ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වී ඇත.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස වැඩි වී ඇති අතර ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
මේ අතර ඉරාන ධජය සහිත ‘Touska’ නෞකාව ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය ගත් තීරණය මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා තිබෙනබවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සටන් විරාමය පවතින කාලය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘත වුවද ඉරානය සහ ඇමරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය මත එය සාර්ථක කර ගැනීමට හැකි වී නැත.
ඒ අනුව MST Marquee ආයතනයේ පර්යේෂණ ප්‍රධානී සෝල් කැවොනික් පෙන්වා දෙන්නේ වර්තමාන තෙල් මිල තීරණය වන්නේ වෙළඳපොළේ සැබෑ තත්ත්වයන් මත නොව, ඇමෙරිකානු සහ ඉරාන නායකයන් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ සහ තර්ජන මත බවයි.


