සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 26, කොළඹ (LNW): දේශපාලනය අවසාන වශයෙන් කිසිඳු මිනිසෙකුට අසාධාරණයක් නොවන සොඳුරු තැනෙක තිබිය යුතුය.ඒ ආකාරයට ක්‍රීඩාවේදී එම දක්ෂ මානව සම්පත්වලට කුමන පසුබිමක දී වුව ලෝකය ඉදිරියේ සිය දස්කමට අදාළ ගෞරවය ලැබිය යුතුය.ඒ සඳහා ලෝකයේ කුමන අන්දමේ පිඩාවන්ට ලක්වන ක්‍රිඩාවේ දක්ෂයන්ට සිය මව්රටෙන් අවස්ථාවක් නොලැබෙන්නේනම්,ඔවුන්ට ජාත්‍යන්තර ඔලිමිපික් ධජය යටතේ දස්කම් දක්වන්න වැඩ පිළිවෙළක් සැකසී ඇත.සරණාගත ඔලිම්පික් කණ්ඩායම නමින් ඔව්හූ ඔලිම්පික් නියෝජනයට පිවිසෙති.ඒ වැඩ පිළිවෙල යටතේම තවත් පියවරකදී ඔවුන්ට රැකවරණය දෙන්නට නියෝජනය කරන්නට රටක් සහ රටක ජාතික කොඩියක සෙවණක් ලබා දීම ද එම වැඩ පිළිවෙලේ දිගුවක් හැටියට දකින්නට හැකිය.
අලුතින්ම මේ වරප්‍රසාදය ලද්දී ඉරානයෙන් පලා ගොස් දේශපාලන රැකවරණ පැතූ කිමියා අලිෂාදේහ් ය. ඇය ඉරානය වෙනුවෙන් පළමු ඔලිමිපික් පදක්කම දිනා දුන් කාන්තාව වූවාය.ඒ ඇයට වයස 18 දී ටෝකියෝ ඔලිමිපික් උළෙලේ දී කිලෝ ග්‍රෑම් 57 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්ය.
ඒත් ඇය ඉරානයට ගෞරවණීය ජයග්‍රාහිකාවක ලෙස වැදගත් නොවිණ.ඇය කාන්තාවක ලෙස ප්‍රතික්ෂේප වන තැනම පසු වූවාය.ඒ නිසා 2020 දී ඇය එරටින් පලා යන්නීය.ඒ පළායාමේ ප්‍රතිපලයක් ලෙස ඇයට ටෝකියෝ ඔලිමිපික් උළෙලට 2021 දී එන්නට වන්නේ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින්ය.එහෙත් ඇයට 2021 දී පැවති එම ඔලිම්පික් උළෙලේ දි පදක්කමකට යාමට නොහැකි විය.ඒ නිසා සරණාගත කණ්ඩායම හරහා පළමු පදක්කම දිනූ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එකතු වෙන්නට කිමියාට ඉඩ නොලැබිණ.
දැන් තත්ත්වය වෙනස්ය.ඇයව බල්ගේරියානු පුරවැසිනියක ලෙස මේ වන විට පිළිගෙන අවසන්ය.ඒ නිසා මෙවර කිමියා ඔලිමිපික් නියෝජනය සඳහා පැරිස් නුවරට එන්නේ බල්ගේරියානු පුරවැසිනියක ලෙස ය.ඇයගේ දක්ෂතා ගෝත්‍රික සමාජයන් තුළ වැලලෙන්නට නොදී රැක ගත් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට මෙන්ම බල්ගේරියාවට ද මනුස්සකමේ ආදරණීය සුබ පැතුම් පිළි ගන්වන්නෙමු.
කිමියා සහභාගි වන තෙවන ඔලිම්පික් උළෙල මෙය ය.පළමු උළෙලට ආවේ ඇය ඉරාන ඔලිම්පික් ධජය යටතේය.දෙවැන්නේ දී ඇය නියෝජනය කළේ සරණාගත කණ්ඩායමය.ඒ නිසා ඇය වෙනුවෙන් එසැවී තිබුණේ සරණාගත ධජය ය.මේ තෙවන අවස්ථාවය.මෙවර බල්ගේරියා ධජය ය.ඇය ඔලිම්පික් උළෙල තුනට සහභාගි වන්නේ කණ්ඩායම් තුනක් යටතේ ධජ තුනක සෙවණේය.එයත් අපූරු වාර්තාවකි


