Home සංවර්ධන පුවත් ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන නවතම තත්ත්වය මෙන්න!

ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන නවතම තත්ත්වය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024 වර්ෂයට අදාළ අවසන් වාර්තාව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබුණි.

ඒ අනුව සංගණන ආඥා පනතේ බලතල ප්‍රකාරව පවත්වන ලද 2024 ජන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම තුළින් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු එක්රැස් කර, වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් ලෙස එය සකස් කර ඇත.

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනයයි.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් (යාවකාලික) ජනගහනය 21,763,170කි. මෙය 2012 වසරේ පැවති ජන සංගණනයට සාපේක්ෂව පුද්ගලයින් 1,403,731 ක වැඩිවීමක් වන අතර, 2012-2024 කාලය තුළ වාර්ෂික ජනගහන වර්ධන වේගය සියයට 0.5 ක් ලෙස වාර්තා වී තිබේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි නාගරික ප්‍රදේශවල පවතින සංකීර්ණත්වය හේතුවෙන් එම ප්‍රදේශවල දත්ත රැස්කිරීම 2025 පෙබරවාරි දක්වා සිදු කර ඇති අතර ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී මුළු ජනගහනයෙන් සියයට 28.1 ක් පදිංචිව සිටින බස්නාහිර පළාත වැඩිම ජනගහනයක් සහිත පළාත බවට පත්ව තිබේ. මේ අතර 5.3% ක් වූ අඩුම ජනගහනය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.

දිස්ත්‍රික් මට්ටමින් සලකා බලන විට ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සහිත දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. එහි ජනගහනය 2,433,685ක් ලෙස වාර්තා වී තිබේ.

දෙවන ස්ථානයේ පසුවන කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461 කි. මීට අමතරව කුරුණෑගල, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ද මිලියනය ඉක්මවූ ජනගහනයක් වාර්තා වී ඇත.

රටේ වැඩිම ජනගහන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස කොළඹ වාර්තා වන අතර එහි වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549 ක් ජීවත් වේ. අවම ජනගහන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50 කි.

ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙවර විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදු කෙරිණි. එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබා ගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇත.