ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කල ස්ථාවරකරණ කමිටුව පිළිබදව කරුණු පැහැදිලි කිරීමට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (19) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා (Mr.Qais Al Dhalai) හමුවිය.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ එසේය.නමුත් අමාත්‍යවරයා බලාපොරොත්තු වන අභිවෘද්ධිය කුමක් ද යන්න පැහැදිළි නැත.ක්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවපු නාමල් රාජපක්ෂට තමන්ගේ පවුලේ ක්‍රීඩාව පවුලේ පදයට නටවන අයෙක්ගේ යටතට පත් කරන්නට ගත් පියවරකින් රගර් ආසියාවේ තහනම් විය.නමුත් එම තහනම ඉවත් කර ගැනිමේ දුර්වලතාවය පෙන්නුනුම් කරේ වත්මන් අමාත්‍යවරයා ය.නාමල්ගේ තහනම තාවකාලිකව ඉවත් කිරිමට අධිකරණය කටයුතු කර තිබිණ.එසේම එම තහනම නොතකා අලුත් නිල මඪුල්ලක් පත් කර ගන්නට ද ශ්‍රී ලංකා රගර් වෙත අධිකරණයේ අවසරය ලැබිණ.ඇතැම් කරුණු අධිකරණයට වාර්තා කරන ලෙස කීව ද ක්‍රීඩා අමාත්‍යංශය එය එක අතකින් අධිකරණයට දැණුම් දී තව අතකින් තහනම් කිරීමට ස්ථාවරකරණ කමිටුව නම් බොරුවක් අත අරින තෙක් පමා කළේය.
එසේම නඩුවක් හරහා තාවකාලිකව එම තහනම ඉවත් කර ඇති බව ලිඛිතව පවසා අධිකරණයේ තීන්දුව තෙක් ආසියානු තහනම ඉවත් කරන්නට ස්ථාවරකරණ කමිටුව පත් කර මං වැඩේ කරා කියන්නට ආසියානු සභාපතිවරයා බැහැ දකින්නට යන තරම් උවමනාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට නොතිබිණ.ඊට හේතුව අලුතෙන් දිවිම වෙනුවට ක්‍රිඩා අමාත්‍යවරයා යෂ්ටිය ගත්තේ නාමල් රාජපක්ෂ දුවපු දිවිල්ලේ ඉතිරි ටික ඒ විදිහටම ගෙවා දමන්නටය.එහිදී ජාතික ක්‍රීඩා සභාවට රගර්වලින් රොෂාන් රණසිංහ පත් කර ගන්නේ වත්මන් රගර් සභාපතිවරයා සමඟ සභාපති තනතුරට තරග කරන්නට උත්සාහ කර ඡන්ද නොමැති නිසා නිලවරණයෙන් ඉවත් වූ සහ අධිකරණය විසින් නව නිලවරණයක් පැවත්වීමට අවස්ථාව දුන් විට ඒ සඳහා නාම යෝජනා දෙන්නට සහ ස්ථීර කරන්නට අවශ්‍යය ක්‍රිඩා සමාජ සොයා ගැනීමට අසමත් වූ ලසිත ගුණරත්නය.
ඉතිහාසයේ ශ්‍රී ලංකා රගර් අපකීර්තියේ හිනි පෙත්තටම රැඟෙන ගොස් ලෝකය ඉදිරියේ පච කර ජාත්‍යන්තර සම්මේලනයේ තවමත් ගෙවා ඉවර නොමැති දඩයකට යටත් කළ අසංග සෙනවිරත්න අද ආසියානු සම්මේලනයේ ආසියානු සභාපතිවරයාගේ හිතවත්ම පුද්ගලයෙක් ලෙස එහි තනතුරක වැජඹෙන්නේය.ඒ එදා ද පසුව ද ක්‍රීඩා පණතේ ආගමන විගමන වරදකට ජාත්‍යන්තර සම්මේලනයකින් දඩයක් පැනවෙන් මට්ටමේ වරදක් කර පුද්ගලයෙක් ලෙස අසංගට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රියා නොකළ නිසාය.ඔහු එදා ශ්‍රී ලංකා රගර් කීර්තිය ගැන නොසිතා විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ධජය යටතේ පිටියට කැඳවීමට ක්‍රියා කළ අයුරෙන්ම මේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා තහනම පදනම් විරහිත බවත් රටේ අධිකරණය එය තාවකාලිකව නවතා ඇති බවත් පැවසුවේ නැත.එය අගතියට පත් කිරිමේ ආස්වාදය වින්දේය.
මේ අතර ශ්‍රී ලංකා සභාපතිවරයා සහ ආසියානු සභාපතිවරයා අතර පෞද්ගලික ගැටළුවක් මතු වී තිබිණ.අසංගගේ තාලයේ දේශප්‍රේමියෙක් ආසියානු සභාපතිවරයාගේ සමීපයේ සිටින විට එවැනි ගිණි පුපුරක් මහා ගින්නක් වීම අස්වාභාවික නැත.කෙසේ හෝ ආසියානු සභාපතිවරයා සේ පත් වන විට ශ්‍රී ලංකාවේ සභාපතිවරයාව සිට කයිස් අල් දලායි වෙත ඡන්දය භාවිතා නොකළ ලසිතත්,ඒ වැඩේට විරුද්ධ වූ අසංගත්, කයිස්ගේ පෞද්ගලික් කෝන්තරය නිසා කයිසුත් එක පිළකට පිවිස එම කණ්ඩායමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහත් එකට බඳවා ගත්තේය.
තමන්ට අවශ්‍යය පරිදි මිස ලෝකයේ පවතින නීති ප්‍රකාරව රටේ ක්‍රීඩාව සිඳුවිය යුතු බව නොසිතන ක්‍රීඩා අමාත්‍යවරයාට තමන්ගේ කාර්යාල දොරකඩ අනුග්‍රහයන් හිඟන්න,වෙනත් උපකාර යඳින්න නිතර නොඑන රගර් පෙණුනේ මහා ආඩම්භරකාර තමන්ව ගණන් නොගන්නා පාලනයක් ලෙස ය.ස්වාධින විම වෙනුවට තමන්ගේ පා ළඟ වැටි දුක කියන ස්වභාවයට කැමති අයෙක් සේ අමාත්‍යවරයා හඳුනා ගැනීමට හොඳම සහ පහසුම ක්‍රියා මාර්ගය මේ ටික කාලය තුළ ඔහුගේ අමාත්‍යංශයන් හී තනතුරු වගකීම් කී දෙනෙක් වෙත මාරු කර ඇද්ද යන්න සෙවීමය.
“මිනිස්ටර්ව ගණන් ගන්නෙ නැහැ.මිනිස්ටර්ට එන්න කියන්නෙ නැහැ.තනියෙන් ගේමක් ගහන්න හදන්නෙ”
මේ අමාත්‍යවරයාව පත්තු කරන්න ප්‍රමාණවත් වචනය.ඒ නිසා ඔහු ආසියානු සම්මේලනය අකමැති පුද්ගලයෙක් සිටීම අර්බූදයක් බව සිතන්නට පටන් ගත්තේ එය ආසියානු සම්මේලනය ජාත්‍යන්තරයට දැණුම් දී ජාත්‍යන්තර වශයෙන් රගර් තහනම් කළ හැකි තැනට නොයෑමට හේතුවක් තිබෙන බව නොතේරි නොවේය.ශ්‍රී ලංකා රගර් හි ස්වාධීනත්වය සහ ක්‍රීඩා අමාත්‍යවරයාට අනවශ්‍ය සේ සෑඹ දෙයකටම කරදර නොකිරීම ආඩම්බරකාරකමක් ලෙස තේරුම් ගැනීම නිසාය.එසේම රටේ මහා ජාතිය සිංහල ප්‍රධාන ආගම බුද්ධාගම සේ සළකන බව කී එළවා දමන ලද නායකයෙක්ගේ මඟ පෙන්වීම මත පත් ආණ්ඩුවක නියෝජිතයෙක් සේ තමන්ට ආසියානු සම්මේලන සභාපතිවරයාගේ මුස්ලිම්කමට වඩා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ මුස්ලිම්කමේ කුයිලක් නහයට අල්ලන්නට මිනිස්සු ද හිඟ නොවීය.
දැන් එක පියවරක් හමාරය.ආසියානු සභාපතිවරයාගේ පදයට නටපු හොඳම නැට්ටුවා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වි ඇත.ඒ නැටුම ගැන විචාර අසන්නට තුටු පඬුරු ප්‍රශංසා ලබන්නට ඔහු සභාපතිවරයා මුණ ගැසෙන්නට ද ගොස් ඇත.
“ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි මහතා එහි දී ප්‍රකාශ කළේය.”
මේ ක්‍රිඩා අමාත්‍යංයේ සටහනේ කයිස්ගේ අදහස ය.ඔහු නිවැරදිය.ඔහුගේ පෞද්ගලික අර්බූදය රටක් හැටියට ගෙන ක්‍රිඩා අමාත්‍යවරයා ඔහු වෙනුවෙන් විසඳා දී ඇත.එසේ නොවන්නට වන අර්බූදය කුමක් ද?
තරග සියල්ලම පවත්වා ඇත.ඒවාට අනුග්‍රාහකයන් සොයා ගෙන ඇත.නව තරග අරඹා ඇත.ප්‍රාදේශිය වශයෙන් තරගාවලි පවත්වා රගර් ව්‍යාප්ත කිරිමේ ක්‍රියාවලිය අරඹා ඇත.වයස් කාණ්ඩ අනුව මෙන්ම කාන්තා රගර් තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් ඇත.විනිසුරුවන් සහ තීරඛයන් ඇගයිම මෙන්ම දක්ෂතා පදනම් කරගෙන තෝරාගත් පිරිස් සඳහා විදෙස් තරග අත්දැකිම් ලබා දිම සඳහා පිඹුරුපත් සකසා ඇත.පත්වන විට තිබූ මහා ණය බර දෙගුණයකටත් වඩා අඩු කර ඇත.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් නව පුහුණු ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙවර ඉතිහාසයේ හොඳම දක්ෂතා සටහන් කර ඇත.
ඉහත දක්වා ඇති දේ අර්බූදද?
එසේම ස්ථාවරකරණ කමිටුවේ චූලා ධර්මදාස ඒ කාණ්ඩයේ ක්‍රිඩා සමාජවල ආධිපත්‍යය බිඳ වැටි ඇති බව වර්ථමාන රගර් කමිටුවේ කාර්යයක් සේ හුවා දක්වන්ට දෙන්නට උත්සාහ දරයි.නිලවරනයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ හැඩය පළමුවරට වෙනස් වන්නේ ශ්‍රී ලංකාවේ රගර් ව්‍යාප්තිය සඳහා සංවර්ධන සැළසුමක් ඉදිරිපත් කරන්නට පැමිණි නවසිලන්ත ජාතික ජෙෆ් පැටර්සන්ගේ වාර්තාවට අනුවය.එය නැවත වෙනස් වි ඇත්තේ ද වත්මන් පාලනය යටතේ නොවේය.මේ අතර ව්‍යාප්තිය සඳහා ජාත්‍යන්තර සම්මේලනයෙන් ලැබුණ ආධාරවලට සිඳු වූයේ කුමක් ද යන්නත් චූලා හෝ ඇමති කියන්නේ නැත.නමුත් මේ විසුරුවා හරින ලද පරිපාලනය ඊට අත තබා ඇත.ඔවුන් ඒ සඳහා වෙනම ආකාරයකට ජාත්‍යන්තර වශයෙන් ද ද්වි පාර්ශවික ගිවිසුම් මඟින් තමන්ට අවශ්‍යය අනුග්‍රහයන් සොයා ගත්තේ ආසියානු සභාපතිවරයාගේ තහනම ලෝකයට අදාළ නැති බවට සාක්ෂි පෙන්වමින්ය.
මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු නොවුණු පැති කිහිපයක් ඇත.ඔහු නිකුත් කළ නිල නිවේදනයට අනුව අධිකරණයෙන් ගත් තින්දු සහ අධිකරණයේ විභාග වෙමින් පවතින කරුණු සිය අමාත්‍ය ධූරයේ බලයට යටත් කර තිබෙන බවක් දැකිය හැකිය.ඒ ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියේ දුප්පත්කමය.චක්‍රලේඛ තයි මම කියන දේ මමයි ජනාධිපති කි පුද්ගලයෙක් සහ ඒ පරම්පරාව දේවත්වයෙන් අදහමින් කටයුතු කරන දේශපාලනයක නියෝජිතයෙක්ට තමන්ගේ බලය නීතියට එහා යන දෙයක් බව සිතිමේ රෝග ලක්ෂණ තිබිය හැකිය.
එසේම ආසියානු විධායක සභාව සභාපතිවරයාගේ කිමට කටයුතු කර ඇති බවක් හා චූදිත පාර්ශවයෙන් කරුණු විමසිමක් කර නැති බවත්,චෝදනා පත්‍රයක් ලබා දි නැති බවත් මේ වන විට ආසියානු සම්මේලනයේම විභිගයට ගැනිමට නියමිතව ඇති කරුණකි.ආසියානු සම්මේලනයෙන් පනවන තහනමක් වේ නම් එය සාධාරණ එකක්නම් ජාත්‍යන්තර සම්මේලනයෙන් ද අනුමත විය යුතු අතර ජාත්‍යන්තර සම්මේලනය දිගටම ශ්‍රී ලංකා රග්බි සමඟ සුහදව කටයුතු කළ අතර ඉදිරියේදි ආසියානු සභාපතිවරයාගේ හැසිරිම ගැන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද වෙනත් ආකාරයකින් විභාගයට ගනු ඇත.
මේ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු සභාපතිවරයාගේ පදවලට නටන නැටුම්වල පද කස්තිරම් වැරදෙන්නට ඉඩ ඇත.එසේම ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය ද පළමු කොට තමන්ගේ අභිමතයන් සහ තීරණ තීන්දු නොසළකා කටයුතු කර ඇද්දැයි ඉදිරියේ දි සළකා බලනු ඇත.නීතියට නොනැමෙන ඇමතිවරයෙක් වුවහොත් එය ජනමතය පදනම් කර ඇමති ධූරය රකින්නට සුදුසු දෙයක් වේ දැයි සමහර විට ජනාධිපතිවරයා කල්පනා කරනු ඇත.කෙසේ වුව අප එක දිගටම මේ ඡායාරූපයෙන් දකින නැටුම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අර අඳින බව කීවේය.දැන් හැංගි හැංගි වෙස් බැදීම නිමා වි ඇත.එළිපිට නැටුම කෙතරම් අශෝභන ද යන්න ක්‍රීඩාවට පමණක් නොව ක්‍රිඩා අමාත්‍යවරයාගේ දේශපාලනයට ද තීරණාත්මක එකක් වනු ඇත.වසර සිය ගණනක් පැරණි අභිමානවත් ඉතිහාසයක ඇති පළුදු කිරිම්වලට උර දුන්න මඟ කීව පිරිස් සමඟ ආසියානු සභාපතිවරයාගේ උවමනාවන් සමඟ ඇමතිවරයා තමන්ගේ දේශපාලන බලය යොදාගෙන තවත් වරක් ශ්‍රී ලංකාවේ රගර් ගමන්මඟ පළුඳු කර ඇත.

සටහන – නිශ්මං රණසිංහ
