කුර ගා පැමිණ තනිවී හුදෙකලාවක
හදවත හඬන මොහොතක මංමුලාවක
තනිකම බදා හිත වැලපෙන වෙලාවක
වරුසාවකට වැඩි දේ ඇත වලාවක
තබා අහස මත ඉකිලන මා මනස
ඔහේ හිඳින මොහොතක පෑබර සවස
මගේ හැඟුම් අහසට දැනෙනා විගස
වලාකුළක් නැවතී බැලුවා ම’දෙස
ඉඳගෙන සිටින මොහොතක මා ලගින පිලේ
සිතුවිලි ඉපිද පාවී නුබ කුසට ඇලේ
පාළුව දරනු බැරි කිරලෙකු හඬන වෙලේ
මට නෑකමක් දැනුණා ඒ වලාකුළේ
දරා සිටින වරුසාවක බර ද රැක
ඔහේ පාව යයි ඉරණම වලාවක
නබෝගැබට නොකියන එක තමයි දුක
වලාකුළක ආදරයක් තිබිය හැක
පෙරා පාට විසිතුරු ඉඳුදුනු ගිහිණී
අහා නබෝ ගැබ සොඳුරු ය අති රමණී
උලා කකා සිටිනා මා දුටු බැවිනී
මගේ මොකක් හරි ආකාසෙට දැනුණී
විඳිනා ඉඩෝරය කලතන දිය බිංදූ
හිඳෙනා වැවෙන් වැව ආකාසෙට කැන්දූ
බඳිනා වලාකුළු නිල් ගුවනේ රැන්දූ
අත ගා බලනවද ඇවිදින් සුර ලන්දූ
ගලා හැලෙන විට වැසිදිය පියසි මත
බොහෝ හැඟුම් නොපෙනී ඉහිරිලා යත
නබෝ ගැබටවත් නොකියූ රහස වෙත
පොළෝ ගැබේ උණුහුම යළි දැනෙනු ඇත
වැවකට උරුම පත්ල ය රොන්මඩ තලප
ඒ තුළ දිරාපත් වෙයි පිළිහුඩු කුණප
කකියා කැකෑරෙන කල පොළොවක වලප
සියළු ම කාලගුණ මාපක කුණුහරුප
තලා පෙළා මිරිකන ඉරණමක රැකී
මෙලෝ රහක් නැති දිවියක සිහින දකී
අහෝ වලාකුළු මට බෝ දුර ය සකී
පොළෝ ගුරුත්වය ඇණයකි හෙනහුරෙකී
~ කුමාර හෙට්ටිආරච්චි


