*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ණය පැහැර හැරීමේ අවදානම තේරුණේ එක්සත් ජාතික පක්ෂයට පමණද ?

ශ්‍රී ලංකාව විදෙස් ණය සහ පොළී වාරික ගෙවීම අත්හිටුවන බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවත් රජය අප්‍රේල් 12 වනදා නිවේදනය කළේය. එසැණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව නිවේදනයක් හෝ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එකම ආසනයක් පමණක් වන අතර එය නියෝජනය කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඊට වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් සහිත රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකු පක්ෂ හෝ එම දිනය තුළ ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

රටක් සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීම යනු ඉතාම සරල සුගම කාර්යයක් ලෙස හැඟවෙන පරිදි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පසුගිය මාස කිහිපය තුළම අදහස් ප්‍රකාශ කර තිබුණු අතර ඔවුන් පසුගිය ජනවාරි මාසයේ සිටම රජයට බල කරමින් සිටියේ විදෙස් ණය ගෙවීම නවතා දමන ලෙසය.

එහෙත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කිසිවිටෙකත් ඒ පියවර කරා නොගිය අතර ඔහු විවිධ රටවලින් උදව් ඉල්ලා සිටිමින්, සිය පෞද්ගලික සම්බන්ධකම් භාවිතා කරමින් වෙහෙස වී මුදල් එකතු කරමින් ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන ගියේය. ඔහු “ණය පැහැර හරිමු” යන ජනප්‍රිය මතයට යටවුණේ නැත. එහෙත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සිය තනතුරේ වැඩ භාරගෙන දින හතරක් තුළ මුදල් සෙවීමට වෙහෙස වෙනවා වෙනුවට ණය ගෙවීම් පැහැර හැරීමේ පහසු, ජනප්‍රිය මාවත තෝරාගත්තේ ය.

මීළඟට සිදුවන්නේ කුමක්ද ?

දැන් උද්ගත වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ කිසිදු වාණිජ බැංකුවකට සිය ණයවර ලිපි (LC) සඳහා ලොව පිළිගත් විදෙස් බැංකුවකින් තහවුරු කිරීමක් (confirmation) ලබාගැනීමට නොහැකි වන තත්වයකි. උදාහරණයක් වශයෙන් අප ඉන්ධන මිලදී ගැනීමට යන්නේ නම් අපේ ඉන්ධන සැපයුම්කරුට අප විසින් ණයවර ලිපියක් නිකුත් කළවිට එම සැපයුම්කරු අදාළ ණයවර ලිපිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ බැංකුවකින් තහවුරු කිරීමක් ඉල්ලා සිටියහොත් අප එය ලබාදිය යුතුය. සැපයුම්කරු ණයවර ලිපිය පිළිගෙන ඉන්ධන මෙරටට නැව්ගත කරන්නේ එවිටය. මේ ආකාරයෙන් බොහෝ ආනයන කටයුතුවලදී සැපයුම්කරුවන් අපේ ණයවර ලිපියට විදෙස් බැංකුවකින් තහවුරු කිරීමක් ඉල්ලා සිටී. දැන් උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිදු වාණිජ බැංකුවකට තම ණයවර ලිපි සඳහා එවන් තහවුරුවක් ලබාගත නොහැකි අවස්ථාවකි.

ඒ අනුව ඉදිරියේදී අපට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු කිසිදු භාණ්ඩයක් ණයවර ලිපි මත පදනම්ව ආනයනය කිරීමට නොහැකි වීමේ අවදානමක් මතුව තිබේ. මේ ණයවර ලිපි සම්බන්ධ තත්වය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව අපි වෙනම ලිපියකින් කරුණු දක්වන්නෙමු.

ඇත්තෙන්ම මෙහි බැරෑරුම්කම රටේ ජනතාවට දැනෙනු ඇත්තේ දැනට රටේ පවතින දේශපාලන කලබලය මඳක් නිවීයන මොහොතක ය. විපක්ෂය මාස ගණනක් තිස්සේ බලකරමින් ඉල්ලා සිටියදීත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ණය පැහැර හැරීමට එකඟ නොවුණේ මන්ද යන්න එවිට පැහැදිලි වනු ඇත. අපට ඕනෑ තරම් ණය ගෙන, අපට බැහැයි කියා සිතෙන විටෙක ඒවා නොගෙවා පැහැර හැර යසට ජීවත් විය හැකි නම් කිසිවෙකු ණය නොගෙවනු ඇතිය යන්න සරලම සත්‍යයකි. ණය නොගෙවා පැහැර හැරීම යනු අතිශය බරපතළ ආදීනව ලැබෙන ක්‍රියාවකි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ නීතියට පටහැණිව වරදක් කර ඇත්නම් එය වෙනම බේරාගත යුතු දෙයකි. එහෙත් ණය ගෙවීම යනු එවැන්නක් නොවේ. ඔහුගේ නම කියැවුණු සැණින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ගෙන ණය පැහැර හැරීමට ආවැඩීම යනු දේශපාලනිකව නිවැරදි දෙයක් නොවේ. ඔහු විදෙස් රටවල් කරා ගොස් මුදල් ඉල්ලා සිටිමින් අමාරුවෙන් මුදල් සොයමින් ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර එය අමාරු නමුත් හොඳ දෙයකි. දැන් නව බලධාරීන් කර ඇත්තේ වඩාත් පහසු වඩාත් නරක දෙයයි. මෙය ක්ෂණිකව තේරුම් ගත්තේත් එක්සත් ජාතික පක්ෂය පමණි.

එජාපය කිසිදු අවස්ථාවක ණය පැහැර හැරීමට යෝජනා කළේ නැත. මන්දයත් ඔවුන් මීට පෙර ආණ්ඩුකරණයේ යෙදුණු බැරෑරුම් දේශපාලන පක්ෂයක් වශයෙන් මෙහි බරපතළ ආදීනව පිළිබඳ දැනසිටි නිසාය.

ණය පැහැර හැර ඒ මුදල් පරිභෝජනය සඳහා යොදාගනිමු යැයි පුන පුනා යෝජනා කළ විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක වැනි මන්ත්‍රීවරුන් මෙන්ම ෆේස්බුක් ආර්ථික විද්‍යාඥයින් ද හෙට දවසේ අනතුර ජනතාවගේ හිස මත කඩාවැටෙන විටත් සිය සුවපහසු අසුන්වල හිඳගෙන මොනවා මොනවා නමුත් කියනු ඇත. තමන් පෙළඹවූ ක්‍රියාවෙහි විපාක පිළිබඳ වගකීම ඔවුන් භාර නොගනු ඇත.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මෙම ක්‍රියාව පිළිබඳ ක්ෂණිකව අවධානය යොමුකරමින් ඊට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වීම පවා අතිශයින් වැදගත් වන්නේ එවන් පසුබිමක ය. රටක් පාලනය කිරීම යනු මාධ්‍ය හමු පැවැත්වීම හෝ වේදිකාවල කතාකිරීම තරම් පහසු ක්‍රියාවක් නොවේ. එය හුදු ජනප්‍රියවාදයට යටවී නම් කොහෙත්ම කළ හැක්කක් නොවේ.

පිළිතුරු දීමේ අයිතිය –

මේ සම්බන්ධයෙන් මීට අදාළ ඕනෑම පාර්ශ්වයකට කරුණු දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් ඔවුන් එවන ඕනෑම පිළිතුරක් සංස්කරණයකින් තොරවම පළකිරීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම් ය.

සබැඳි පුවත් –

නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan