“දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග” යනුවෙන් ජනප්‍රිය කතාවක් ජනවහරේ ඇත. ශ්‍රී ලාංකිකයින් වන අපට රටක් වශයෙන් ගත් කල ආපහු හැරී බලද්දී පෙනෙන තරමක් පෙනෙන්නට ඇත්තේ “නොදැන ගිය” ගමන් ය. එවන් වටපිටාවක් තුළ අප මේ කියන්නට යන්නේ කතරගම අය “දැනගෙන ගිය” ගමනක් ගැන රටම දැනගත යුතු, ඉගෙනගත යුතු කතාවකි.
කතරගම බස් නැවතුම්පොළ කලක පටන්ම පැවතියේ ජරාජීර්ණ වූ තත්වයක ය. ගරාවැටී, අබලන්ව පැවති එය යාචකයින්ගේ නැවතුම්පොළක් මෙන්ම වීදි සුනඛයින් සහ ගවයින් ලගින තැනක් බවට පත්ව තිබිණි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයිති අක්කර දෙකක භූමියක පිහිටි මෙම බස් නැවතුම්පොළ බස් රථ නවත්වන ස්ථාන 41 කින් සමන්විත විශාල බස් නැවතුම්පොළකි. මෙහි අබලන් තත්වය සම්බන්ධයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ අවධානය යොමුව තිබුණු අතර මෑතකදී මේ පිළිබඳ විකාශය වූ රූපවාහිනී වාර්තාවක් ද නැරඹීමෙන් අනතුරුව ඒ මහතා විෂයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයෙකුට මේ පිළිබඳව දැනුම් දී තිබිණි.
අදාළ රූපවාහිනී වාර්තාවේ වීඩියෝවත් යොමු කර, මෙහි අලුතින් බස් නැවතුම්පොළක් ඉදිකිරීම පිළිබඳ යෝජනාව අදාළ දේශපාලන ප්‍රබලයාට දුරකථනයෙන් ඉදිරිපත් කළ සැණින් ඔහුගේ ප්‍රතිචාරය වී තිබුණේ එම රූපවාහිනී වාර්තාව විපක්ෂයේ දේශපාලන පක්ෂයක වැඩක් බවට ය. වාර්තාව කාගේ වුවත් එහි සඳහන් කරුණු සත්‍යය හෙයින් ජනතාව වෙනුවෙන් නව බස් නැවතුම්පොළක් ඉදි කළ යුතු බව බස්නායක නිළමේවරයා විසින් නැවතත් පැවසීමෙන් පසුව දේශපාලනඥයා ප්‍රකාශ කර තිබුණේ තමන් ඉතාම ඉක්මනින් එහි පැමිණ තත්වය නිරීක්ෂණය කර විසඳුමක් ලබාදෙන බව ය.
කීවාක් මෙන්ම දේශපාලන ප්‍රබලයා විෂයට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසක් ද සමග දින දෙකක් තුළ එම බස් නැවතුම්පොළට පැමිණ තත්වය නිරීක්ෂණය කර තිබිණි. තත්වය සොයා බලා, තමන් සමග පැමිණි නිලධාරීන්ගෙන් ද විමසා බැලීමෙන් පසුව දේශපාලන ප්‍රබලයා බස්නායක නිළමේවරයාට පවසා තිබුණේ “මේක මේ විදියට අලුතින් හදන්න රුපියල් මිලියන 200ක් වත් යාවි. අපට පහුගිය අයවැයෙන් වෙන්කරපු ප්‍රතිපාදනවලින් එතරම් මුදලක් මේකට අයින් කරන්න බෑ. ඒ නිසා ලබන අවුරුද්දේ අයවැය යෝජනාවලට මේක දාලා තමයි වැඩේ කරන්න වෙන්නේ. එතකල් ඉන්න වෙනවා” කියාය.
එහිදී කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊට පිළිතුරු දී තිබුණේ “කමක් නෑ එහෙනම්, මේක මේ විදියට තියාගෙන එච්චර කල් බලාගෙන ඉන්න බැහැනෙ. මම කොහොමහරි මේක හදන්නම්” කියා ය. පසු අවස්ථාවක මේ ගැන සිහිපත් කරමින් සිනහමුසු මුහුණින් යුතුව ඩිෂාන් ගුණසේකර මහතා අප සමග පැවසුවේ “මම ඒ වෙලාවේ ඒක කිව්වා නෙවෙයි, මට කියවුණා. රුපියල් මිලියන 200ක් වගේ විශාල මුදලක් මේ වැඩේට වියදම් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට පස්සේ දිගටම කල්පනා වුණා. මම අන්තිමේ හිතුවේ කැඩිලා තියෙන සීට් ටික අලුතින් දාලා, තීන්ත ටිකක් ගාලා මේක පිළිසකර කරන්නයි” කියාය. එහෙත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරෙන සිදුවීම සිදුවී තිබුණේ ඊට පසුව ය.
“එදා රෑම මම ධම්මික පෙරේරා මහතා එක්ක දුරකථන ඇමතුමක ඉන්න ගමන් මම මේක ගැන ඒ මහතාට කිව්වා. මම කොහොම හරි මේක හදනවා කියලාත් කිව්වා. එතකොට ධම්මික පෙරේරා මහතා කිව්වා “නිළමේතුමා, හෙට උදේ පාන්දරම ඔය බස් නැවතුම්පොළට දෙන්නෙක් යවලා පාන්දර 5 ඉඳන් රෑ 10 වෙනකල් ඔතනින් පටන් ගන්න බස් ගාණ ගණන් කරලා මට ඒ විස්තරය එවන්න. එතකොට මම ගණන් හදලා ඊළඟ පියවර කියන්නම්. එතකල් මොකුත් හදන්න පටන් ගන්න එපා” කියලා. මම ඒ කියපු විදියටම දෙන්නෙක් යවලා බස් ගාණ ගණන් කරවලා, ඒ තොරතුරු වගුවක් හදලා ධම්මික පෙරේරා මහතාට යැව්වා”
“ධම්මික පෙරේරා මහතා ඒ තොරතුරු බලලා මට කිව්වා “මේකෙ කාර්යබහුලම පැයටත් මෙතනින් පිටත්වෙන්නේ බස් නවයයි. අනිත් සමහර පැයවල බස් දෙකයි, තුනයි. ඉතින් මේකට මොකටද බස් නවත්වන තැන් 41ක් ? කාර්යබහුලම වෙලාවේත් බස් එකක් පැය බාගයක් මෙතන නවත්වන් ඉන්නවා කියලා ගණන් හැදුවත් අපට ඕනෙ වෙන්නෙ බස් නවත්වන තැන් හතරහමාරයි. මේකට කොහෙත්ම බස් නවත්වන පෝලිම් 41ක් ඕනෙ වෙන්නෙ නෑ. බස් එකක් පැයක් නවත්වනවා කියලා ගණන් හැදුවත් මේකට ඕනෙ බස් නවත්වන තැන් නවයයි. අපි තිබ්බ එක ගැන කල්පනා කරන්නෙ නැතුව මෙතන අවශ්‍යතාවයට අනුව වැඩේ කරමු. මේ බස් නැවතුම්පොළ අපි ප්‍රමාණයෙන් කුඩා කරලා ලස්සනට හදමු. ඔබතුමාට එතනින් වියදම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්” කියලා”
ඒ අනුව රුපියල් මිලියන 200 ක වියදම විශාල ප්‍රමාණයකින් අඩුකරගෙන, වඩාත් අලංකාර බස් නැවතුම්පොළක් ඉදිකරන යෝජනාව ධම්මික පෙරේරා මහතාගෙන් ලැබිණි. මීළඟට අවශ්‍ය වුණේ සැලැස්මකි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහරගම ප්‍රදේශයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළක් පිළිබඳ තොරතුරු ඩිෂාන් ගුණසේකර මහතාට ලැබී තිබුණු අතර ඒ මහතා එම තොරතුරු ලැබුණු දින රාත්‍රියේම එහි ගොස් එහි ඡායාරූප සහ මිනුම් ලබාගෙන තිබිණි.
“මම ඒ බස් නැවතුම්පොළ හදන්න නාගරික සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තුවත් ගෙන්නා ගත්තා. ඒ ස්ථානය අනුව ඔවුන්ටත් ඒකට විශාල මුදලක් වැයවෙලා තිබුණා. නමුත් මට ඊට වඩා ගොඩක් අඩුවෙන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. ඉතින් මම යකඩ වැඩ කරන කාර්මිකයෙකුත් ගෙන්වාගෙන ඇස්තමේන්තුවක් හැදුවා. මට ආවේ මිලියන 25කට අඩු ගණනක්. අපි දේවාලේ සල්ලිවලින් වැඩේ කරන්න පටන් ගත්තා. මුල්ගල තියලා මාසයයි දවස් දහයක් ඇතුළත අපි මේ ලස්සන බස් නැවතුම්පොළ හදලා ඉවර කළා. අවසානයේ ගණන් හදලා බලනකොට අපට වැයවෙලා තිබුණේ රුපියල් මිලියන 17.3 යි” ඩිෂාන් ගුණසේකර මහතා දැන් පවසන්නේ මහත් සතුටිනි.
තිබුණු හැටියටම සාමාන්‍යයෙන් කෙරෙන පාරේම නොයා අලුතින් හිතා අලුත් යමක් දැනගෙන අලුත් පාරක ගමන් කිරීමෙන් රුපියල් මිලියන 200 කැයි මුලින් කී වියදම අවසානයේ එයින් දහයෙන් එකකටත් වඩා අඩුවෙන් රුපියල් මිලියන 17.3 ක් දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇත. හොඳම කොටස එයිනුත් ඉදිරියට ය.
“මේක දේවාලයට අයිති අක්කර දෙකක ඉඩමක්. අපි අලුත් බස් නැවතුම්පොළ හැදුවේ ඉස්සරහින් ඉඩම ඉතුරු කරගෙන. පසුව මැනලා බලද්දී එතන පර්චස් 140ක් ඉතුරු වෙලා තිබුණා. මම නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන්ට කිව්වා මේ ඉඩම කතරගම නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරලා දේවාලයටත් ප්‍රතිලාභයක් ලැබෙන විදියට ව්‍යාපෘතියකට යොදවමු කියලා. ඔවුන් කිව්වා අපි මේක පර්චස් 20 වගේ කෑලිවලට කඩලා පෞද්ගලික ආයෝජකයින්ට සංවර්ධනය කරන්න දෙමු කියලා. අපි ඉදිරියේදී ඒ කටයුතු ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් පූර්ණ විනිවිදභාවයක් ඇතිව UDA එකත් එක්ක සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
කතරගම නගරයේ පර්චස් එකක වාණිජ වටිනාකම රුපියල් මිලියන 2ක් විතර වෙනවා. අපි මේ පර්චස් 140 මිලියන එක ගාණෙ දුන්නත් මිලියන 140ක් ලැබෙනවා. එතකොට බස් නැවතුම්පොළ හදන්න ගිය මිලියන 17.3 අයින් කරලාත් මිලියන 120 කට වඩා ඉතුරුයි. අනාගතයේ දවසක ඒ මුදල ලැබුණොත් මට ඒකෙන් මුළු කතරගම නගරයේම පදිකවේදිකා හදලා, කාණු දාලා නගරය සංවර්ධනය කරන්න පුළුවන්. දැනට පාරවල් ඔක්කොම කාපට් කරලා තියෙනවා, නමුත් පදිකවේදිකා, කාණු දාලා නෑ. අපට මේ මුදලින් ඒ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. ඒකට රජයෙන් මුදල් වැයවෙන්නෙත් නෑ, මගෙන් මුදල් වැයවෙන්නෙත් නෑ, දේවාලයෙන් මුදල් වැයවෙන්නෙත් නෑ, අර ආයෝජකයින්ගෙන් එන මුදල තමයි නගරය හදලා ඉවර කරන්න වැය වෙන්නෙ. එක වැඩක් හරියට කළමනාකරණය කරපුවාම ලැබෙන දේ බලන්න. අපට මේ රට හදන්න බැරි නෑ, අපි මේ කළමනාකරණයයි හරියට කරගන්න ඕනෙ” ඩිෂාන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ එසේ ය.
ඒ මහතා අවසන් වශයෙන් සඳහන් කළේ “මේකට තමයි පෞද්ගලීකරණය කියන්නේ. අපේ මිනිස්සු මෙතෙක් ලබපු අත්දැකීම් එක්ක පෞද්ගලීකරණය කියන වචනයටත් බයවෙලා ඉන්නෙ. නමුත් හරියට හොයලා බලලා කරනවා නම්, හරියට විනිවිදභාවයක් ඇතිව වැඩේ කරනවා නම්, තමුන්ට පුද්ගලිකව මුදල් හෝ වරප්‍රසාද හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී මේකෙන් ලැබෙන පින පමණක් සලකලා වැඩේ කරනවා නම් අපට තියෙන සම්පත් කළමනාකරණය කරගෙන හැමෝටම ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනයක් කරා යන්න අපට පුළුවන්. මේක ඒ ගැන හොඳ උදාහරණයක්” යනුවෙනි.
දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී, බරපතළ කඩාවැටීමකට ලක්ව, අමාරුවෙන් හිස ඔසවමින් සිටින රටක් වශයෙන් ගත් කල අපට, අපේ ජනතාවට වඩාත් යහපත් ජීවන තත්වයක් ලබාදෙන රටක් බිහිකිරීම දක්වා යන්නට ඇති දුර බොහෝ ය. ඒ ගමන නිසි කළමනාකාරීත්වයක් සහිතව “දැනගෙන යනවා නම්” අපටත් නොසිතන මට්ටමේ ආශ්චර්යයන් පවා සිදු කළ හැකිය. කතරගමින් ඇසෙන මේ කතාවෙන් අප ගත යුතු ආදර්ශය එයයි.
RN