සටහන – රුවන් නෙළුගොල්ල
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් නොමැති බවත් මේ තත්වයට මුහුණ දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ප්‍රශ්නය – ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තියෙන් මුළු ලෝකයම සෙලවිලා තියෙනවා. දැන් වෙළඳ යුද්ධයක් යන්නෙ. ඔබගේ ආණ්ඩුවට තියෙන චෝදනාව තමයි මේකට සූදානම් නෑ කියන එක ?
“මං හිතන්නෙ ඔය චෝදනාවට සර්ව පාක්ෂික හමුවෙන් යස පිළිතුරක් හම්බුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී තිබ්බ සර්ව පාක්ෂික හමුවෙදී අනුර සහෝදරයා බොහොම පැහැදිලි කළා අපි කොහොමද වැඩ කළේ, මොකක්ද ස්ථාවරය කියලා. ඒ හැමෝටම ඒක පිළිගන්න සිද්ධ වුණා, හැමෝම යන ගමන් කියාගෙන ගියා සාකච්ඡාව හොඳයි, මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. අපට අනිත් රටවල් කරන දේවල් වළක්වන්න බැහැනෙ. ඇමරිකාව ගන්න ක්‍රියාමාර්ග වළක්වන්න අපට පුළුවන්ද ? බෑ … අපට පුළුවන් ගන්න ක්‍රියාමාර්ග දිහා බලන් ඉඳලා ඒකට මුහුණ දීගන්න. එතකොට කලිනුත් අපි මේ සම්බන්ධ අවබෝධයක හිටියා, ඊටපස්සෙ මේක ආවාට පස්සෙ අපි ලිපියක් යැව්වා ජනාධිපතිවරයා හැටියට අනුර සහෝදරයා මේක සලකලා බලන්න කියලා. අපෙ පැත්තෙනුත් අපි හිතනවා යම් සැලකීමක් කරන්න ඕනෙ කියලා. මොකද වෙළඳ පරතරය විශාලයි නම් එතකොට අපිත් යමක් ඇමරිකන් මිලදී ගැනීම් හෝ මොකක්හරි පරතරය අඩුකිරීමට යමක් කළ යුතුව තියෙනවා. ගැප් එක අඩුකරන්න වෙනවානෙ, නැත්නම් හරි නෑනෙ. නමුත් ඒ අතර ඇමරිකාවට සිද්ධ වෙලා තියෙනවා මේක ටිකක් බරපතළයි, විරෝධයන් ඇවිල්ලා තියෙනවා, ඇමරිකාවේ විශාල විරෝධයන් යනවා, ඒ නිසා මාස තුනකට මේක නතර කරන්න ඒගොල්ලො තීන්දුවක් අරන් තියෙනවා. එතකොට අපට දින 90ක් තියෙනවා මේකට ලෑස්ති වෙන්න.
ඉතින් මොකක් වුණත් අපි හැමතිස්සේම ලෝකෙත් එක්ක ගනුදෙනු කරන අතරම – ලෝකෙ ඕනෙම වෙලාවක ගැටුම් එන්න පුළුවන් නෙ. රටවල් අතර යුද්ධ වෙන්න පුළුවන්, තෙල් නැතිවෙන්න පුළුවන්, ආහාර නැතිවෙන්න පුළුවන්, ඒවා අපට පාලනය කරන්න බෑනෙ. දැන් චීනෙයි ඇමරිකාවයි ගැටුමක් වුණොත් අපට බැහැනෙ මැද්දට ගිහිල්ලා පාලනය කරන්න. එතකොට අපි සමත් වෙන්න ඕනෙ අපෙ රටේ ආර්ථිකයක් හදාගන්න ඒ ඕනෙ ගැටුමකට ඔරොත්තු දෙන්න. මානසිකත්වයක් හදාගන්න ඕනෙ ජනතාවට ඔරොත්තු දෙන්න. එහෙම නැතිව ලෝකෙ ජීවත් වෙන්න අමාරුයි. ඉතින් අපි හිතනවා අපි කළ යුතුව තියෙන්නෙ, එකක්, සාකච්ඡා කරලා මේක බේරගන්නත් ඕනෙ. ඒ අතරෙ අපෙ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනෙ එහෙම ගැටුම්වලදී පවා අපිට වැටෙන්නැතිව ඉන්න පුළුවන් වෙන්න. අනික තමයි ඔය ලෝකෙටම ගහපු ඔය බද්දෙන් ලංකාවට තියෙන බලපෑම විශාල නැහැ. අපෙ අපනයන ඇමරිකාවට යන්නෙ ටිකයි නෙ. ඇඟළුම් තමයි වැඩිපුර යන්නෙ”
ප්‍රශ්නය – හැබැයි බිලියන තුනක විතර එකක් යන්නෙ. මේ අතර තියෙනවා රැකියා අවස්ථාත් විශාල ප්‍රමාණයක් ?
“ඒ ඔක්කොම තියෙනවා. අපට ඒක නිසා මේකට රැකියා අවස්ථා ගොඩක් තියෙනවා, මේක සම්පූර්ණ නතර වුණොත් අපි ලෑස්තියි මේකට මුහුණ දෙන්න. එහෙම වුණොත් අපි අදහසක ඉන්නවා රැකියා අහිමිවෙන අයට අපි වැටුපක් ලබාදෙන්න ඔනා දෙගොල්ල එකතුවෙලා කියලා. ඒවාට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක ලෝකෙත් එක්ක ගත්තොත් සමහර රටවලට සාපේක්ෂව අපට තියෙන්නෙ පොඩි එකක්. මොකද ඇමරිකාවෙ ආනයනවලින් අපෙන් ලැබෙන පංගුව බොහොම පුංචියි”
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
