ලංකාවේ ක්‍රිකට් ලෝලින් මේ මොහොතේ බහුතරයක් සිටින්නේ අමන්දානන්නදයට පත්ව ය.ඒ අයර්ලන්තයට ශ්‍රී ලංකාව බැට දෙන ආකාරයෙන්ය.ඉතාම දුෂ්කර අවධියක් පසු කර මේ ගත වෙන මොහොතේ ලපටි දඬු පට පට ගා කඩන ශ්‍රී ලංකා ක්‍ර ක්‍රිකට් ගැන සතුටු විමෙන් ඔබ්බට ක්‍රිකට් ගැන සිතිය යුතු සහ බැලිය යුතු දැක්මක් සහ සිතුමක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අවශ්‍යය වන්නේය.ඒක හුදු ක්‍රිකට්මය නොවන ගැඹුරට වැඳෙන විදයාත්මක වශයෙන් ශාරිරික සහ මානසික සූදානමකින් කෙළවර විය යුත්තක් බව අපේ විශ්වාසයය.ක්‍රිකට් ගැන පදනම් දැණුමෙන් පොහොසත් ඒ සම්බන්ධ විශාල ආදරයක් ඇති වෙන්ත විෂය ප්‍රවීනයන් මේ සම්බන්ධයෙන් අදහස්වලට මැදිහත් කර ගැනීම වගකිවයුතු මැදිහත්වීමක් බව අපට හැඟුණ බැවින් වෛද්‍ය කේෂ්ත්‍රයේ ආන්දෝලානාත්මක චරිතයක් හැටියට තිබෙන සම්මතයෙන් උඩු ගං බලා යන්නට යම් සමත්කමක් දැක් වූ සහ එසේම පරාපාලකයෙක් සේ මේ වන විට කොළඹජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයක වැඩ කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට අපි එහි පළමු අවස්ථාව දුන්නෙමු.


හෙතෙම වර්ජනය වර්ජනය කරන වෛද්‍ය වෘත්තීය සමිතියක පුරෝගාමියාය.ඔහුගේ ශබ්ද කෝශයේ වර්ජනය නැත.ඒ නිසා ඔහුගේ පෞද්ගලික දේශපාලන කඳවුර කුමක් වුවත්,ඔහු වර්ජනයට සහය නොදෙන පොදු අරමුණක සිට ක්‍රියාත්මක වෙන ජනප්‍රිය චරිතයකි.ඔහු එවැනි කාර්ය බහුල ක්‍රියාශිලීව වෘත්තිය හා බැදුන ජීවිතයකට ඇලුණ ද හැකි සෑම මොහොතකම ක්‍රියාත්මක ක්‍රිකට් පිටියට දෑස ඔබන්නට ද අමතක නොකරන්නේය.වෘත්තිය ජිවිතයේ මිදුණු දිගු ඉසිඹුවක ඔහු සජිවි ක්‍රිකට් අත්දැකීමකට ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත යන්න ද පැකිළෙන්නේ නැත.
වෛද්‍ය බෙල්ලන ශාන්ත පීතරයේ අකුරු දැණුමත් සමඟ ක්‍රිකට් හැකියාවත් සමාන්තරව පෝෂණය කර ගන්නේය.ඉතා කුඩා අවදියේ පංතියේ දක්ෂතම සිසුවෙක් සේ මෙන්ම වයස ඉක්මවා ගිය ක්‍රිකට් හැකියාවන් නිසා ද රුක්ෂාන් බෙල්ලන පීතරයේ ජනප්‍රිය චරිතයක් විය.වයස අවුරුදු 15 වෙද්දී ඔහුගේ පිත්ත මෙන්ම දඟ පන්දුව ද පිතරයේ පළමු පෙළ 19 න් පහළ කණ්ඩායමටද වැදගත් වන තරමට මෝරා වැඩී තිබිණ.ඒ වයසේදීම දෙවන පෙළ කණ්ඩායමට නායකත්වය දෙන්නට තරම් මෝරා වැඩුණ රුක්ෂාන් බෙල්ලන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ පමණක් නොව ශ්‍රී ලංකාවම ගරු කරන කීර්තිමත් ක්‍රිකට් පරිපාලකයෙක් වූ ෂෙලී වික්‍රමසිංහගේ ඇසි ගැටීමෙන් ඉනික්බිති ඒ වන විට රොෂාන් මහානාම නායකත්වය දැරූ බ්ලූමිෆිල්ඩ් දෙවන පෙළ කණ්ඩායමට ද සුදුස්සෙක් කර ගත්තේය.
නමුත් මේ ක්‍රිකට් වසන්තය ඔහුගේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිපල වෙනත් දිශාවකට හැරෙව්වේය.ක්‍රිකට් සම්බන්ධයෙන් අදටත් නොසිඳි හදවතේ ඇති ආදරය සමඟ ඔහු ගෙදර ඉල්ලීමට පා ආවරණ,අත් ආවරණ පසෙකට දමා කොළඹ ආනන්දයට ඇතුළුව උසස් පෙළ ඉහළින් සමත්ව වෛද්‍යවරයෙකු වීමේ ගෙදර සිහිනය යථාර්තයක් කරන්නට වෙහෙසිණ.
“ලංකාවෙ ටීම් එකට ගැහැව්ව වෘත්තීය වෛද්‍යවරයා තමයි එච්අයිකේ ප්‍රනාන්දු.ඔහු යුද හමුදාවට සම්බන්ධව සිටි වෛද්‍යවරයෙක්.මට හිතෙනවා ඊ ළඟට ඒක අත් කරගන්න සිටිය වෛද්‍යවරයා මම කියලත් සමහර වෙලාවට.”
බෙල්ලනයන් ඉතිහාසය සහ වර්ථමාන ගලපද්දී අතපසු වූ හෝ අත හැරුණු ඇතැම් සිහින ගැන කණගාටුවෙන් හෝ අභිමානයෙන් සිහියට නඟයි.
“88 වගෙ මං විශ්ව විද්‍යාලයට තේරුණා.නමුත් කළබල, ස්ට්‍රයික් නිසා විශ්ව විද්‍යාල වහලා තිබුණා.ඒ වෙලාවෙ මට උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම හරහා රුසියාවට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙනවා.රුසියාවෙ වෛද්‍ය විද්‍යාලයෙ නිසා ආයෙත් මට විශ්ව විද්‍යාල මට්ටමෙන් හරි ක්‍රිකට් ක්‍රීඩා කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා.”
සමහර විට අද ද ඔහු වර්ජන සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දනවනු ඇත්තේ ඔහුට සිය පෞද්ගලිකත්වය අහිමි වූ සහ තවත් එවැනි වූ ජීවිත ගැන ද අත්දැකීම් සමඟ විය හැකිය.සමහර විට ජීවිතම අහිමි වූ අය ගැන ද ඒ මතක අතර සිටිනු හැකිය.
“ක්‍රීඩකයෙක්ට නෙමෙයි ඕනිම වෘත්තිකයෙක්ට තියෙන්න ඕනි ප්‍රධාන කාරණා තුනක් තියෙනවා.ඒ හැකියාව,ශාරිරික යෝග්‍යතාවය සහ දැඩි මානසික ස්ථාවරභාවය කියන දේ.
තමන්ගේ ක්‍රිකට්වලින් අපි ඔහුව රටේ ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරන්නට රැඟෙන ආ විට ආරම්භය සටහන් කළේ එලෙසයි.
“අර්ජුන වගෙ ක්‍රිඩකයෙක් ගන්න.ටැලන්ට එකට වඩා ප්‍රතිවාදීන්ට බලපෑවේ ඔහුට තිබූ දැඩි මානසික ස්ථාවරය.ඒක ඇතුළෙ ඔහු හැමවිටම කතා කළේ ජයග්‍රහණය විශ්වාස කරගෙන.ප්‍රතිවාදියාව පරාජය කළ හැකි බවට හොඳ ආත්ම විශ්වාසයකින් වගේම තමන්ට කණ්ඩායමට ඉහළම දායකත්වය ලබා දිය හැකියි කියන විශ්වාසය ඒ කාලේ හැමෝම තුළ තිබුණා.අරවින්ද,මහානාම,හෂාන්,ගුරුසිංහ නෙමෙයි වාස් කුමාර ධර්මසේන වැනි අය ගත්තත් එහෙමයි.ඩෙනිස් ලිලි පන්දු යවන්න බැහැ කිව්වම වාස් කළේ තමන්ගේ හිත හොඳම පන්දු යවන්නෙක් වන බවට හැඟීමෙන් මෙහෙයවන එක.”
වෛද්‍ය බෙල්ලන 96 ලෝක සූරයනගෙන් උදාහරණ ගනිමින් සිටියි.
“ශතක, කඩුලු මේ හැම දෙයක්ම හැම තරගයකම යම් මට්ටමකින් කරන ක්‍රීඩකයෙක් තමයි කණ්ඩායමට වටින්නෙ.පිතිකරුවෙක් විදිහට හැම තරගයකම වගෙ අඩුම ගණනෙ 30 ක් විතර ගහලා දෙන්න පුළුවන් කියන්නෙ ලොකු වැඩක්.කඩුල්ලක් දෙකක් හැම තරගයකම තියෙනවා කියන්නෙත් එහෙම වැඩක්.කෝලි ගන්න.ඔහු අසමත් කාලවලත් බොහෝ විට ලකුණු 30 ක් වත් ඉණිමට අරගෙන දෙනවා.10 ට අඩුවෙන් දැවී යන අවස්ථා ඉතාම සීමිතයි.”
අතීතය සහ ලෝකය ඔස්සේ ඔහු වර්ථමානයට පැමිණෙයි.
“අද බලන්න කුසල් මෙණ්ඩිස්.උපරිම ටැලන්ට් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්.ගහන පාරවල් බලන්න.ඒත් තරගයක දෙකක එහෙම කරලා ආයෙත් නියඟයට අහුවෙනවා වගෙ.මිනිස්සු එළවපං කියලා බනින කොට තමයි ආයෙ ගහන්නෙ.එක දිගට මේ හැකියාවන් බපෑමක් නැතුව කළමණාකරණය කරගන්න බැහැ.ඒක අර්බූදයක්.කුසල් විතරක් නෙමෙයි දිනේෂ් චන්දිමාල් ගන්න තව ක්‍රීඩකයෝ නම් වශයෙන් ගොඩක් ගන්න පුළුවන්.මං නමක් දෙකක් කිව්වට ඒවා උදාහරණ.මේක හැමෝගෙම පොදු ප්‍රශ්නය.අර්බූදය තියෙන්නෙ ටැලන්ට් එකේ නෙමෙයි.ඒකත් එක්ක දැඩි මානසික ස්ථාවරයක්,ආත්ම විශ්වාසයක් නැතිකම.”
“ඔවුන්ට ශරීරයේ ගැටළුවක් නැතුව ඇති.ටැලන්ට් එකෙත් ප්‍රශ්නයක් නැහැ.හැබැයි මානසිකව බලපාන, එක දිගට දස්කම්වල නොරැඳෙන්න හේත්වක් තියෙනවා.මේවා මානසික විශේෂඥයො ගෙනත් සිද්ධාන්ත සමඟ දේශන කරලා කතා කරලා වැඩක් නැහැ.මේ පොළවේ මිනිස්සු හිතන පතන හැඩයක් තියෙනවා.ඒවා එක්ක හැප්පුණ වාස් ධර්මෙ මුරලි අරජුන වගෙ අය ඒ අය වෙනස් වුණේ හිත හයිය කර ගෙන ක්‍රීඩා කළේ කොහොමද කියලා කතා කරලා කියන එකත් වටිනවා.”
කෙසේ නමුත් රුක්ෂාන් බෙල්ලන සිය වෘත්තීය අත්දැකිම් සමඟ යොජනා කරන්නෙ අපි සාමාන්‍ය විදිහට කියන කවුන්සිල් කිරීමේ තත්ත්වයක් ය.සමහර විට එය ඒ මාතෘකාව ඇතුළේම නොවන සංවාදයක්ය.නැත්නම් ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය පිණිස අවශ්‍යය වන සල්ලාපයක්ය.
“ක්‍රිකට් ආයතනය කියන්නෙ සල්ලි වැය කරන තැනක්.ඔවුන්ට මේ ක්‍රිකට් ගොඩදාන්න කරන්න තියෙන්නෙ රිසර්ච් යුනිට් එකක් හදන එක.මං හිතන්නෙ අනාගතයට ඒක හරි වැදගත්.”
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ යෝජනාව අලුත් මානයක්ය.


“පාසල් ක්‍රිකට් බලන්න.සමහර විට එහිදි කණ්ඩායමට එන්නෙ කවුද?දක්ෂතාවයම නොවන අම්මලා තාත්තාලා හේතුව හැටියට සිද්ධවෙන කතා කොච්චරක් තියෙනවද?ඔවුන්ගේ කෑම බලන්න.සමහර විට එක දරුවා බර්ගර් තුන හතර වේලකට ගිලිනවා.එහෙම වුණාම වැඩ නෙමෙයි වර්ධනය වෙන්නෙ, ලෙඩ.”
වෛද්‍ය බෙල්ලනට අනුව පාසල් ක්‍රිකට්වල සිට එහිදි ක්‍රීඩකයන් කණ්ඩායම්වලට එන ආකාරය වගේම ඔවුන්ගේ ආහාර රටාව පවා යම් නියාමනයකට යටත් විය යුතුය.මේ තත්ත්වය සිඳු නොවන තාක් මේ රටේ ක්‍රිකට් අනාගතයට දුර්වලයන් පෙරී දක්ෂයන් ඉතිරි වෙන ක්‍රමයක් වෙනුවට දක්ෂයන් පෙරි දුර්වලයන් ඉතුරු වෙන ක්‍රමයක් දකවා ක්‍රිකට් හි තත්ත්වය පිරිහෙන බව ඔහු පෙන්වා දෙන්නේය.
“හොඳ ශක්තිමත් ශරීරයක් නඩත්තු කර ගන්නත් හොද ශක්තිමත් ස්ථාවර විශ්වසනීය මනසක් අවශ්‍යය වෙනවා.තමන් කරන දේ නැත්නම් තමන්ගෙ හැකියාව ගැන ස්ථාවර හැඟීමක් විශ්වාසයක් මනුස්සෙක්ට තියෙන්න ඕනි.වෘත්තිය ජීවිතය ඇතුළෙ තිරණවලදි වැනි වැනි ඉන්න බැහැ.ක්‍රිකට් ක්‍රීඩකයාගේ වෘත්තීය ජීවිතයත් එහෙමයි.හිත ශක්තිමත් වුණාම තමයි ප්‍රතිවාදියා වට්ටන්න පුළුවන් පහරවල් හම්බවෙන්නෙ.ප්‍රතිවාදියාව වට්ටන්න පුළුවන් පන්දු යවන්න තරම් අධ්‍යයනයට අවශ්‍යය මානසික පරිසරයක් සකස් වෙන්නෙ.”
වෛද්‍ය බෙල්ලන පවසන කරුණු සම්බන්ධයෙන් ක්‍රිකට්මය නොවන මැදිහත්වීමක අවශ්‍යයතාවය දකිමින් සිටින අපි යම් එකඟතාවයක පසු වන්නෙමු.විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් සංගමය ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ආධාර ලබන සමූහයක් වන බැවින් අපි ශ්‍රි ලංකා ක්‍රිකට්වලට අනාගතය භාරගන්න සිටින ක්‍රීඩකයාගේ නිවැරදි වර්ධනයක් දක්වා යොමු කරන නියමානයක අවශ්‍යයතාවය දකිමු.
“දැන් බලන්න ක්‍රීඩකයො තරගවලට ගියහම සමහර වෙලාවට ක්‍රිකට් නොගහන එක ඇරෙන්න අනිත් හැමදේම කරලා වගේ තේරෙනවා නේද?ඒක සරල දෙයක්.සමහර විට ඉස්සර සමාජ මාධ්‍ය හෙම තිබුණ නිසා ඒවා රහස් හැටියට තියෙන්නත් ඇති.නමුත් එදා ඔවුන් ක්‍රීඩා පිටියට ආවම ඔවුන්ගේ බොඩි ලැන්ග්වේජ් එකේ තිබුණෙ පුදුම විශ්වාසයක් නේද?ඒ වගෙම අනිත් අය මානසිකව වට්ටන සුළු එකක්. දැන් මේ තත්ත්වය දකින්න තියෙන්නෙ ඇෆ්ගනිස්තානය බංගලාදේශය වගේ කණ්ඩායම්වල.ඔවුන් ටැලන්ට් එකට වැඩිය යූස් කරන්නෙ තමන්ගේ මානසික ස්ථාවරය,ආත්ම විශ්වාසය.අපි ඒක හදන හැටි හොයන්න ඕනි.පොඩි දරුවො ඉස්සරහට ගේන්න ක්‍රිකට් නියාමනයක් හදන්න ඕනි.ඒ සියල්ලටම අවංකව වැඩ කරන්න කැපවෙන්න ඕනි.”
වෛද්‍ය බෙල්ලනගේ අදහස් ක්‍රිකට් සම්බන්ධ පාර්ශවවලට යම් ආකාරයකින් 100% නිවැරදි සේ නොදැනෙන්න හැකිය.එහෙත් ක්‍රිකට් ගැන කතා කරන හැකියාව සහිත චරිත එක දිගට සිය හැකියාවෙන් ක්‍රිකට් සඳහා ලබා දෙන දායකත්වයේ යම් ගැටළුවක් පවතින බව බැහැර කළ නොහැකිය.බොහෝ පාසල් ක්‍රිකට් ගැන වෛද්‍ය බෙල්ලන පවසනාකාරයේ තිත්තා කතා මේ රටේ ක්‍රිකට් ගැන රස හොයන අයට දැනි ඇති බව ද විශ්වාසය.නමුත් ඒවා ඇත්ත ද කියා සොයා බලන වගකීමක් විධිමත් විමසීමක් දකින්නට නැත.ආහාරමය ගැටළුව ද බොහෝ විට අද වන විට සමාජ කථිකාවක් වි ඇති අතර එම ආහාර සංස්කෘතිය රටම ලෙඩ කරන උවදුරක්ව වැඩෙමින් තිබෙන බව ද අපි හැඳිනගෙන සිටින්නෙමු.නිරෝගී මනුස්සෙක් ක්‍රීඩා පිටියට අවශ්‍යය බව අපි කවුරුත් දන්නෙමු.ඒ නිසා වෛද්‍ය බෙල්ලනගේ අදහස් වත්මන් ක්‍රිකට් මත හෙළු ගල් නොව මල්දැයි සුවඳ විමසා බැලිය යුතුය.

සටහන -නිශ්මං රණසිංහ
