උතුරු දුම්රිය සේවාව යළි ඇරඹේ..

රෂිකා හෙන්නායක අප්‍රේල් 09, කොළඹ LNW :

මෑතකදී ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයට සිදු වූ බරපතල හානි යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය සේවා නැවත ආරම්භ කර ඇත.

ඒ අනුව, යාපනය නගරාන්තර දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට දිනපතා සිය ගමන් වාර ක්‍රියාත්මක කරන අතර ප්‍රසිද්ධ යාල් දේවී දුම්රිය හෙට සිට ධාවනයට එක් වීමට නියමිතය.

ගල්කිස්සෙන් පෙරවරු 05.15 ටත්, කන්කසන්තුරයෙන් පස්වරු 01.50 ටත් මෙම දුම්රිය පිටත් වීමට නියමිතයි.මෙම දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 09 කින් සමන්විතයි.යාපනය රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ක්‍රියාත්මකයි.මොරටුවෙන් පස්වරු 06.55ට සහ කන්කසන්තුරයෙන් පස්වරු 08.00ට ගමන් ආරම්භ කෙරෙන අතර, යාල් දේවී දුම්රිය සේවාව හෙට සිට දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

එය කොළඹ කොටුවෙන් පෙරවරු 06.40 ට සහ කන්කසන්තුරයෙන් පෙරවරු 10.30 ට පිටත් වීමට නියමිතයි.ආසන වෙන්කිරීම මගී ජනතාවට තම ආසන වෙන් කරවා ගැනීම සඳහා පහසුකම් සලසා දී ඇත.ඕනෑම දුම්රිය ස්ථානයකට පැමිණ හෝ අඩවිය ඔස්සේ මාර්ගගතව ද ආසන වෙන් කරවා ගත හැකියි.

යාල් දේවී දුම්රිය සඳහා වායු සමනය කළ පළමු පංතියේ මැදිරි දෙකක්ද, රාත්‍රී තැපැල් දුම්රිය සඳහා පළමු පංතියේ මැදිරි 04 ක් සහ දෙවන පංතියේ වෙන්කළ ආසන සහිත මැදිරි දෙකක්ද වෙන් කර තිබේ.

මගීන්ට පහසුව සඳහා වායු සමනය කළ මැදිරි සහ විවිධ පන්තිවල ආසන වෙන් කර ගැනීමේ පහසුකම් දුම්රිය ස්ථානවලින් හෝ අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. මාර්ගයේ ස්ථාන රැසකට සිදු වූ හානි පිළිසකර කිරීමෙන් අනතුරුව මෙම ප්‍රවාහන සේවා යළි සක්‍රීය කිරීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.