දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනපති

රෂිකා හෙන්නායක අප්‍රේල් 22, කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා නියමිත රුපියල් ලක්ෂ පහක වන්දි මුදල මැයි මාසය අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස මෙහිදී අවධාරණය කෙරිණි.

පූර්ණ හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් හෝ නව නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය ද මෙම සාකච්ඡාවේදී විමර්ශනයට ලක් විය.

දැනට සහන කඳවුරුවල රැඳී සිටින පිරිස් සඳහා තාවකාලික ලැගුම්හල් කඩිනමින් සකස් කිරීමටත්, අවදානම් කලාපවල වසන ජනතාව සුරක්ෂිත ස්ථානවල පදිංචි කරවීමටත් මෙහිදී තීරණය කර ඇත.

නිවාස අහිමි වූවන් වෙනුවෙන් ඉදිරියේදී නව නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මෙම සමස්ත ක්‍රියාවලිය හරහා විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සහ නිවාස අවශ්‍යතා කඩිනමින් සපුරාලීම රජයේ මූලික අරමුණයි.