ආණ්ඩුවේ සම්පූර්ණ බර යොදා හොරුන් ඇල්ලීමට සහ දූෂිතයින්ට දඬුවම් දීමට ගියහොත් රටේ ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ප්‍රශ්නය – ජනතාව යම් විශ්වාසයක් ඇතිවනෙ තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න තීන්දුව ගන්න ඇත්තෙ. ගතවෙච්ච කාලය තුළ ඔබලාට ඒ ජනතාව තැබූ විශ්වාසය කරගන්න පුළුවන් වුණාද ? ඒ ජනතාව බලාපොරොත්තු වූ වෙනසේ වේගය තියෙනවාද ?
“මෙහෙමනෙ, අපි බලය ගත්තෙ අවුරුදු පහක කාලසීමාවකට. ඒ අවුරුදු පහ තුළ කෙටිකාලීන ක්‍රියාමාර්ග, මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග, දිගු කාලීන ක්‍රියාමාර්ග, ඒ තුනම අපි කිව්වා. එතකොට ජනතාව අපිට ලොකූ බලයක් දීලා සමහර අය එකපාරට ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඔබ කියන පැත්ත තියෙනවා. ඒ කියන්නෙ අපි ආපු ගමන් මේක උඩුයටිකුරු කරයි කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන් තත්වයක් නැහැ. මොකද පවතින නීතිරීති, චක්‍රලේඛ, ව්‍යවස්ථා, ඒවා සැලකිල්ලට අරන් තමයි අපිට වැඩ කරන්න වෙන්නෙ. එතකොට සමහර ඒවා පිළිබඳ ජනතාවට තියෙනවා තවම කෙරුණෙ නෑ, අරක කිව්වට කෝ තාම නෑ, එහෙම කියලා. මේ තත්වය තේරුම් ගන්න පුළුවන් ජනතාවක් මේක පිළිගන්නවා, එහෙම එකපාර 24 පැයෙන් ඔක්කොම වෙනස් කරන්න බැහැ කියන එක. නමුත් යම් කොටසක් ඉන්නවා වේගය මදි කියන අදහසේ ඉන්න අය. අපි ජනතාවට කියන්නෙ, අපි ගොඩාක් දේවල් මේ කාලය තුළ කළා. ආර්ථිකය ශක්තිමත් කළා, දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. හොරකම වංචාව නතර කරපු එකම මදිද ? මොන ආණ්ඩුවෙද, ලෝකෙ කොයි රටේද බලයේ ඉන්න ආණ්ඩුවෙම පොලිස්පතිවරයාව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙ ? ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙච්ච ලෝකෙ කිසි රටක එහෙම නෑ. හමුදා පාලනවලින් බලය ගත්තු තැන්වල එහෙම කරලා තියෙනවා. අපේ ලංකාවෙ විතරයි මෙහෙම වෙලා තියෙන්නෙ. අපි ඒ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ විශ්වාසය ජනතාවට ඇතිවෙලා තියෙනවා. ජනතාව හැමෝම නෙවෙයි යම් කොටසක් ක්ෂණික වෙනස්කම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කට්ටිය පොඩි ප්‍රශ්න කිරීමක ඉන්නවා තවම අරක වුණෙ නෑ, මේක වුණෙ නෑ කියලා. ඇත්ත, එහෙම දේවල් ටිකක් තියෙනවා තව වෙනස් කළ යුතු. අපි පිළිගන්නවා ඒක. හැබැයි අපෙ ඉලක්කය, අපි ආරම්භ කරලා තියෙනවා වැඩසටහනක් ඒවාත් වෙනස් කරන්න”
ප්‍රශ්නය – ඒක මම ඇහුව දේ ඔබ පිළිගත්තා. ඔබතුමන්ලා ඡන්දය ගන්න කලින් කිව්වා අපි පාර්ලිමේන්තුවට මේ මේ පනත් ගේනවා බලයට ආපු සැණින් කියලා. අන්න ඒ වේගයයි ජනතාව බලාපොරොත්තු වුණේ ?
“ඒක හරි. උදාහරණයක් ගත්තොත් හිටපු ජනාධිපතිවරුන්ගෙ වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඒවා 24 පැයෙන් වෙනස් කරයි කියන බලාපොරොත්තුව සමහර ජන කොටස් අතර තිබුණා. නමුත් අපි ඒවාට නීතිමය පැත්ත ගත්තාම, ඒකට වෙනම කමිටුවක් ආපු ගමන් පත් කළා. පත් කරලා වාර්තාවක් ගත්තා. ඒ වාර්තාව අනුව ඉදිරියේදී පනතක් පාර්ලිමේන්තුවට ගේනවා. ඉතින් ඒකට පොඩි කාලයක් යනවා. ඒ අතරතුරේ අපට තිබුණු ප්‍රධානම එක තමයි අයවැය සම්මත කරගන්න එක. මේ පනත් දාන්න කලින් අයවැය සම්මත කරගෙන ඉන්න ඕනෙ, මොකද ආර්ථිකය දුවන්න එපැයි. ඉතින් ඒ නිසා ඒකට ප්‍රමුඛතාවය දුන්නා. IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒක ඉස්සරහට ගෙනියන්න ඕනෙ රට වැටෙන්නෙ නැතුව. ඒවාට ප්‍රමුඛතාවය දුන්නා. එතකොට ටිකක් ප්‍රමාදයක් තියෙනවා. නමුත් අපි ඒවා කරනවා, නොකර ඉන්නෙ නෑ. මොකද, ආණ්ඩුවේ මුළු බරම යොදලා අර පරණ හොරු අල්ලන්නයි, දූෂණවලට දඬුවම් දෙන්නයි ගියොත් ආර්ථිකය වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ආර්ථිකයත් වැටෙන්නෙ නැතිව ශක්තිමත්ව ගොඩනඟාගන්න ගමන් අර ඒවාත් කරනවා. අර නිකම් කියන්නෙ … ගෙදර යන ගමන් තව තව දේවල් ටිකක් කරන් යනවා කියලා ….”
විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
