ඇමෙරිකාව වෙනුවෙන් සටන් කළත්, අවසානයේ පිටුවහල් වීමේ බිය: සෙබළුන් මුහුණ දෙන අමිහිරි සත්‍යය

රෂිකා හෙන්නායක අප්‍රේල් 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බෙනිටෝ මිරැන්ඩා හර්නන්ඩස් (Benito Miranda Hernandez) යනු ඉරාක යුද්ධයේදී තුන් වතාවක් සටන් බිමට ගිය ඇමෙරිකානු නාවික හමුදා සෙබළෙකි. අද ඔහු සැන් ඩියාගෝහි වාහන නැවැත්වීමේ ස්ථානයක සේවය කරමින්, සිරගතව සිටීමෙන් පසු නැවත සමාජගත වීමට උත්සාහ කරයි. එහෙත්, යුද බිමේදී සතුරන්ට මුහුණ දුන් ඔහුට අද මුහුණ දීමට සිදුව ඇත්තේ ඊට වඩා බියකරු යථාර්ථයකටය. එනම්, තමන් සිය ජීවිතය පරදුවට තබා ආරක්ෂා කළ රටින්ම, ඕනෑම මොහොතක තමන්ව අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ඇතැයි යන බියයි.

ඇමෙරිකානු ධජය යටතේ දිවි පිදීමට පවා සූදානම්ව සිටි දහස් සංඛ්‍යාත සංක්‍රමණික සෙබළුන් පිරිසක් අද මෙවැනිම අර්බුදයකට මුහුණ දී සිටිති.

පුරවැසිභාවය නැතිව රට වෙනුවෙන් සටන් කරන දසදහස් ගණනක්

බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඇමෙරිකානු හමුදාවට බැඳුණු පමණින් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ඉබේම හිමිවන බවයි. නමුත් සත්‍යය එය නොවේ. 2022 දත්ත අනුව, ඇමෙරිකානු හමුදාවේ සේවය කළ සෙබළුන්ගෙන් 731,000 ක් පමණ සංක්‍රමණිකයන් වන අතර, ඉන් 118,000 කට පමණ තවමත් ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවී නැත. හමුදා සේවයට ඇතුළත් වූ පමණින් පුරවැසිභාවය නොලැබෙන අතර, එය අතිශය සංකීර්ණ සහ කාලය ගතවන නීතිමය ක්‍රියාවලියකි.

බෙනිටෝ හර්නන්ඩස් සිය අත්දැකීම තුළින් විදහා දක්වන්නේ මෙලෙසිණි.

“මම මේ මල ඉලව් රට වෙනුවෙන් මැරෙන්න පවා සූදානම් වෙලා හිටියේ… මම මේ රට වෙනුවෙන් යුද්ධයට ගියා. දැන් ඔයාලා හදන්නේ මාව පිටුවහල් කරන්නද?”

යුද බිමේදී මඟ හැරෙන පුරවැසි සිහිනය

ඇමෙරිකානු රජය යුද සමයේදී සේවය කරන සෙබළුන්ට “කඩිනම් පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියක්” (expedited naturalization) පොරොන්දු වුවද, ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක වීමේදී පද්ධතියේ ඇති දෝෂ නිසා බොහෝ දෙනෙකුට එම අවස්ථාව මඟ හැරී ඇත.

එඩ්වින් සල්ගාඩෝ (Edwin Salgado) වැනි සෙබළුන්ගේ අත්දැකීම් මෙයට කදිම උදාහරණයකි. 2003 වසරේදී ඔහු ඉරාක නිදහස් මෙහෙයුම සඳහා කුවේට් රාජ්‍යයට යෙදවීම (deployment) නිසා, ඔහුට සිය ප්‍රතිරූප සටහන් හෙවත් ඇඟිලි සලකුණු ලබාදීමේ වේලාව (fingerprinting appointment) මඟ හැරී ගියේය. එම සුළු පරිපාලනමය බාධාව ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළේය. බෙනිටෝ හර්නන්ඩස්ගේ තත්ත්වයද එසේමය; 9/11 පසුබිම මත දැඩි වූ පරීක්ෂණ නිසා ඔහුගේ සම්මුඛ පරීක්ෂණය වසර දෙකකින් ප්‍රමාද වූ අතර, ඒ වන විට ඔහු සේවයෙන් ඉවත්ව සිටීම සහ සුළු වරදකට දඬුවම් ලබා සිටීම නිසා ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය. මෙය පෞද්ගලික අතපසුවීමකට වඩා, යුද බිමේ සිටින සෙබළාගේ තත්ත්වය වටහා නොගත් නිලධාරිවාදී අසාර්ථකත්වයකි.

මෙය් මනුෂ්‍යත්වයේ ඛේදවාචකයකි. යුද්ධයෙන් පසු නැවත පැමිණෙන සෙබළුන් බොහෝ දෙනෙක් පශ්චාත් ව්‍යසන මානසික ආතතිය (PTSD), මොළයට සිදුවන තුවාල (TBI) සහ වෙනත් මානසික පීඩාවලින් පෙළෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය වැනි වැරදිවලට පෙළඹීමේ ප්‍රවණතාවක් පවතී. දත්ත පෙන්වා දෙන පරිදි, සෙබළුන්ගෙන් තුනෙන් එකක් පමණ සිය ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් අත්අඩංගුවට පත්වේ.

මෙතැනදී වඩාත් භයානක වන්නේ 1996 වසරේදී සම්මත වූ “නීතිවිරෝධී සංක්‍රමණ ප්‍රතිසංස්කරණ සහ සංක්‍රමණික වගකීම් පනත” (Illegal Immigration Reform and Immigrant Responsibility Act) යන්නයි. මෙම නීතිය හරහා, අවිහිංසාවාදී සුළු වැරදි පවා පිටුවහල් කිරීමට හේතු වන “දැඩි වැරදි” ලෙස වර්ගීකරණය විය. යුද්ධය නිසා මානසිකව ඇද වැටී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සෙබළා සහ භයානක අපරාධකරුවා අතර කිසිදු වෙනසක් මෙම නීතිය මඟින් සිදු නොකෙරේ. මෙය රට වෙනුවෙන් සේවය කළ පිරිසකට පද්ධතිය විසින්ම අටවන ලද මාරාන්තික නීතිමය උගුලකි.

දේශපාලන වෙනස්වීම් හමුවේ අසරණ වන සෙබළුන්

2025 සහ 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක වන දැවැන්ත පිටුවහල් කිරීමේ මෙහෙයුම් හමුවේ මෙම සෙබළුන් සිටින්නේ දැඩි අනාරක්ෂිත භාවයකය. 2026 ජනවාරි වන විට පුද්ගලයන් 675,000 ක් පමණ බලහත්කාරයෙන් පිටුවහල් කර ඇති බව වාර්තා වේ. පාලකයින් පවසන්නේ “නරකම පුද්ගලයන්” (worst of the worst) පලවා හරින බව වුවද, යථාර්ථය නම් PTSD වැනි තත්ත්වයන් නිසා සුළු වැරදි කළ හිටපු සෙබළුන්ද මෙම මෙහෙයුම්වලට ගොදුරු වීමයි.

මීට පෙර මානුෂීය පදනම මත ලබා දුන් “මානුෂීය සමාව” (Humanitarian Parole) වැනි සහන පවා වත්මන් දේශපාලන වාතාවරණය යටතේ සීමා කර ඇත. එඩ්වින් සල්ගාඩෝ වැනි සෙබළුන් වසර ගණනාවක් රටට කළ සේවය නොසලකා හරිමින්, විනිසුරුවන් පවසන්නේ ඔවුන් “සමාජයට අනතුරක්” බවයි. මෙවැනි වාචාල සටන් පාඨ පිටුපස සැඟවී ඇති සැබෑ මානුෂීය ඛේදවාචකය අතිශය කම්පිත සහගතය.

“කිසිවකුත් හැර දමා නොයන්න” – හමුදා ආදර්ශ පාඨය බිඳවැටීම

ඇමෙරිකානු හමුදාවේ මූලික පදනම වන්නේ “Leave no man behind” (කිසිම සගයෙකු තනි කර නොයන්න) යන්නයි. එහෙත් රජය විසින් සිදුකරන මෙම පිටුවහල් කිරීම් එම පදනම සුනුවිසුනු කර දමයි. 2019 වසරේදී GAO (Government Accountability Office) ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමෙරිකානු සංක්‍රමණික සහ රේගු බලධාරීන් (ICE) පිටුවහල් කරනු ලබන පුද්ගලයින්ගේ හමුදා සේවා පසුබිම පිළිබඳව නිසි දත්ත පවා පවත්වාගෙන යන්නේ නැත.

එඩ්වින් සල්ගාඩෝ පවසන පරිදි:

“මැරීන් බලකායේදී අපට ඉගැන්නුවේ කිසිම සගයෙකු තනි නොකරන්න කියායි… නමුත් අද අපව තනි කර තිබෙනවා.”

පිටුවහල් කරන ලද සෙබළුන්ට තමන්ට හිමිවිය යුතු සෞඛ්‍ය පහසුකම් (veterans’ benefits) ලබා ගැනීමට පවා දැඩි බාධා පවතී. ඔවුන් බොහෝ වරප්‍රසාද සඳහා සුදුසුකම් ලැබුවද, ඒවා ලබා ගැනීමට ඇමෙරිකාව තුළ පෞද්ගලිකව පෙනී සිටිය යුතුය (in-person evaluations). රටින් පිටුවහල් කළ පසු මෙය භෞතිකව කළ නොහැකි දෙයක් වන අතර, එමඟින් ඔවුන්ට හිමිවිය යුතු අවසන් උපකාරයත් අහිමි වී යයි.