ආණ්ඩුවේ බහුතරයෙන් විශ්වාසභංගය ජය ගත්තත් අන්තිමට ජනතා විරෝධයට යට වෙන්න සිදු වුණා – විපක්ෂ නායක සජිත්

අප්‍රේල් 20, කොළඹ LNW :

මේ මොහොත වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රයේ බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් ලක්විජය බලාගාරයට යොදාගන්නේ ප්‍රමිතියෙන් අඩු බාල ගල් අගුරු බවට සමගි ජන බලවේගය දත්ත සහිතව විද්‍යාත්මකව සහ තොරතුරු කේන්ද්‍රීයව ඉදිරිපත් කරන විට රජය විසින් මේ ගල් අගුරු ප්‍රමිතියෙන් ඉහළ බවට කියමින් ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලාගාරයේ වාර්තාවල තොරතුරු හා දත්ත බොරු බවට රජය පැවසුවත් අවසානයේ ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවේදී තමන්ගේ බලශක්ති ඇමතිවරයා විශ්වාසභංගයෙන් බේරා ගැනීමට කරුණු කාරණා ඉදිරිපත් කරමින් වාද විවාද කරමින් බාල ගල් අගුරු ජාවාරම තහවුරු කරන්නට බාල ගල් අගුරු ක්‍රියාදාමය තවදුරටත් සාධාරණීකරණය කරන්න කටයුතු කිරීම නිසා විශ්වාසභංග යෝජනාව බලශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ජයග්‍රහණය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට 153ක් ඡන්ද ලබා දුන්නත් ජනතාවගේ ප්‍රබල විරෝධතා ඉදිරියේ ජනතාවගේ දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න සිදුවූ බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කියා සිටියේ මේ ගල් අගුරු ගණුදෙනුව නිවැරදි යැයි වුවත් මේ බාල ගල් අගුරු ගැන විපක්ෂය දිගින් දිගටම පෙන්වා දී විදුලිය නියමිත පරිදි උත්පාදනය කරන්න නොහැකි බව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන් බවත් අවසානයේ ආණ්ඩුව විශ්වාසභංගය ජය ගත්තත් ජනතා විරෝධය ඉදිරියේ බලශක්ති ඇමතිවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම සුදුවැලි පැලැස්ස බක්මහ උළෙල සඳහා සහභාගී වීමෙන් අනතුරුව අන්දරගස් වැව රණසිංහ ප්‍රේමදාස පිරිවෙන් විහාරස්ථානයේ නායක පූජ්‍යපාද කිරුළපන සුද්ධම්ම ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ පෙරලිය සිදුවූයේ සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම ජනතාව නිවැරදි දත්ත හා තොරතුරුවලින් සවිබල ගැන්වූ නිසා බවත් මේ මොහොත වන විට බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් පුනර්ජනනීය බලශක්තියට රජය මරු පහරක් එල්ල කරන බවත් සූර්ය බලය හා පුනර්ජනනීය බලශක්ති පලුදු කර සූර්ය බලශක්තියට ආයෝජකයන් උනන්දු කරනවා වෙනුවට මේ තුළින් ආයෝජකයන් පළවා හැරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ඉන්ධන මාෆියාවේ සුවච කීකරු හවුල්කාරයන් බවට පත් වෙලා

අද වන විට වත්මන් රජය ඉන්ධන මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඉන්ධන මාෆියාවේ සුවච කීකරු හවුල්කරුවකු බවට පත්ව ඇති බවත් HSBC ආයතනයේ ප්‍රධාන නිලධාරීවරයකු අප රට ඉන්ධන මිල දී ගත් මිල ගණන් ගැන ප්‍රශ්න කරන බවත් මෙහි දී ඔහු පෙන්වා දෙන ආකාරයට වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට වැඩිපුර මුදලක් ඉන්ධන වෙනුවෙන් වැය කර ඇති බව පවසන බවත් මෙ රජය ඩීසල්වලට ගෙවන මුදල දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය විදුලි පාරිභෝගිකයා සේම ඉන්ධන පාරිභෝගිකයාත් අසරණ කළා

මේ නිසා අසරණ වන්නේ අප රටේ ඉන්ධන පාරිභෝගිකයා බවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා සේම ජාත්‍යනතර යුද්ධයක් ඇති මොහොතක නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවය තුළ අප රටේ ඉන්ධන පාරිභෝගිකයාට රජය කරන්නේ බරපතල අසාධාරණයක් බවත් ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන මත ඇති බදු අඩු කර පාරිභෝගියා ආරක්ෂා කළත් වත්මන් රජය බදු පිට බදු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වරායේ ගොඩබාන මිලට දෙනවා කිව්ව ඉන්ධනත් දැන් නැහැ

වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙනවා කිව්වත් අදටත් බදු ගසමින් ඉන්ධන මිල වැඩි කරන බවත් ඊට අමතරව මේ අවිනිශ්චිතභාවය උපයෝගී කර ගෙන වැඩි මිලට ඉන්ධන ගෙන ජනතාව පීඩාවට පත් කරන බවත් දැන් මේ කරුණ පවා හෙළිදරව් වී ඇති මොහොතක රජය මේ ආකාරයට බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි පාරිභෝගිකයා සේම ඉන්ධන පාරිභෝගියා අසරණ කරන්න එපා

රටේ ඇති එකම විකල්ප ආණ්ඩුව ලෙස මේ ඉන්ධන මිල දි ගැනීම විවෘත පදනමක් මත සිදු කර රටේ ජනතාවට විනිවිදභාවයෙන් යුත් ඉන්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ගල් අගුරු හරහා 75 ලක්ෂයක් විදුලි පාරිභෝගියන් අනාථ කළා සේ ඉන්ධන මිලදී ගැනීමේ දී මෙවැනි දේවල් සිදු කර ඉන්ධන පාරිභෝගිකයන් අසරණ කරන වංචාකාරි ක්‍රියා සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.