*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අජිත් රෝහණගේ විරෝධය සහ කතාවේ අනෙක් පැත්ත

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ඊයේ (25) දිනයේදී ස්ථාන මාරුවීම් ලබාදී තිබුණු අතර එහිදී තමන්ට ලැබුණු ස්ථාන මාරුව අසාධාරණ සහ අහේතුක බව සඳහන් කරමින් සහ එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත චෝදනා කරමින් දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යවා තිබිණි.

එමෙන්ම මෙම ස්ථාන මාරු නියෝගය නීතිවිරෝධී බැවින් තමන් එය ක්‍රියාත්මක නොකරන බවත් අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බවත් අද දිනයේ මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධියට අදාළ කරුණු පිළිබඳව තමන්ගේ පැත්තේ කතාව අජිත් රෝහණ මහතා ඉතා කෙටියෙන් සිය ලිපියේ සටහන් කර තිබුණු අතර සෑම කතාවකටම දෙපැත්තක් ඇති නිසා අපි මේ පිළිබඳව පොලිස් ආරංචිමාර්ග ඔස්සේ ද යම් විමසීමක් කළෙමු. එහිදී අසන්නට ලැබුණු කරුණු අනුව කතාවේ අනෙක් පැත්ත මෙසේය.


අජිත් රෝහණ මහතා සිය ලිපියේ දක්වා ඇති අන්දමට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ (SDIG) රැස්වීමක් පසුගිය 18 වනදා පවත්වා ඇත. එම රැස්වීමට පෙර අජිත් රෝහණ මහතා කිසියම් ලිපියකට සියලුම SDIG වරුන්ගේ අත්සන් එකතු කිරීමට උත්සාහ දරා ඇතත් සෙසු SDIG වරුන් ඊට අත්සන් තැබීමට එකඟ නොවීම නිසා එය සාර්ථක වී නැත.

පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද සහභාගීත්වයෙන් යුතුව 18 වනදා පැවති රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දී ඇත්තේ ඇතැම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එකිනෙකාට ඇඟිල්ල දිගුකරගනිමින් සිදුකරගෙන යන ක්‍රියාකලාපය ඉතාම අප්‍රසන්න එකක් බැවින් වහාම එය නැවැත්විය යුතු බවයි. අමාත්‍යවරයා වශයෙන් තමන්ට ද එය ලැජ්ජාවක් බව ටිරාන් අලස් මහතා එහිදී පැවසූ බව සඳහන්.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ද එහිදී දේශනයක් කරමින් රාජකාරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම ලිපිවලට අත්සන් එකතු කිරීම වැනි ක්‍රියාවන් අනවශ්‍ය දෑ බවත්, ඕනෑම නිලධාරියෙකුට සෘජුවම තමන්ව අමතා ගැටලු ගැන කතාකිරීමේ හැකියාව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ තමන් එම ලිපිය සකස් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව බවකි. නමුත් පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ තමන් උපදෙස් දුන්නේ පොලීසියේ දියුණුව සඳහා වන යෝජනාවලියක් සකස් කිරීමට පමණක් බවට ය.

මීට අමතරව මෙම රැස්වීමේදී පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට භාජනය වී ඇති අතර එහිදී SDIG වරුන් කිහිපදෙනෙකුම පෙන්වා දී ඇත්තේ මීටපෙර පොලිසිය තුළ ක්‍රියාත්මක වුණේ ජ්‍යේෂ්ඨත්වය අනුව එක් එක් පළාත් සඳහා SDIG වරුන් පත්කිරීමේ ක්‍රමවේදයක් බවත් ඒ අනුව ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් උතුරු – නැගෙනහිර වැනි පළාත්වලටත්, ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් බස්නාහිර – මධ්‍යම පළාත්වලටත් පත්කෙරුණු බවත් මේ වනවිට එම ක්‍රමවේදය නැවතී ඇති බවත් ය. එම ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා එහිදී එකඟ වී ඇත.

අජිත් රෝහණ මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇති ආකාරයටම මෙම රැස්වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දකුණු පළාතේ මිනීමැරුම් ඇතුළු අපරාධ ඉහළ ගොස් ඇති බවත් අජිත් රෝහණ මහතාට එම පළාත පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පොලිස්පතිවරයා තමන්ට දැනුම් දී ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දී ඇත.

එම සාකච්ඡාවෙන් පසු දිනක පළාත් භාර SDIG වරුන් පත්කිරීම සම්බන්ධයෙන් 18 වනදා කතාබහට ලක්වූ ආකාරයම පොලිස්පතිවරයාගේ ද සහභාගීත්වයෙන් යුතුව ජ්‍යේෂ්ඨත්වය අනුව SDIG වරුන්ගේ ලැයිස්තුවක් සකස් කර ඇත. ශ්‍රී ලංකා පොලිසියට සිටින්නේ SDIG වරුන් 13 දෙනෙකු වන අතර අජිත් රෝහණ මහතාට එම ලැයිස්තුවෙහි හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි. ඔහු වැඩබලන SDIG වරයකු වශයෙන් පත්වූයේ ද 2021 ජුලි මාසයේදී ය.

ඒ ආකාරයෙන්ම රාජකාරි සංකීර්ණත්වය අනුව පළාත් ලැයිස්තුවක් ද සකස් කර ඇති අතර බස්නාහිර පළාත මුලටමත් මධ්‍යම, දකුණ යනාදී වශයෙනුත් එම ලැයිස්තුව සකස්ව ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ.

අනතුරුව එම ලැයිස්තු දෙක අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සකස් කර ඇති අතර ජ්‍යේෂ්ඨත්වය අනුව 10 වැනි ස්ථානයෙහි පසුවූ අජිත් රෝහණ මහතාට එහිදී නැගෙනහිර පළාත හිමිව ඇති බවත් පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

එම ලැයිස්තුව අනුව පළාත් නවයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් 5 දෙනෙකුට ස්ථානමාරු ලැබී තිබුණු අතර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ විෂයයන් වෙනස් වී තිබිණි.

මෙම ක්‍රමවේදය අනුව කලකට පසු පළමු වරට ජ්‍යේෂ්ඨත්වය අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තනතුරු හිමිවීම සම්බන්ධයෙන් ඔවුන් සැලකිය යුතු පිරිසකගේ ප්‍රසාදය පළවී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.


මධ්‍යම පළාත භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජාතික පොලිස් කොමිසමට ලිපියක් යොමුකර ඇති බව අද (26) දහවල් වනවිට මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් පොලිස්පති තනතුර සඳහා වන තරගය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් පැතිර යන මට්ටමකට ළඟා වී ඇතැයි පැහැදිලිවම පෙනෙන අතර එය කිසිසේත්ම සුදුසු දෙයක් නම් නොවේ. ජ්‍යේෂ්ඨත්වය සහ රාජකාරි සුදුසුකම් මත විනා ලයික්, කමෙන්ට්වලට පොලිස්පතිකම් බලාපොරොත්තු වීමම විකාර සහගත සහ අවාසනාවන්ත තත්වයකි.

~ දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan