විල් ස්මිත් පව්! – වසර 10කට ඔස්කාර් තහනම්

Date:

පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත්, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් හට කම්මුල් පහරක් පිරිනැමීමේ ආදිනව බොහෝ දුර දිග ගියේය.සිය ක්‍රියාවේ බැරෑරුම් කම තේරුම් ගැනීමෙන් පසුව විල් ස්මිත් ඔස්කාර් ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. නමුත් ප්‍රශ්නය දුර දිග ඇදී ගියේය. අනතුරුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පැවැත්විණි. විනය පරීක්ෂණයට පෙර ඔහු කියා සිටියේ තමන් එහි ඔ්නෑම ප්‍රතිඵලයක් භාරගැනීමට සූදානම් බවයි. ඒ වන විටත් විල් ස්මිත් කම්මුල් පහර වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි. තමන්ගේ ක්‍රියාවන් ”කම්පනය ඇති කරවනසුලු’ සහ ”සමාව දිය නොහැකි ඒවා” බව ද කියා තිබිණි. නමුත් ශිෂ්ට සම්පන්න රටකට එය නොසෑහේ. ලංකාව වැනි ගෝත්‍රික රටකට නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක් පමණක් ප්‍රමාණවත් විය හැක්කේ, ඒ අවමයවත් වැරදි කරන බොහෝ අය නොකරන නිසා ය. නමුත් ඇමරිකාව, ලංකාව වගෙ නොවේ.

විල් ස්මිත් තමන්ට ‘නුසුදුසු විහිළුවක්’ කළ බව කියමින් කම්මුල් පහර එල්ල කළේ හාස්‍ය ශිල්පියෙකු ද වන ක්‍රිස් රොක් හට ය. ප්‍රසිද්ධ ඔස්කාර් සම්මාන වේදිකාවේදී ය. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කම්මුල් පහරේ සිද්ධියෙන් පසුව විල් ස්මිත්, හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගත් ආකාරයයි. Pic: AP Photo/Chris Pizzello

ඔස්කාර් හෙවත් Academy of Motion Picture Arts and Sciences හි සභාපති ලෙස කටයුතු කරන ඩේවිඩ් රබින් සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඩෝන් හඩ්සන් පසුව මෙසේ කීහ. ”94 වැනි ඔස්කාර් සම්මාන උළෙල අපේ ප්‍රජාවේ බොහෝ දෙනෙකුට උත්සවයක් වන්නට තිබුණා.. කොහොම නමුත් ස්මිත් මහතා වේදිකාව මත පළ කළ පිළිගත නොහැකි සහ හානිකර හැසිරීම් නිසා ඒ මොහොත අපට අහිමි වුණා..”

ඒ අනුව අප්‍රේල් 8 වැනිදා පටන් වසර 10කට විල් ස්මිත් ට කිසිදු ඔස්කාර් උළෙලකට සහභාගි වීම තහනම් ය. මෙයට ඔස්කාර් උළෙල පමණක් නොව ඒ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් ද අයත් ය. වර්චුවල් මාර්ගයෙන් පවා ඔහුට ඒවාට සහභාගි වීමට නොහැකි වේ. ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙල ද මෙයට අයත් වනු ඇති.

”උඹේ ඔය *** කටෙන් මගෙ ගෑණිගෙ නම කියන්න එපා!”

ප්‍රහසන ශිල්පියෙකු වන, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් විල් ස්මිත් කුපිත වන්නට තරම් කළ විහිළුව කුමක්ද? විල් ස්මිත්ගේ බිරිඳ වන හොලිවුඩ් නිළියක් ද වන ජෙඩා පින්කට් ස්මිත් (Jada Pinkett Smith) ගේ අධික විය පැහැදම් ගැන ය. ඒ ගැන ඇසූ ගමන් විල් ස්මිත් ට යක්ෂයා ආවේශ විය. අතුල් පහරෙන් පසුව සිය අසුන වෙත යන විල් ස්මිත් අනතුරුව දෙවරක් මෙසේ ද කෑ ගසයි.

”Keep my wife’s name out of your f****** mouth.”

”උඹේ ඔය *** කටෙන් මගෙ ගෑණිගෙ නම කියන්න එපා!”

භාර්යාවන් ගැන සැමියන් සමග විහිළු කිරීම පිරිමි කමට මදිකමක් වූයේ පසුගිය ශතවර්ෂයේ ය. කොතරම් දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙකු වුවත් විල් ස්මිත් මෙතැනදී පසුගිය ශතවර්ෂයේ ජීවත් වන ටිපිකල් පිරිමියෙක් බවට පත් වෙයි. ”ගෑනි මගෙ ය. මම පිරිමියා ය. මගෙ ගෑනි ගැන අහන්න නුඹ කවුද..?!!” ස්ත්‍රිය තමන්ගේ දේපළක් ය යන දුර්මතය මේ ලෝක‌යේ නොතිබිණි නම් විල් ස්මිත් මීට වඩා දියුණු පිරිමියෙකු බවට පත් විය හැකිව තිබිණි.

අනෙක් අතට, විල් ස්මිත් ලංකාවේ දේශපාලකයෙක් වූවා නම් ඔහු වේදිකාව මත මිනී මරන තරම් සැහැසි ලෙස හැසිරෙනු ඇත. ” කවුද යකෝ මගෙ ගෑනිගෙ නමට ඇමරිකාවෙ තියෙන දේපොළ ගැන අහන්නෙ..? ගෑනිත් මගෙ දේපළත් මගෙ” යැයි කියමින් ඔහු සිංහනාද කරනු ඇත. ඒ අතින් ලංකාවේ දේශපාලනය කරන පිරිමි පාර්ශවයට මේ මොහොතේ තිබෙන ඉවසීමවත් විල් ස්මිත් ට නැත.

විල් ස්මිත් අපේ කාලයේ බිහිවූ අති දක්ෂ රංගන ශිල්පියෙකි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. හොලිවුඩයේ ‘කිං රිචඩ්’ ඔහු ය. නමුත් දැන්, ඔහු මදක් නතර වී, නැවත පටන් ගත යුතුව තිබේ. හොලිවුඩයේ රිචඩ් රජ්ජුරුවන්ගේ හැසිරීම තුළින් පිළිබිඹු වන්නේ ටිපිකල් පිරිමි හැසිරීමකි. කෝපය, ආවේගය පාලනය කර ගත යුතු අවස්ථා තිබේ. ඒවා එනයින්ම ප්‍රදර්ශනය කළ හැකි ස්ථාන මෙන්ම කළ නොහැකි ස්ථාන ද තිබේ. නමුත් කෝපය සහ ආවේගය ප්‍රදර්ශනය කිරීම ම මේ ලෝකයේ තවමත් පිරිමි කමේ ලක්ෂණයකි. එය ලෝක ඉතිහාසයේ වසර දහස් ගණනක් තිස්සේ සිදු කෙරෙමින් පවතින, පිරිමි කම වැරදියට කියවීමකි.

ඒ අනුව මෙය විල් ස්මිත්ගේ පමණක් වරදක් ද නොවේ. එනිසා විල් ස්මිත් පව්!

ඡායාරූපය – AP Photo/Chris Pizzello

OUTBOUND TODAY RADIKA GUNARATNE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික...

මාස හයේ සංචාරක ආදායම : ඇමති විජිතට අනුව ඩොලර් බිලියන 3.7 යි. නියෝජ්‍ය ඇමති රුවන්ට අනුව 1.7 යි

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ඉපයීම්...

Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

ඒ්ස් කැපිටල්, බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...