• හෂාන් තිලකරත්න
• රොමේෂ් කළුවිතාරණ (කඩුලු රකින්නා)
• චමින්ද වාස්
• මුත්තයියා මුරලිදරන්
• ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
• උපුල් චන්දන
• එරික් උපශාන්ත
• රුවන් කල්පගේ
• චන්දික හතුරුසිංහ
මේ කණ්ඩායමට පුහුණුකරු ලෙස සිටි ඩේව් වට්මෝර් වෙනුවට රෝයි ඩයස් පැමිණ තිබුණා.සභාපති ධූරය ආනා පුංචිහේවාගෙන් උපාලි ධර්මදාසට පැමිණ ඒ වන විට තිලංග සුමතිපාලට ලැබී තිබුණා.ඒක වෙන්නෙ පිළිවෙලටයි.ශ්‍රී ලංකාව 96 මාර්තු 17 ලෝක කුසලානය දිනා ගන්නා අතර මාර්තු 31 ආනා පුංචිහේවා පරාජය කරමින් උපාලි ධර්මදාස ක්‍රිකට් සභාපති වෙනවා. ඉතා තියුණු තරගයකින් පසුව උපාලි ධර්මදාස මහතා ඡන්ද 63ක් ලබා ගත් අතර, ආනා පුංචිහේවා මහතා ලබා ගත්තේ ඡන්ද 58ක් පමණි.

ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකි ආකාරයට ක්‍රිකට් කළමණාකරනය කළ ආනා පුංචිහේවාට තව අවස්ථාවක් දි පසුපසට විමට උපාලි කැමකි වුණේ නැහැ.ලෝක කුසලානයෙන් පසුව පැමිණි වානිජමය ආකර්ශනයේ පරිපාලකයා වීමට ආනාව පරාජය කර එළවා දමා,ක්‍රිකට් ඡන්දයේදී ලෝක කුසලාන දිනපු සභාපති දින 14 න් ඉවත් කරන අන්දමට වැඩ කටයුතු සිද්ධ වූ පළමු අවස්ථාව දින වකවානු සමඟ මේ මොහොතේ ලියන හුඟ දෙනෙක් දන්නේ නැහැ විය යුතුයි.

දැන් 96 හිටපු අයගෙන් 99 කණ්ඩායමේ බොහෝ දෙනෙක් ක්‍රීඩා කළත්,නායකයා හැටියට කතාබහට ලක් වූ අර්ජුන හැරෙන්නට පුහුණුකරු සහ සභාපති දෙදෙනාම ක්‍රිකට්වලින් මකා දමා එ් සම්බන්ධයෙන් සර්ව බලධාරී හිමිකාරීත්වය නායක අර්ජුනට විතරක් පැවරී තිබුණා.එතකොට පරිපාලන ව්‍යහුය සැකසී තිබුණ ආකාරය මේ දේවල් එහෙම වීමට හේතු පැහැදිළි කරනවා.

උප සභාපති ප්‍රසන්න රණතුංග සහ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග යන දෙදෙනාමත් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සිටියා.කෙසේ නමුත් 99 වසරේදී සිඳු වූ පරාජය සමඟ මේ රණතුංගකරණය සහ ඊට අවනත පරිපාලනය යන කාරණා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් පැමිණියා.එහි සභාපතිවරයා වූයේ රියැන්සි විජේතිලකයි.ලේකම් ධූරයට මයිකල් තිසේරාට පැවරුණා.භාන්ඩාගාරිකවරයා වූයේ සිදත් වෙත්තමුණියි.සෙසු සාමාජිකයන් ලෙස අසන්ත ද මෙල් සහ එස්.ස්කන්ධකුමාර් ඇතුළත්ව සිටියා.අතුරු කමිටුව අර්ජුනට පරාජයේ කොටස්කරුවෙකු ලෙස එල්ල කළ චෝදනා සෘජුව පිළිගන්නා බව නොපෙන්වුව ද නව නායකයා ලෙස සනත් ජයසූරිය පත් කරන්නට තීරණය කළා.

අතුරු කමිටුව ඉවත්ව නැවත තිලංගලා පැමිණෙන විට සහ පැමිණි විට ඔහු පරිපාලනය සමඟ ප්‍රශ්න ඇති කර ගත් අතර පරිපාලනයේ විකාශන අයිතිය ලබා දීම වැනි කරුණු ගැන අමාත්‍යවරාට පැමිණිලි කරන තැනට පත්ව සිටියා.ඒ වගේම එම පරිපාලනය විසින් ඔහුට සිය පෞද්ගලික සබඳතා සහිත Mitsubishi Pajero වර්ගයේ ජීප් රථයක්, එහි සැබෑ තොරතුරු සහ වෙළඳපොළ වටිනාකම පිළිබඳ වැරදි දත්ත සපයමින් පාලක මණ්ඩලය වෙත විකුණා ඇති බවට ද චෝදනා එල්ල වී තිබුණා.මේ කාරණයද ඇතුළුව ඔහුට එරෙහිව පැවත් වූ පරීක්ෂණය සඳහා නම් කළ කමිටුව වූ අලි සබ්රි, කොලිත ධර්මවර්ධන සහ ප්‍රසන්න ඔබේසේකර පක්ෂග්‍රාහී පත් කිරීමක් බව කියමින් ධම්මික ඒ කමිටුව ඉදිරියේ පෙනි සිටීමත් ප්‍රතික්ෂේප කළා.මේ වාහන චෝදනාව භෞතික කාරණයක් වන අතර වත්මන් පරිපාලනයද ඒ ගැන පරීක්ෂණ සිඳු කරන බවක් පෙනෙන්නට නැහැ.

මේ ක්‍රිකට්වලට එකල එකට විවිධාකාරයෙන් සම්බන්ධව සිටි සහෝදරයන් තිදෙනාම දැන් සිටින්නේ අධි චෝදනාලාභීන් හැටියටය.අනුර කුමාර ජනාධිපතිවරයාද ඉස්සර චෝදනා ඇති ඕනෑම අයෙකුට තමන්ගේ පාලනයේ යටතේ හොරකම් කර බවට චෝදනා නැත්නම් අවුලක් නැහැ වගේ අදහසක් කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දී කියා ඇති බැවින් සමහර විට මේ සහෝදරයන්ටද දැන් තත්ත්වය යහපත් වන්නට ඉඩ ඇත.ගල් අඟුරු ටෙණ්ඩරය පාඩු බව බාල බව දැනගෙනත් එය අවලංගු කළ හැකි සීමාව ඉක්මවා යමින්,තව දුරටත් එම ටෙණ්ඩරයට අදාළ ගල් අඟූරුම ගෙන්වනාකාරයටම අර්ජුනට සහ ධම්මිකට පිළිවෙලින් ඇමති සහ සභාපති ලෙස එල්ල කරන චෝදනාවේද සමානකමක් නැද්ද?

‘2017-2018 කාලසීමාවේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා තිබූ දිගුකාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ “ස්ථානීය ටෙන්ඩර්” (Spot Tenders) 27ක් ලබා දීම හරහා රජයට රුපියල් මිලියන 800ක (කෝටි 80ක) පමණ පාඩුවක් සිදු කිරීම.‘

මේ චෝදනාව තිබියදීම අර්ජුනට කියන්නට පුළුවන් දෙයක් ඇත.ඉන්ධනවලදි එහෙම අත්වැරදීම් වෙන්න පුළුවන්.ඒත් මම ක්‍රිකට්වලට එහෙම කරයි කියලා හිතනවද?මාව විශ්වාස කරන්න.ඒ වගෙම මගෙම ලේ තියෙන සහෝදරයා එහෙම වංචාවක් විදිහට ක්‍රිකට් සම්බන්ධ ආයතයකට වාහනයක් වැරදි විදිහට දෙයි කියලා හිතනවද? විශ්වාස කරන්න. මේ අලුත්ම විලාසිතාවේ වචන භාවිතයට ගනිමින් අර්ජුනට කතා කර නිදොස් වන්නට සමාජයේ ඉඩක් ඇත.

ගල් අඟුරු ටෙන්ඩරය කැඳවීමේදි පිරිවිතර වෙනස් කර එය ලබා ගත් ආයතනයට ගැලපෙන සේ සකස් වී ඇත.ගෙනෙන ගල් අඟුරු ද බාලය.පාඩුව ඉහළය.ඒ නිසා ඩීසල් යොදන්නට වේ.ඒවා වසා ගන්නට ඉන්ධන මිලද විදුලි බිලද වැඩි කරන්නට සිඳු වී ඇත.මේ සියල්ලම වෙන ආණ්ඩුවක් අතින් වී නම් සුද්දයය.වත්මන් ආණ්ඩුව අතින් වෙද්දී යුද්ධයය.අපිව සුද්ද කරන්නෙ නැහැ කියා විශ්වාස කරන්න කියා කියන සිද්ධාන්තය අර්ජුනටත් පාවිච්චි කරන්න හැකියාව ඇත.

එහෙත් අර්ජුන වෙනස් කරන්නට හදන ක්‍රිකට්වලට අයත්වන දේශිය පුහුණුකරුවා යන කාරණය සනත් ජයසූරියගේ දායකත්වයත් සමඟ අවලංගු වී ඇත.අර්ජුන ද පුන පුනා කීවේ ඔහු පුහුණු කරන්නට සුදුසු බවය.පසුගිය කාලයේම ඔහු එම තනතුරේ සිටි අතර කිසිවෙකුත් සනත් ද අර්ජුනගේ කැමත්ත මත ඉදිරියෙන් සිටින බව නොපිළි ගත්තේය.
ඒ එකකි.අර්ජුන ඉන්දියන් ප්‍රිමියර් ලීග් යන ලෝකයම ආකර්ශනය කර ගත් තරගකාරී ක්‍රීඩා සැණකෙළියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි නොවිය යුතු බව කීවේය.මේ සම්බන්ධයෙන් එතරම් අන්තගාමි හෝ නවීන නොවූ අදහසකට නොයන වත්මන් පරිපාලනය ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය බලාපොරොත්තු මට්ටමට නැත්නම් එම තරගාවලියට යාමට ඉඩ නොදෙන බවට තීරණයකට එළැඹිණි.දැන් එයට විරුද්ධව නුවන් තුෂාර අධිකරණයට ගොස් ඇත.

මේ දක්වා ක්‍රීඩාවට බනිමින් අයිපීඑල් වෙත සහ ඉන්දියාවට බනිමින් සිටි පිරිස් නුවන්ට අයිපීඑල් යාමට නොදී ක්‍රිකට් ආයතනය වැරද්දක් කරන බව කියන්නට පටන්ගෙන ඇත. . තමන් විරුද්ධව අදහස් දක්වා තිබුණු කරුණක් වුවත් වත්මන් පරිපාලනය විරුද්ධනම් අනුමත කරන තත්ත්වයට පහළට රෑටා ඒමෙන් පෙන්වන්නේ විරෝධයේ ඇති වංක බවය.ශම්මිලා එළවා කරන්න හදන විප්ලවය තුළ දී මේ වන විට ගමට ගෙන ගොස් තිබෙන ක්‍රිකට් පහසුකම් ලබා දීම ඊට වඩා වෙනස් වූ පියවරකින් කරන්නේද?එසේනම් ඒ කුමනාකාරයෙන්ද?

මේ වන විට අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට රටේ පළාත් අටකම ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටිති.මේ තත්ත්වය වැරදිද?දනට පවත්වා ගෙන යන දිස්ත්‍රික් සංචිත,පළාත් සංචිත සහ සුපිරි පළාත් සංචිත සම්බන්ධයෙන් දක්වන අදහස කුමක්ද?ඒවා රටේ ක්‍රිකට් ව්‍යාප්තියට සහ සංවර්ධනයට පලදායී නොවන්නේනම් සිඳු කළ යුත්තේ කුමක්ද?

සරලව මේ පාළකයින් සිටිනකම් ක්‍රිකට් හදන්න බැහැ යන අර්ජුන වැන්නන්ගේ කියමන් හදන්න බැරි ඇයි සහ හදන්න පුළුවන් දැන් තියෙන ක්‍රමය වෙනස් විය යුතු වන්නේ කෙසේද කියන කාරණය පැහැදිළි කරන්නේ නැත.එසේත් නැත්නම් මොනවද වැරදි සහ ඒවා නිවැරදි කරන්නේ කෙසේද කියා පැහැදිළි කරන්නේ ද නැත.ලංකාවේ පුරවැසියන් හැමදාම වැරදියි කී විට විශ්වාස කරනවා විනා වරද කුමක්ද සහ එය නිවැරදි කරන ක්‍රමය කුමක්ද යන්න විමසා බලන්නේ නැත.එසේ නොවන තත්ත්වයකින් ගනු ලබන තීරණයට ලැබෙන බලය පොළවේ ක්‍රියාත්මක වෙද්දී තිබෙන්නේ තිබුණ ක්‍රමයමය.මේ අත්දැකීම ක්‍රිකට්වලට ද එකතු කර දැන් පවතින ක්‍රමය වෙනුවට රටේ ක්‍රීඩාව විමධ්‍යගත කර සංවර්ධනය කරන්නේ කෙසේද යන්න කිව යුතුය.එසේ නොවන්නේනම් රටේම ක්‍රිඩාව තිබිය යුතු නැත.සීමිත පෙදෙසකට සීමා කර එයට පමණක් පහසුකම් ලබා දී ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්නේ ද සහ එය ජාතික වශයෙන් පලදායී ද යන්න දහ එසේ වන්නේ කෙසේද යන්න පැවසිය යුතුව ඇත.

ශම්මිලා ප්‍රාතිහාර්යන් පා නැත.අපි එසේ නොකියන්නෙමු.එහෙත් දැන් ක්‍රිකට හී ව්‍යාප්තිය සුවිශාල ලෙස පුළුල්ව ඇත.ක්‍රිකට් ගහන දක්ෂයෙකුට තමන් සිටින තැන සිට උපරිමයට ක හැකිනම් පෙරට ඒමට හැකි බවට විශ්වාසයක් තබාගෙන උද්යෝගයෙන් උනන්දුවෙන් ක්‍රීඩා කරන්න ඉඩක් සැදී ඇත.දැන් ක්‍රිකට් එක්ක නඩු කියන නුවන් තුෂාර මෙන්ම ඒෂාන් මාලිංග,ඩිල්ෂාන් මධුශංක,ප්‍රමෝද් මධුශාන් වැන්නන් ඊට උදාහරණ ලෙස ගත හැකිය.කාන්තා කණ්ඩායමේනම් සිඳුවන්නේ ගමේ තිබුණ කාන්තා ක්‍රිකට්වල හයිය නගරය දෙසට ද හැරෙමින් තිබෙන බවක් දකින්නට ලැබීමය.කොළඹින් අනුලාවට සීමා වී තිබූ ජාතික කාන්තා නියෝජනයට (19 න් පහළ) මෙවර ප්‍රභු තලයේ පාසලක් වන කාන්තා විද්‍යාලයේද ක්‍රීඩිකාවක් එක්ව සිටින්නීය.

මේ මොහොතේ ප්‍රශ්න නොකළ යුතු බව අපි නොකියමු.ප්‍රශ්න කළ යුතුය.ඒවා තිබෙන දේ ප්‍රශ්නකාරී බව පැහැදිළි කිරීමකින් සහ වෙනස් විය යුතු වන්නේ කෙසේද යන්න පැහැදිළි කිරිමකින් ද යුතුය.එසේ නොවන්නේනම් ලාංකේය පුරවැසියා සාමාන්‍ය ජීවිතයේ දී මෙන්ම කෙනෙකු වැරදියි කිවාම අතාර්තිකව එය විශ්වාස කරන ආකාරයටම ක්‍රිකට්වලදී ද කටයුතු කරනු ඇත.හොරා කියා කීමට අපි විරුද්ධ නොවන්නෙමු.එහෙත් ධම්මික රණතුංගට චෝදනා එල්ල වූ ආකාරයට Mitsubishi Pajero වාහනයක් වංචනික ලෙස විකුණා ඇත ලෙස හෝ නිශ්චිත කාරණයක් තිබිය යුතුය.

ඒ ආකාරයෙන් බලන විට 96 සිට 99 දක්වා කාලය තුළ තිබුණ ගැටළුව,ඒවා සම්බන්ධයෙන් තිබුණ විවේචන සහ 99 න් පරාජයෙන් පසුව ඒවා නිවැරදි බවට වන සාධක සහතික වෙන ආකාරයෙන් සිඳු වූ වෙනස්කම් මිට වඩා සම්පූර්ණය.අඩුම තරමේ ඒ ආකාරයට හෝ සියල්ලට පිළිගත හැකි තර්කයක් සහ සාක්ෂියක් රහිතව නිකං වීසි කරන වචනවලින් මිනිස්සුන්ට දමා ගැසීම සිඳු නොවිය යුතුය.එවිට සද්ද නඟා ඇති වන ඝෝෂාවට අවධානය යොමු වුණත් ටික වෙලාවකදී ඒ හඬ හිස් බවේ දෝංකාරය බව දැනෙනු ඇත.හිසි බවට ඇත්තේ ද විශාල සද්දයකි.දුරට එය මහා සද්දයක් වුව ගත යුත්තක් නැති බැවින් සද්දය නැඟෙන්නේ කුමක් නිසාද යන්නත් විමසා බැලීම වටින්නේය.