*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි.

ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය විඳ දරා ගනිමින් සිටින මේ මොහොතේ සියලු දෙනාගේ අවධානය මේ රට වෙත යොමුව තිබේ. පවුල් මිලියන ගණනක් දෛනික ආහාර වේල සපයා ගැනීමේ අරගලයක නිරතව සිටිති. ඉන්ධන හා ගෑස් සඳහා පෙළ ගැසුනු ජනයාගෙන් පිරී ගිය පෝලිං රට පුරා සුලභ දසුනකි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ අවසන් වෙමින් තිබේ. පාසල් වලට පරීක්ෂණ පැවැත්වීමට කඩදාසි අවසන් වෙමින් තිබේ. සුවිශාල බහුතරයක් ජනයා බලයේ සිටින රාජපක්ෂ සහෝදරවරුන්ට ගෙදර යන ලෙස එකම හඬකින් ඉල්ලා සිටිති.

රාජපක්ෂවරු අපවාදයේ වැඩි පංගුවක් බාර ගත යුතු බව නොකිවමනා ය.ඔවුන්ගේ අධිකාරීවාදී පාලනය, මාන්නය සහ අදූරදර්ශී ප්‍රතිපත්තිකරණය ආර්ථික පිරිහීම උග්‍ර කළේය. ආණ්ඩුව මෑතක දී ප්‍රධාන තීරණ දෙකක් නිවේදනය කළේය – රටේ නොකැළැල් වාර්තාව කෙලෙසන ක්‍රියාවලියක නියැලෙමින් ඇ.ඩො. බිලියන 51 ක විදේශ ණය නොගෙවා පැහැර හැරීම, පළමුවැන්නයි. දෙවැන්න,රට තම ණය “ප්‍රතිව්‍යුහගත කරන” හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආධාර පැකේජයක් පිළිබඳ ගණුදෙනු කරගැනීමයි.

ප්‍රතිපත්ති තේරීම් පවා

මෙම තත්වය ඇතිවූයේ  කෙසේද? ශ්‍රී ලංකාව අර්බුදයේ ගිලී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ දෝෂ නිසාම පමණක් නොව අවුරුදු ගණනක් තිස්සේ අනුගමනය කළ ප්‍රතිපත්ති තේරීම් ආර්ථිකය ප්‍රකෘති තත්වයට යළි ගෙන ඒමට බැරි තරම් දුබල තත්වයකට පිරිහෙළා  ඇති නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන ණය දික් කර ගැනීමේ විනාශකාරී මග ගැනීමෙන් කිසි පාඩමක් ඉගෙන නොගත් බව හඟවමින්,  රට එම වට්ටෝරුගත ප්‍රතිකර්මයන්ම නැවත වරක් තෝරා ගනිමින් තිබේ. සැබැවින්ම  ණය පැහැර හැරීමට සහ ආණ්ඩුවේ දැන් ප්‍රධාන ප්‍රතිචාරය වී ඇති ජා.මූ.අ. ගිවිසුමක් තුළින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ට තල්ලු කිරීම සම්බන්ධයෙන් කොළඹ ඉහළ පෙළේ ආර්ථික බක්කන් තමන් ගැනම තරමක් සතුටු වූ බව පෙනේ. පාලන තන්ත්‍රය පලවා හැරීමේ විරෝධතාවලින් පිරුණ සුවිශාල කැළඹීම මධ්‍යයෙහි, රජයට එරෙහි ප්‍රභූන්, උපරිම වශයෙන් ඩොලර් බිලියන කිහිපයක් කෙටි කලකදී ගෙන ආ හැකි ජා.මූ.අ.  පැකේජයකින්  ඔබ්බට බරපතළ ආර්ථික විකල්පයක් නොමැතිව, මූලික වශයෙන් කල්පනා කරමින් සිටින්නේ ව්‍යවස්ථාමය සහ නෛතික විසඳුම් පිළිබඳව ය.නමුත් එවැනි “ ප්‍රතිසංස්කරණ “ පැකේජයක සැබෑ පිරිවැය තරමක් ඉහළ වන අතර අනිවාර්යෙන්ම වැඩකරන ජනයාට දැරීමට සිදුවේ.

ජනයා වීදි වලට ගෙනවිත් ඇත්තේ ආර්ථික දුෂ්කරතා වුවත්, ජා.මූ.අ සමග එක්ව යන ආණ්ඩුවේ මීලඟ ප්‍රයත්නය, බදු වැඩිවී, පොදු සේවා සඳහා සමාජ වියදම් කපා හැරීමට ලක් වන විට,  දුප්පතුන් සඳහා සුවිශාල ආර්ථික පීඩාවක අනාවැකි පලකිරීමක් පමණක් වෙයි. පළපුරුදු තාක්ෂණ තාන්ත්‍රිකයන් ජා.මූ.ආ. සමග වැඩ කිරීමට  තෝන් ලනුව අල්ලා ගනිත්ම, රටට අනතුරුදායක දේශපාලන ප්‍රතිවිපාක උදා කළේ අසමාන සංවර්ධනය සහ සම්පත්, ආදායම් උත්පාදනය සහ  ධනය වෙත ප්‍රවේශ වීමේදී  ඇති  ප්‍රකට අසමානතා ය, යන්න  පිළිබඳ පිළිගැනීමක් නැත.

ණය ගෙවීම පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය

වොෂිංටන් හි ජා.මූ.අ සමග සාකච්ඡාවලට සතියකට පෙර තම විදේශ ණය පැහැර හැරීමේ ශ්‍රී ලංකාවේ උපක්‍රමය මූල්‍ය අරමුදලේ අනුමැතියකින් තොරව සිදුවිය හැක්කක් නොවේ. ණය පැහැර හැරීම ජාත්‍යන්තර ණය දීමේ ජවනිකාව තුළ රට අවනම්බුවට පත් කරනවා පමණක් නොව ණය කොන්දේසි ඒකපාර්ශවිකව  තීරණය කිරීමේ සියලු බලය ජා.මූ.ආ. වෙත දෙමින් ඒ මත අසරණ ලෙස රඳා පැවතීමේ තත්වයක් නිර්මාණය කරයි. මෙහි ප්‍රතිපලයක් ලෙස එක්කෝ ජා.මූ.අරමුදලට ආර්ථිකය මෙහෙයවීමේ රියදුරු අසුන ලැබේ, එසේ නැතහොත් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් කඩා වැටීමට ලක් වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අතීත කටයුතු  මෙන්ම වර්තමානයේ මූල්‍ය වෙළඳ පොළේ අස්ථායීතාවය ගත් කළ ජා.මූ.ආ. සමග ගිවිසුමක් ස්ථායීතාව පවා ඇති කරයි යන්න කිසිම සහතිකයක් නැත. ණය පැහැර හැරීමේ තර්කයට  සහ පටි තද කර ගැනීමේ ක්‍රියාමාර්ග සමග ණය ප්‍රතිව්‍යුගත කිරීම ට  බොහෝ බාධක වලට මුහුණ දීමට සිදුවේ. ඊනියා ක්‍රමික ණය පැහැර හැරීම් බාර ගැනීමට බැරි වනු තරම්  මූල්‍ය වෙළඳ පොළවල් බෙහෙවින්  අක්‍රමවත් වන අතර ඉදිරි සති කිහිපය තුළ මෙම කලබලකාරීත්වය තීව්‍ර වනු ඇත. ශ්‍රී ලංකාවට, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගණුදෙනු ද ඇතුලත් අන්තර්ජාතික මූල්‍ය ගණුදෙනු කිරීමට අපහසු  වනු ඇත. නිසැකවම, ණය පැහැර හැරීම රට ණය දීමට නුසුදුසු තත්වයට පමුණුවා ඇති හෙයින්, යළිත් වාණිජ ණය බඩජාරිකම දිගටම කරගෙන යාමට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලට යළි ප්‍රවේශ වීමේ නව ලිබරල් සිහිනය අසාර්ථක වේ.

2022 මාර්තු නිකුත් කළ ජා.මූ.අ. මාණ්ඩලික වාර්තාව අනාගත ගිවිසුමක් තුළ තහවුරු විය හැකි නිර්දේශ ගණනාවක් පෙන්වා දෙයි: බදු අනුපාත වැඩි කිරීම සහ බලශක්ති මිළ සංශෝධන තුළින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය; ණය ධරණීයතාව ප්‍රකෘතිමත් කිරීම; උද්ධමනය ඉලක්ක කරගත් කෙටි කාලීන මූල්‍ය ප්‍රතිපත්ති තීව්‍ර කිරීම්; වෙළඳ පොළ නිර්ණිත සහ සුනම්‍ය විනිමය අනුපාතයක්; සහ ඉලක්ක ගත සමාජ ආරක්ෂණ ජාල.

වෙසෙසින්ම, මෙම බොහෝ නිර්දේශ දැනටමත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් ඇත. විනිමය අනුපාතය,ඉහළ ආනයන වියදම පාරිභෝගිකයන්ට විතැන් කරමින් පාවීමට ඉඩ හැර ඇත;පොළී අනුපාතය 14% කින් දෙගුණ කර ඇත්තේ කුඩා ව්‍යාපාර සහ ගැමි නිෂ්පාදකයන්ගේ ජීවිකාව  අවදානමේ හෙළමිනි. බලශක්ති මිල ඉහළ දැමීම,උදාහරණ වශයෙන් පෙට්‍රල් සහ පිසින ගෑස් වල මිල පාරිභෝගිකයාට විතැන් කර ඇත.

පැමිණීමට නියමිත මීටත් වඩා දැඩි කොන්දේසි ජා.මූ.අ. වාර්තාවේ සඳහන් කර ඇති අතර එමගින් “වර්ධනය නංවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ එනම්,ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, තරුණ රැකියා වියුක්තිය අඩු කිරීම,වෙළඳාම නිර්බාධීකරණය,පුළුල් සහ සංගත ආයෝජන ප්‍රවර්ධන උපක්‍රම,මිළ පාලන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ“ කැඳවයි.කාන්තාවන් ශ්‍රම බලකායට තල්ලු කිරීම, වෙළඳාම තවදුරටත් නිර්බාධීකරණය, මිල පාලනය ඉවත් කිරීම සහ රාජ්‍ය සේවාවන් මිළ අධික වන පරිදි රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, ගෘහ කටයුතු වල හුස්ම හිර කරනු ඇති අතර සමාජ නිර්මිතය කඩා බිඳ දැමීමට නියමිතය.

තාක්ෂණ තාන්ත්‍රික විසඳුම්

පශ්චාත් යටත් විජිත ඉතිහාසය තූළ ශ්‍රී ලංකාව ජා.මූ.අ  සමග ගිවිසුම් 16කට මුහුණ දී ඇත.ඉතා මෑත එක නම් 2016 ජූනි ලබාගත් ඩොලර් බිලියක 1.5ක විස්තෘත මූල්‍ය පහසුකම ය.මීට පෙර,2009 මැයි සිවිල් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මාස දෙකකට පසු ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක පොරොත්තු සම්මුතිය යි.මෙම මෑත කාලීන ගිවිසුම් ශ්‍රී ලංකාවට වාණිජ අතමාරු කරගෙන යාම සඳහා තීරණාත්මක ලෙස වැදගත් වේ.උදාහරණ වශයෙන් 2016 ජූලි වලදී අවසාන ජා.මූ.අ. සමග ගිවිසුමට මසකට පසු ශ්‍රී ලංකාව සෛවරී බැඳුම්කර ඔස්සේ ඇ.ඩො. බිලියන 1.5ක් ණයට ගත්තේය. එම ණයෙන් ඇ.ඩො. මිලියන 500 ක් මෙම වර්ෂයේ ජනවාරියේ ගෙවන ලදී.

මෙම සන්දර්භය තුළ අනාගත ජා.මූ.අ.සමග ගිවිසුමට අඩංගු ප්‍රතිසංස්කරණ බරපතළ විපාක දෙන්නක් විය හැකි අතර බාගදා 1977න් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරගෙන ගිය ව්‍යුහාත්මක ගැළපුම්වලට  සමාන විය හැක. දේශීය වශයෙන්  “විවෘත ආර්ථික” ප්‍රතිසංස්කරණ යනුවෙන් හැඳින්වෙන මෙම නවලිබරල් ප්‍රතිපත්ති දියත් කිරීම වර්ථමාන අර්බුදය යටින් ඇති දීර්ඝ කාලීන හේතු වලට බලපෑ ප්‍රතිපත්ති බිහි කළේය.

කොළඹ ප්‍රභූ කව වල දැන් අත්වැල් ගායනා පදය වි ඇත්තේ “යහපත් තත්වයට පත්වීමට නම් අපට තරමක් දුක් විඳීමට සිදුවනු ඇති බව” යි. නමුත්  පටි තද කර ගැනීම් වලින් වැඩ කරන ජනයාට තදින් පහර වැදෙන විට අවසානයටම පීඩාවට ලක් වන්නේ මෙම ප්‍රභූන් ය. සැබැවින්ම විදේශ ණය දෙන්නන් ජා.මූ.අ ගිවිසුමෙන් මුදා හරින විට ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තියද එමඟින් මුදා ගැනේ. මක්නිසාද,  බෙහොමයක් විදේශ ණය සහ ඒ හා බැඳි ව්‍යාපෘති මෙන්ම  උත්කර්ෂණ පරිභෝජනය සේවය කළේ අන් කිසිවෙකුට වඩා ඔවුන්ට වන හෙයිනි.

යෝජිත විසඳුම  ජා.මූ.අ ගිවිසුමේ කොළ එළිය දැල්වුණු පසු ප්‍රාග්ධන වෙළෙඳ පොලෙන් තව තවත් ණය ගැනීමට හැකි වීම පිළිබඳවයි.නමුත් එය සාක්ෂාත් වුවහොත් ණය එකතුව වැඩි වී නොවැළැක්විය හැකි අනාගත අර්බුදයකට යොමු කරයි. අනෙක් වඩා විවාදාත්මක පරිශ්‍රමය නම් පවුලේ සම්පත් එනම් දශක ගණනාවක් තිස්සේ ගොඩ නඟන ලද රාජ්‍ය ව්‍යවසාය සහ ආයතන විදේශ ණය ගෙවීමට පෞද්ගලීකරණය නමින් විකුණා දැමීමයි.

ධන බද්දකින් අරඹන්න

ශ්‍රී ලංකාවට කෙසේ හෝ මෙම අර්බුදයෙන් අවුරුද්දක පමණ කෙටි කාලයක් කෙටි කාලයකින්  ගොඩ ඒමට හැකි බවත්,දැනටමත්  ඉතා අපහසු තත්වයන් යටතේ සිටින ජනතාවට ඉදිරි මාස වලදී වඩ වඩා ආර්ථික වේදනාව දරා සිටීමට හැකි වනු ඇති බවත්,යන අදහස පාරා වළල්ලක් වෙමින් තිබෙන බව පෙනේ. මූලික අවධානය වර්ධනය සහ ප්‍රකෘති තත්වයට පැමිණීම පිළිබඳව වන අතරතුරේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බරපතලම බිය වන්නේ ඇති විය හැකි ආහාර අර්බුදයයි. එහිදී හාමත හෝ සාගත ඇති විමේ සැබෑ ඉඩක් ඇත.

නවලිබරල් තාක්ෂණ තාන්ත්‍රිකයන් යෝජනා කර සිටින්නේ පටි තද කර ගැනීමේ ක්‍රියාමාර්ග වලින් පීඩාවට පත් ජනයා මුදල් මාරුව තුළින් දිනා ගැනීම යි. කෙසේ නමුත් වැඩ කරන ජනයා තම සමාජ සුභසාධන අයිතීන් කෙරෙහි වඩා දුරට කැප වී සිටින බව දශක ගණනාවක් තිස්සේ නිදහස් අධ්‍යාපනය සහ පොදු සෞඛ්‍ය සේවය රැක ගැනීමට ඔවුන් සටන් කළ ආකාරයෙන් පෙනී යයි.රාජ්‍ය සේවාවන් සහ උපයෝගිතා සේවාවන් පෞද්ගලීකරණයට එරෙහිව දරුණු විරෝධයක් නැගෙනු ඇති බව නොකිවමනාය. මෙම අර්බුදයට ගෙවිය හැකි කෙනෙක් වේ නම් ඒ නිසැකවම රටේ ධනවත් පන්තීන්ය.උදාහරණ වශයෙන් අවුරුදු ගණනක් තිස්සේ රැස් කරගත් දේපල සහ  වාහන මත ධන බද්දක් පැනවීම ආරම්භක අවස්ථාවක් විය හැක.

මැතිවරණ කාලය තුළ මෙන්ම ව්‍යවස්ථා බාහිර අරගල ක්‍රියාමාර්ග තුළ ජනතාවගේ සුවිශාල ප්‍රජාතාන්ත්‍රික පරිශ්‍රමයන් මර්ධනීය තන්ත්‍රයන් සහ කතිපයාධිපත්‍යයන් ශ්‍රී ලංකාවේදී නිරන්තරයෙන් පෙරළා දමා ඇති බව තහවුරු කරයි. ධ්‍රැවීකරණීය සහ විනාශකාරී තන්ත්‍රයන් යළි යළිත් නැග ඒමට මඟ විවර කර ඇත්තේ පටු ලැදිකම් වලින් යුතු ලංකාවේ ප්‍රභූ පන්තියේ අසමත්භාවයයි. ජා.මූ.අ ගිවිසුම,එහි කොන්දේසි මත යැපීම සහ එහි විපාක, මෙම අර්බුදය හසුරුවා ගැනීමට උත්සාහ කරන ප්‍රභූ පන්තිය සහ මෙම දේශපාලන විවිරය ජනනය කර ඇති වැඩ කරන ජනයා අතර සටනේ නාභිය බවට පත්වෙමින් තිබේ.මෙම අර්බුදය මැද මතුවන එවැනි දෘෂ්ඨිවාදී සහ දේශපාලන අරගල ශ්‍රී ලංකාව තෝරා ගන්නේ බංකොලොත්භාවයද  ගැළවීම ද යන්න තීරණය කරනු ඇත. 

“ Sri Lanka stares at bankruptcy or redemption ” Ahilan Kadirgamar, The Hindu, April 16, 2022 ලිපියේ සිංහල පරිවර්ථනය දිමුතු විසිනි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan