සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 10, කොළඹ (LNW): “බට්ටි”….
දැන් රටම ඒ නම කිව්වම හිතන්නෙ ඒ කියන්නෙ චමුදි ප්‍රබෝධා ට කියලයි.ඒ රටම දන්න බට්ටි වෙන්න ඇයගෙ හැකියාවට පුළුවන් වුණ නිසයි.බට්ටි කුඹුක්කන පඤ්ඤානන්ද විද්‍යාලයේ ක්‍රීඩිකාවක් විදිහට මෙතැනට ගෙනවිත් තැබීමේ ගෞරවය මේ වන විට බොහෝ දෙනෙක් පිරිනමන්නෙ අප්සාරි තිලකරත්නටයි.ඒකෙ වරදක් නැහැ.ඒත් අප්සාරි මේ බට්ටිව දකින්නෙ කොහොමද?බට්ටි දකිනකොට දක්ෂ වෙලා හිටියෙ කොහොමද කියන කාරණය ගැන විමසා බලන්න සංවේදී වෙන්නෙ අඩුවෙන්.
අප්සාරි විද්‍යාලයට එන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හරහා විද්‍යාලයට දෙනු ලබන පැති විකට්ටුව විවෘත කිරීමටයි.ඒ අවශ්‍යයතාවය මොණරාගල හරහා කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එන කොට මේ පාසලේ තිබුණෙ පිරිමි ක්‍රිකට් ප්‍රධාන කර ගත් ක්‍රිකට් ක්‍රීඩාවක්.එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් වැඩේට සහභාගි වන්නෙ අප්සාරි කියලා කිව්වම පාසල පැත්තෙන් වීවෘතය සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන දුවලා තුන් දෙනෙක් අප්සාරි ඉදරියේ ක්‍රීඩා කරන්න සූදානම් කරනවා.ඒ එක්කෙවක් තමයි බට්ටි නම් අපේ කතා නායිකාව.ඉතිරි දෙන්නා සෙත්මි සහ දිනිති.

ඒ වන විට වේග පන්දු යවමින් සිටිය වඩා පොඩි චමුදි පැමිණි සියල්ලගේම හිත් පැහැර ගන්නවා.අප්සාරි වගේම මොණරාගල ක්‍රිකට් සභාපති බණ්ඩාරත් පාසලට කියන්නෙ “අපි ක්‍රිකට් පටන් ගමු” කියලයි.
මේ කතා එක්ක අපි බොහෝ දේවල් හොයාගෙන කුඹුක්කන් ඔය ගලා බසින පාළමට යාබඳව තියෙන කුඹුක්කන ගම එක්ක සංවාදයක් ඇති කළේ බට්ටි ඇත්තටම ලොක්කියෙක් කරන්න හිතන අයට බට්ටි ට ලොක්කියෙක් කරන්නත් එකට වැටිලා සෙල්ලම් කරපු අනිත් අය ගැනත් හිතන්නත් අවශ්‍ය මඟ සළකුණු දක්වන්නයි.චමුදිගෙ අම්මා අනෝමා නිශාන්ති බීබීසියට කියන විදිහට චමුදිගෙ පළමු පුහුණුකරු කේ.චන්ද්‍රකුමාර් දෙමව්පියන් කිහිප දෙනෙක්ගෙ මැදිහත්වීමෙන් එල්ල වූ විරෝධය නිසා පාසල දාලා ගිහිල්ලා.
ඒ ගැන අපි අපේ අනන්‍යතාවය හෙළි නොකර රටම කතා කරන ක්‍රීඩිකාවගේ කතාවක් විදිහට පැසල පැත්තෙන් කියන කතාව ඇදලා ගන්න බැලුවෙ ඒකෙම වැඩ කරන ගුරුවරයෙක්ට හේත්තු වෙලයි.
“ඒ කතාව මං හිතන්නෙ ස්කෝලෙන් ඒ අම්මට නිවැරදි කරලා කියා දීලා තියෙනවා.චමුදිලා ජාතික මට්ටමෙන් හාර්ඩ් බෝල් ටූනමන්ට් එකේ අවුරුදු දෙකක්ම බෙස්ට් එයිග්ට් ආවනෙ දැන්.ඒ නිසා ඔය කියන චන්ද්‍රකුමාර් ස්ර් ට තවත් ස්කෝල බලන්න ඉල්ලුම ආවා.එයා ශත පහක් නැතුව මේ දරුවන්ගෙ දක්ෂකම් පෝෂණය කළේ.ඒත් වැඩ වැඩි වුණාම නිතර පුහුණුවට එන්න බැරුව පැමිණීම මඟ හැරිලා ගියා.නැත්නම් ත්‍රීවීල් එක කරකවලා හොයන දේ අපේ ලමයින්ට වියදම් කරගෙන ඒ මහත්තයා වැඩ කළේ”
ඒ පාසල පැත්තෙ කතාවයි.කේ චන්ද්‍රකුමාර් කියන පුහුණුකරුවා ගැන කිසිඳු අහිතක් හිතෙන කතාවක් නොකියාම ඔවුන් පවසන්නේ ඔහුගේ කාර්ය බහුලත්වය නිසා කුඹුක්කන පාසලේ පුහුණුව මඟ හැරුණු බවයි.චමුදි ට දැනට මොණරාගල පුහුණුවට යාමට මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙ සභාපති බණ්ඩාර සහ ලේකම් කසුන් දෙපළ මැදිහත්ව ගමන් වියදම් ලබා දෙන බවත් පාසලෙන් ලැබෙන දත්ත පහදන්නේය.
“හැබැයි ඉතිං ඔය අම්මා කියන කතාවෙ ඇත්තක් තියෙනවා.දන්න තරමේ මේ දරුවගෙ ක්‍රිකට්වලට ඉඩමක් එහෙම විකුණලත් තියෙනවා.ඒ අම්මා ඉස්සර ගාමන්ට් එකක රස්සාවට ගියා.දැන් දුවගෙ පස්සෙන් යන්න ඕනි නිසා ඒකෙන් අයින් වෙලා.තාත්තට කුලී වැඩක් ලැබුණොත් තමයි ඉතිං රස්සාවකට කියලා තියෙන්නෙ”
අපට දැන ගන්නට අවශ්‍යය වූ තවත් කාරණයක් වූයේ අප්සාරි එන දවසේ සිටි තිදෙනාගෙන් අනිත් දෙදෙනාට සිඳු වී ඇත්තේ කුමක් ද යන්නය.අපට වෙහෙස වී ඒ තිදෙනාම සිටින ඡායාරූප මෙන්ම ඒ කතා ද අසා ගන්නට ලැබිණ.

චමුද,සෙනුති,දිනිති
“දෙන්නම සෙල්ලම් කරනවා.චමුදි විතරක් නෙමෙයි ඉතිං ටීම් එකම හොඳට කරන නිසානෙ හොදම කණ්ඩායම් අටට ඇවිත් තියෙන්නෙ.සෙනුති කියන ළමයා හෙල්ල වීසි කරලා සමස්ත ලංකාත් දිණුම්.ක්‍රිකට් භාරව මලල ක්‍රීඩාව පුහුණුකරන ඉරුදක නාරන්ගම්මන සර් තමයි ට්‍රේනිං කරන්නෙ.මේ කළාපයෙ මලල ක්‍රීඩාවට තියෙන එකම සමස්ත ලංකා පදක්කම ඒක”
සෙනුති දක්ෂ වුව ද චමුදි තරම් පවුලම කැප වී ඒ වෙනුවෙන් මහන්සි වීමේ හැකියාවක් පසුබිමක් ඇයට නැත.මව හෘද රෝගියෙකි.පියා අංශභාගය රෝගයෙන් පෙළෙයි.සෙනුති ද උපතින්ම ඉන්ද්‍රීයක ප්‍රශ්නයක් තබාගෙන සිටින්නියකි.
පාසලටත් ගමටත් සම්බන්ධ අයගේ තොරතුරු සනාත කරන්නේ චමුදි අවුරුදු 14 ක දියණියකට වඩා ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකීමෙන් හැසිරෙන බවය.
“කොයි වෙලාවෙ බැලුවත් ප්‍රැක්ටිස්”
උච්චාරණ එක එක විදිහට ආවාට හැමෝම කියන්නේ එකම කතාවය.චමුදි ද මලල ක්‍රීඩාවේ මීටර් 800 දක්ෂයෙකි.එය ඇයට දිණුම හිමි ඉසව්වය.එපමණක් නොව සමස්ත ලංකා මට්ටමට යන පාසලේ සංගීත කණ්ඩායමට ද චමුදිගේ වයලීනයේ වැයුම් නැතුවම බැරි ය.පරිසර නියමු කණ්ඩායමේ ද සිටින්නීය. භාරගත් හැම වැඩේම ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යන්නට වෙහෙසෙන පාසලේ අධ්‍යාපනයෙන් ද කැපී පෙණෙන ශිෂ්‍යාවක්ය.

මුල් පුහුණුකරු කේ.චන්ද්‍රකුමාර සමඟ
“සරත් රත්නායක ස්ර් විදුහල්පති කෙනෙක් විදිහට අපේ ක්‍රීඩා ගුරුවරුන්ට නිදහස දීලා අධීක්ෂණය කරනවා.චමුදි දුව දැන් ගොඩක් වෙලාවට කොළඹ යන එන නිසා මග හැරෙන පාඩම් එයාගෙ මේ ස්කෝලෙම ඉගෙනගන්න අක්කා සටහන් කොපි කර ගන්නවා.අම්මාත් අරගෙන යන එවා ලියනවලු.ඒත් දැනට ලැබෙන උදව්වලට වඩා වැඩ පිළිවෙලක් හදන්න ප්‍රින්සිපල් සර් කතා කරමින් ඉන්නෙ.දරුවට පහසු පරිදි ඔන්ලයින් හරි උඟන්නන්න.එයා දක්ෂ නිසා මග පෙන්වීමක් කරාම වැඩේ අල්ලගන්න පුළුවන් ළමෙක්.”
චමුදි දඟ පන්දු යවන්නියක ලෙස අප්සාරිට පළමු මොහොතේ දකින්නට ලැබී නැත.ඇය දඟ පන්දු යවන්නියක වන්නේ ඌව පළාත් පුහුණුකරු තරිඳු කොඩිකාර සහ මොනරාගල දිස්ත්‍රික් පුහුණුකරු තරිඳු වැන්නන්ගේ මඟ පෙන්වීම හරහා ය.පාසලේම සසිඳු සහ පසිඳු යන ආදි ශීෂ්‍යන් ද යොදාගෙන මේ වන විට කුඹුක්කන පඤ්ඤානන්ද යේ ක්‍රිකට් පුහුණු කරන්නේ චන්දන දේශප්‍රියය.

පාසලේ ක්‍රීඩා අංශයෙන් චමුදිට සහය වෙන ඉරුදක,නාලිකා සහ චන්දන ගුරුවරුන් සමඟ
චන්දන ද ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ය.ලංකාවේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ ලාංකේය ක්‍රිකට් තරුව ලෙස හැදින්විය හැකි තරමට කාලයක් එම කණ්ඩායමට නායකත්වය දුන් චන්දන අදටත් තරු ගුණය ඇති ක්‍රීඩකයෙක් ලෙස ලොව පතලය.අපි චන්දන මදකට මඟ හැර ඇයගේ මව දක්වන වෙනත් පාසලක් ගැන උනන්දුව ගැන කතා කළෙමු.
“චන්දන මහත්තයා ඉගෙන ගත්තේ මෙහෙ තිබුණ දෘශ්‍යාබාධිත අයටම වෙන් වුණ පාසලක.ඒකෙ විදුහල්පතිතුමාට බොරු චොදනා කරලා රස්සාවෙනුත් අයින් කරලා පාසල වැහෙන තත්ත්වයට කටයුතු කළා.ඒ නිසා චන්දන ස්ර්ලා වගෙ උපාධිධාරී දක්ෂයො දෘශ්‍යාබාධිත ප්‍රජාව අතරෙ මතුවෙන්න තිබුණ ඉඩ නැති වුණා.මේකත් ඉතිං එහෙම තමයි.චමුදි විතරක් නෙමෙයි නෙ ලංකාවෙ අටට එන්න බලපෑවෙ.තව දක්ෂයො ඉන්නවා.ඒත් ඉතිං දැන් උඩින්ම ඉන්න චමුදි ගියොත් මේ පාසල ගැන බලන එක අඩු වෙයි.මොණරාගල ක්‍රිකට් එකේ බණ්ඩාර මහත්තෙලා දැන් චමුදිට ගෙවන බස් ගාස්තුවට වැඩි දෙයක් ඉස්සරහදි ඒ දරුවට ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම හම්බ වෙයි කියලා හිතනවා.ඒකත් එක්ක ඔය හිත රිදෙන ආර්තික ප්‍රශ්න අඩු වෙයි.බණ්ඩාර මහත්තෙලත් උත්සාහ කරන්නෙ චමුදිත් එක්කම පඤ්ඤානන්දෙ ක්‍රිකට් ටීම් එකම රැකල දෙන්න.”

පිටියට අතේ දුරින් කුඹුක්කන් ඔය
කොහොමත් මේ මොහොතේ මොණරාගල ක්‍රිකට් ගැන තියෙන අවධානය වැඩිය.මේ මොණරාගලට සම්බන්ධ සමාජ ජාලා ගිණුමකින් උපුටාගත් සටහනක කොටසකි.
ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවක් – චේතනා විමුක්ති
ශ්‍රී ලංකා නැගීඑන ජාතික කණ්ඩායමට එක් ක්‍රීඩකයෙක් – සකුන නිදර්ශන
19න් පහල ජාතික කණඩායමට ක්‍රීඩකයන් දෙදෙනෙක් – ච්හාන් කලිදු, සකුන නිදර්ශන
19න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් ක්‍රීඩිකාවක් – චමෝදි ප්‍රබෝධා
ශ්‍රී ලංකා 19න් පහල පිට පළාත් ජාතික කණ්ඩායමට එක් ක්‍රීඩකයෙක් – පියුමාල් අත්තනායක
ශ්‍රී ලංකා පාසල් 15න් පහල ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් දෙදෙනෙක් – ගිහාන් අචින්ත, සකුන නිදර්ශන
ඒ ක්‍රිකට් නියෝජනය මොණරාගලින් වර්ධනය වෙමින් තිබෙන හැඩය.

පරිසර නියමුවරියක ලෙස
දැනටත් මේ පාසලේ ක්‍රීඩා භාර අචාරිණි නාලිකා ප්‍රියාමනී ප්‍රමුඛ කොට ඉරුදකලා,චන්දනලා ආදි ශිෂ්‍ය සංගමයේ සනත්,රුක්මන් යන අයව පෙරටු කරගෙන පාසලේ ක්‍රිකට් පවත්වා ගෙන යාමට දරන්නේ පහසු වෙහෙසක් නෙමේය.ඔවුන් වරෙක පෞද්ගලිකව දායක වෙමින් ද,ප්‍රදේශයේ ප්‍රභූන් ව්‍යාපාරිකයන් මුණ ගැසෙමින් ද දරණ වෑයම පහසු නැත.
“ඔය ටීම් බස්වල පටවගෙන හතර අතේ මැච්වලට යනවා.ගමේ ඉතිං යමක් තියෙන අය එකතු වෙලා උදව් කරනවා.ඔය ටීම් එකේ ඉන්නෙ වැඩි දෙනෙක් ගොවිතැනක්වත් තියෙන දෙමව්පියන්ගෙ ළමයි නෙමෙයි.කොහොම කරනවද කියලා හිතාගන්න බැහැ.තියෙන හැටියට ළමයින්ගෙන් ටිකක් එකතු කරනවා ඇති.ඒත් ඉතිං මිනිස්සු එකතු වෙලා තමයි කරනවා ඇත්තෙ.නැත්නම් ලක්ෂ ගණන් දීලා යන්නනම් ආර්තිකයක් ඔය සෙල්ලම් කරන ළමයින්ගෙ පවුල්වලට නැහැ”

පාසලේ ආචාර්යවරුන් සමඟ චමුදිගෙ හපන්කම් බලන්නට පැමිණි විදුහල්පතිවරයා (රෝස පැහැයෙන්)
සිඳුවීම් පෙළ ගැසෙන හැටි බලා ඉන්න ගම්මු කිහිප දෙනෙක්ගෙම අදහස මේ ආකාරය ය. රට වටේ ගිහිං ක්‍රිකට් ගහන්න කුඹුක්කන විද්‍යාලයට සල්ලි ලැබෙන හැටි ඔවුන්ගේ දෙබැම විශ්මයෙන් ඉහළ නංවන සුළුය.සජිත් ප්‍රේමදාස වැනි නායකයෙක් පසුගිය දවස්වල ක්‍රිකට් ගැන සිය පක්ෂයේ බලපෑම මත බොහෝ දුක් ගත්ත බව අපි දුටුවෙමු.එතුමාගේ අගසව් රංජිත් මද්දුමබණ්ඩාර මොණරාගල ජනතාවගේ ආශිර්වාදය ඇතුව දේශපාලනයට පිවිසි අයෙක්ය.අඩුම තරමේ රට වටේ බෙදා ගෙන යන බස් එකක් මේ පාසලට දීමේ වැදගත්කම සජිත්ට කියන්නට රංජිත් මද්දුමබණ්ඩාර ටත් තවම හැකි වී නැත.

චමුදි පාසල් වාද්‍ය වෘන්දයේ
දේශපාලකයන් ගත් විට ඉදිරි කාලයේදී කැමරා අටවගෙන කුඹුක්කනටත්,චමුදිගේ ගෙදරටත් ගොඩ වෙන්නට එන බව සෑහෙන්න විශ්වාසය.ඒ ප්‍රදේශවලට අයත් දුප්පත්කමේ මට්ටමෙන් අත මිට මොළවන කීය හෝ ඒ මිනිස්සුන්ගේ ජීවිතවල යථාර්තය එක්ක මහා මුදලක්ය.ඒත් චමුදි රට වෙනුවෙන් රැක ගන්න ජනතා නායකයන්ට ඇත්තටම උවමනාවක් තියෙනවනම් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගොස් ඇයගේ මව අහිමි කරගෙන තිබෙන ඉඩම් කෑල්ල නැවත ඔවුන්ට ලැබෙන වැඩ පිළිවෙලක් සැකසිය නොහැකි ද?

අප්සාරි,දැන් දෙක වසරේ සිටින චමුදිගේ මල්ලි,අම්මා සහ චමුදි සමඟ එ’දවස
එසේම මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තුවේ,පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ ධූරයක් දරන්නටම අවශ්‍යය නැත.දේශපාලකයා කියන භූමිකාවට ගෞරවයක් දෙන්නට පුළුවන්නම් පක්ෂ පාට අතහැර එකතු වන්නට වැඩක් ඇත.ඒ කුඹුක්කන පඤ්ඤානන්දය වෙනුවෙන්ය.අපේ ඇස ගැටෙන්නේ පැති විකට්ටුවෙන් එළියේ ක්‍රීඩා කරන්න ගියහොත් පන්දුව පිට්ටනිය අසළින් ගලන කුඹුක්කන් ඔයේ ගසාගෙන යන්නට ඇති ඉඩය.ඒවා බේරා ගන්නට මේ පුංචි උන් ඔයට පැන්නොත් ඒ ජීවිත ද ගසාගෙන යා හැකිය.මේ අවදානමට පිළියමක් නැද්ද?
දැනට නැත්තේ ඒ පාසලට අයත්ව තිබූ ඉඩම දේශපාලන බලයෙන් අත්පත් කරගෙන තිබෙන නිසාය.අත්පත් කර ගත් අයටම හෝ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන බව කියන ඕනෑම අයෙකුට ඒ බිම පාසලේ ක්‍රීඩා පිටිය වෙනුවෙන් නිදහස් කර දී මිනිස් ශ්‍රමය භාවිතයට ගෙන ක්‍රීඩා පිටිය නිර්මාණය කිරීමට හැකිය.මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට ද සිය මව් ආයකනයේ ආශිර්වාදය ඇතුළු ඒ වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරන්නට බැරිකමක් නැත.

මොණරාගල දිස්ත්‍රිත්තය නියෝජනය කරන ආණ්ඩුවේ නියෝජිතයින්
ඒ නිසා මේ තත්ත්පරයෙන් පසුව දේශපාලකයන් චමුදිගේ ගෙදර සහ පඤ්ඤාකක්දය වන්දනාවට යද්දී විය යුතු කුමක්ද කියා ඒ ගැමියන් වෙනුවෙන් අප සටහන් කර තැබුවේ එබැවින්ය.
එක එක තොරතුරු මත එක එක අයගේ නම් විශාල ප්‍රමාණයක් එක එක අය අතින් කියවිණි.සමහර විට ඒවා යමක් ගිලිහී තිබෙන්නට ද හැකිය.බට්ටි ගැන බට්ටි වට කර තිබෙන ඇත්තෙහි තිත්ත ද ඇඹුල ද පැණි රස ද මෙහි අපිළිවෙලට අතුරා ඇත.ඔබට ඇත්තේ මෙහි තිත්ත මැකීමට කළ හැකි දේ කරන්නට මැදිහත් විය හැකිනම් ඊට මැදිහත් වීමය.

රංජිත් මද්දුමබණ්ඩාර
