සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 09, කොළඹ (LNW): ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම, රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව සඳහන් වේ.
මැතිවරණවලට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව පැවසේ.
අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ, මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද විමසීමකදී විශාල වියදමක් දැරීමට සිදුවන බවයි.
මේ අනුව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ විසිපහක් ආපසු ගෙවන ඇප මුදලක් හා ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කළ යුතුය.
මෙහිදී ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු මෙතෙක් තැන්පත් කළ රුපියල් 75,000ක ඇප මුදල වෙනුවට ආපසු ගෙවන රුපියල් ලක්ෂ 30ක් සහ ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක් තැන්පත් කළ යුතු බව පැවසේ.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකු සඳහා ඇප මුදල් තැන්පත් කිරීමක් සිදුනොවන අතර, කාලීන අවශ්‍යතාව අනුව එම අපේක්ෂකයකු ආපසු ගෙවන රුපියල් දහදාහක ඇප මුදලක් හා ආපසු නොගෙවන රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතුය.
ස්වාධීන අපේක්ෂකයකු දැනට තැන්පත් කරන රුපියල් 2000ක ඇප මුදල වෙනුවට එක් අපේක්ෂකයකු වෙනුවෙන් ආපසු ගෙවන රුපියල් 15,000ක ඇප මුදලක් හා ආපසු නොගෙවන රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතුය.
පළාත් සභා ඡන්ද විමසීමේදීද පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකු සඳහා ඇප මුදල් තැන්පත් කිරීමක් සිදුනොවීය. නමුත්, නව යෝජනා අනුව එම අපේක්ෂකයකු ආපසු ගෙවන රුපියල් 5000ක මුදලක් හා ආපසු නොගෙවන රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතුය. ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රුපියල් 2000ක මුදල සංශෝධනය කර තිබේ. ඔවුන් රුපියල් 10,000ක ආපසු ගෙවන ඇප මුදලක් හා ආපසු නොගෙවන රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතු බව පැවසේ.
