නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:
ජපාන රග්බි පාපන්දු සංගමයේ සභාපති කෙන්සුකේ ඉවාබුචි 2024 දෙසැම්බර් 21 සිට 2025 ජනවාරි 9 දක්වා දිනවල, ආසියා රග්බි EXCO සාමාජිකයින් අත්සන් කළ යුතු ලියකියවිලිවල අන්තර්ගතය, එනම් (අ) හෙළිදරව් නොකිරීමේ ගිවිසුම, (ආ) විධායක කමිටු රැකියා ප්‍රකාශනය සහ (ඇ) රග්බි ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආදායම් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පාදක කරගෙන, ඒ මහතා ආසියානු රග්බි විධායක කමිටුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජපානය ලෝක රග්බි සංවිධානයට ඉදිරිපත් කළ විරෝධතාව සමාලෝචනයට ලක් කර ඇත.එහිදී නිගමනය වී ඇත්තේ ඉවාබුචි ඒ ආකාරයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ බවය.එය යහපාලන ක්‍රියාවක් බව ද නිරීක්ෂණය වී ඇත.
යමක් ප්‍රශ්න කිරීම සාධාරණ යන්නෙහි යටි පෙළෙන් කියවෙන්නේ ප්‍රශ්න කිරීමට අසාධාරණ නිමිත්තක් හඳුනා ගැනීමට තිබුණේය යන්නය.එසේනම් මේ සාධාරණ පුද්ගලයාට වූ අසාධාරණය වෙනුවෙන් එරට පෙනී සිටීම මෙහි වැදගත්ම කාරණය වන්නේය.ආසියානු සභාපතිට එරෙහිව මෙරට පවතින නීතියටවත් යා නොහැකි බව පෙන්වමින් රජය ද නොමඟ යවමින් වැඩ කරන ලංකාවේ රජයේ ඇතැම් නිලධාරීන් යටහත් පහත් හැසිරීමටත්,ඒ අයට අවනත වන දේශපාලකයාගේ බුද්ධි හීනතාවයටත් ජපානය උගන්නන්නේ හොඳ පාඩමක්ය.
ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා රස කරන කියන පවුම් 50000 සිඳුවීම පිටුපස සිටින නිලධාරි අද සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා සමග සතුටු සාමිචි සහ සාද පවත්වන සහ අමාත්‍යවරයාට උපදෙස් දෙන තැනය.ලංකාවේ රගර්වලට ආසියාව පළිගන්නට පටන් ගන්න සිඳුවිම ඇති වන්නේ කවුරුත් දන්නා පරිදි රිස්ලි ඉල්ලියාස් සමඟ ඇති කර ගත් ගැටුමෙන් නොවේය.එහි මුල යන්නේ ආසියානු සභාපති කයිස් අබ්දුල්ලා අල් දලායි සභාපති තනතුරට පත් වෙන පළමු මොහොතේ ශ්‍රී ලංකාව උදව් ආධාර ද ලබා ගෙන ඔහුට ඡන්දය නොදීම හේතුවෙන්ය.එවකට සභාපතිව සිටියේ ලසිත ගුණරත්නය.ලසිත ඒ දේ නොකළ යුතු බවට තර්ක ඉදිරිපත් කළේ කයිස්ගේ මිත්‍රයා අසංග සෙනවිරත්න සහ රිස්ලි ඉල්ලියාස් ය.
එහෙත් ලසිතට යන්න වී ඉල්ලියාස් එතැනට එන විට අසංගට කයිස්ගේ මිත්‍රත්වය උඩ තනතුරක් ලැබී තිබිණ.අසංග පවුම් 50000 සිඳුවීමට වගකිව යුතු පරිපාලනයේ සභාපතිවරයා වූ බැවින් ඔහුට ලංකාවේ රගර් ඡන්ද ඇතුළේ තිබුණේ කළකිරුණු ප්‍රතික්ෂේප කිරීමක්ය.ඒ අවස්ථාවේ අසංගලා එවැනි ජාතියට අපහාස වන තීරණ ගනිමින්,ඉහළ නංවන්නට උත්සාහ කළ රාජපක්ෂ පවුලේ කීර්තිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති වූ පසුව කළගුණ සළකන්නට විය.
එහි එක මොහොතක පැවති පරිපාලනයට උඩින් ආසියානු සභාපතිද හවුල් කර ගනිමින් අසංගගේ සභාපතිත්වයෙන් උපදේශක කමිටුවක් දැම්මේය.එයට ව්‍යවස්ථාපිතව රටේ නීතියට එකඟ පරිපාලනය එකඟ නොවිණි.එපමණක් නොව දේශිය අනුග්‍රාහකයා නාමල් රාජපක්ෂගේද අනුග්‍රහය ඇතුව ආසියාවට උදව් කරන්න කැඳවාගෙන ගියේ නාමල්ට ප්‍රධාන ආරාධිතයා වීමේ කැරට් අලයද කවාය.
මේ ආකාරයට අමාත්‍යවරයා ලෙස නාමල් සමඟ ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා රගර් පරිපාලනයට එපිටින් ගෙන යනු ලබන ක්‍රියාකාරකම ප්‍රතික්ෂේප කරමින් රටේ රගර් ක්‍රීඩාවේ පරිපාලන ස්වාධීනත්වය නොසළකා හරිමින් කරනු ලබන දේශපාලන බලපෑමට එරෙහිව පෞද්ගලික වට්ස්ඇප් සංවාදයකදී ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ සභාපතිවරයා දොස් පැවරීය. අතිශයින් පෞද්ගලික කාරණාවකදී මේ දොස් පැවරුම සිඳු වුව ද,ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ජපාන රග්බි පාපන්දු සංගමයේ සභාපති කෙන්සුකේ ඉවාබුචි ආසියානු සභාපතිවරයාගේ නොමනා බලපෑම ආසියානු විධායක සභාවට ගෙනෙනු ඇතැයි සැක පහළ කරමින් ශ්‍රී ලංකා සභාපතිවරයාටත්,ශ්‍රී ලංකා රගර් පරිපාලනයටත් දිගින් දිගටම බාධා ඇති කළේය.
හොඳම වැඩේ ඒ බාධාවන්වලට හේතු මවා ගනිමින් නාමල් ද,නාමල් අරගලය නිසා ඉවත්ව යන්නට වූ පසු ඇමතිවරුද ආසියානු සභාපතිට එකඟ වෙමින්,ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය තහනම් කරමින්,ආසියානු සභාපතිගේ පදයට නටමින් විකාර කිරීමය.අරගලය පාදක කරගෙන ප්‍රධාන වශයෙන්ම බලයට ඒමට පාර කැපුණු වත්මන් ආණ්ඩුව එහි හොඳම හරිය කරමින් වැරදිවලට පාර්ලිමේන්තුවේ විරුද්ධව කතා කරන අතරේම ඉන් පිටතදී රෙදි නැතුව පෙනී සිටීම ද සිඳුවෙමින් ඇත.ජපායේ මැදිහත්වීම සිඳුවන්නේ මේ පසුබිම යටතේය.ජපානය දියුණු සහ ලංකාව නොදියුණු වන්නට ස්වීය රටේ ස්වාධීනත්වය ගැන සිතනාකාරය මෙන්ම සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට ඇති නිර්භීතභාවය මෙන්ම ජාතිකත්වයට දෙන වටිනාකම ද හේතු වන්නේය.
ස්වීය රටේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයා නිවැරදි පරීක්ෂණ වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් හෝ නැතුව ඉවත් කිරිම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටින්නට ජාත්‍යන්තර සම්මේලනවලට දන්වා සිටීම වෙනුවට ඒක පාර්ශවිකව ආසියානු සභාපතිවරයාගේ ඔඩොක්කුවේ හුරතල් වීම ලාංකේය බලධාරීන්ගේ කැමත්ත විය.අනුර කුමාර දිසානායක පැමිණියේ මේ රටේ කුමාර පංතියේ අවශ්‍යයතාවයන්ට සීමා නොවුණු,මේ රටේ පොදු ජනතාවට කුමාර ජිවිත හා සමාන වන්නට මාර්ගයක් සකස් කරනු ඇතැයි යන විශ්වාසය සමාජය තුළ ඇති කරමින්ය.එහෙත් ඒ රජයේ ක්‍රියා මාර්ගය රගර් සම්බන්ධයෙන් කුමාරමය පංතියක අභිප්‍රායන් වෙනුවෙන් බලය තහවුරු කරන සහ එයට පරිපාලනය සීමා කළ හැකි අන්දමට ලංකාවේ රගර් හී ව්‍යවස්ථාව සකසා දීම වි ඇත.එයට ආසියානු මට්ටමේ සිට සුවච කීකරුව නැටවෙන ලාංකේය ක්‍රීඩා අධිකාරය ද,ඒ උවමනාව වෙනුවෙන් පෙනී සිටින නාමල්ලාගේ සහ මලික් සමරවික්‍රමලාගේ අවශ්‍යයතාවය ඉටු කර දීමට, අතාර්කික රටේ රගර් ව්‍යාප්තිය සීමා කරන ආකාරය සාධාරණය කරන්නට කියන එක පංතියකට රගර් රාජාභිෂේකය වෙනුවෙන් නිර්මිත ප්‍රශස්තිද අසන්නට සිඳු වී ඇත.
ජපානයේ කොඳුවල හයිය සහ විශ්වාසය මෙන්ම,සිය ජාතියේ නියෝජනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ඒවාට මුහුණ දෙන්නට ඇති ශක්තිමත් කොදු නාරටියද අවසාන වශයෙන් ද යළි යළීත් අගය කළ යුතුය.ඒ ආකාරයට බලද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන්ට පිට කියා ඇත්තේ දිව බඳු නැමෙන සුළු ඉන්ද්‍රියක්දැයි සැකය.
