ඉන්දියාවේ යාචකයෙක් ලංකාවට රුපියල් 20,000 ක් පරිත්‍යාග කරයි!

0
432

ලංකාව වැටී ඇති ආර්ථික ආගාධය, ඉන්දියාවේ මහ පාරේ සිඟමන් යදින යාචකයෙකුට සිඟා කෑ සල්ලි පරිත්‍යාග කිරීමට තරම් දරුණු සහ ශෝචනීය එකකි.

තමිල්නාඩුවේ පූපාලාන්ඩියන්, තමන් සිඟා කෑ මුදල්වලින් ඉන්දීය රුපියල් 20,000 ක් ලංකාවේ දුක් විඳින ජනතාවගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට සූදානම් වන්නේ ඒ නිසා ය. වඩාත් නිවැරදිව කියනවා නම්, ඔහු සිටින්නේ ආලන්කිනාරු හි තූත්තුකුඩියේ ය.

ඉන්න-හිටින්නට තැනක් නැති, මහ මග සිඟා කන යාචකයෙකු වන නමුත් පූපාලාන්ඩියන් හදවතින් ඉතා පොහොසත් මිනිසෙකි. ඔහු මෙය කරන්නේ උපහාසයකින් හෙම නොවේ. ඒ බව හෙළිවන්නේ ඔහුගේ ඉතිහාසය පිරික්සා බැලීමේදී ය.

මීට පෙර පූපාලාන්ඩියන්, සිඟා කා ඉතිරි කර ගන්නා මුදලින් අවස්ථා ගණනාවකදීම මෙවැනි පරිත්‍යාග සිදුකර තිබේ. එක් අවස්ථාවකදී ඔහු ඉන්දීය රුපියල් 10,000 ක් පරිත්‍යාග කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මදුරෙයි දිස්ත්‍රික්කයේ පරිපාලනය වෙත ය. මේ දක්වා කොරෝනා වසංගතය වෙනුවෙන් ඔහු දහදුක් විඳ උපයා ගත් මුදලින් රු. 40,000 ක් පමණ පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව පූපාලාන්ඩියන් මේ ලෝකයේ බොහෝ ධනපතියන්ට වඩා ධනවත් ය. ඔහුට විසල් හදවතක් තිබේ. සහකම්පනය වන හෘදය වස්තුවක් තිබේ. අනුන්ගේ දුක දැක, තමන්ගේ අතිරික්ත ධනය දන් දෙන්නට ඔහුට සිතක් පහළ වන්නේ එනිසා ය.

වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන සමහරුන් අනුන්ට අපහාස කරන විට ”තෝ පල තූත්තුකුඩියට” යැයි අපේ අය කියති. විශේෂයෙන්ම සිය මව්බිමේ උරුමය අහිමි සුළු ජාතිකයන්ට මහජාතිය ඉතිහාසයේ පටන් සලකා තිබෙන්නේ එහෙම ය. නමුත් හදවතින් පොහොසත් මෙවැනි මිනිසුන් සිටින විට, දැන් ඒ කතා ඔට්ටු නැත. ඒ, තූත්තුකුඩියේ යාචකයන්ගේ පවා ආර්ථිකය මේ මොහොතේ අපට වඩා හොඳ තත්වයකින් පවතින නිසා ය!

RADIKA GUNARATNE OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here