ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2022 මැයි 1 වනදා පැවැත්වීමට නියමිත ය.
සංවිධායකයන්ගේ අරමුණ වන්නේ එකම වෙලාවක ඇමරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන ගණනාවකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීම ය. මේ අනුව මැයි 1 වනදා ඇමරිකාවේ නැගෙනහිර වෙලාවෙන් (Eastern Time) සවස 2 ට මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට නියමිත ය. නිව් යෝර්ක් නගරයේ ටයිම් චතුරශ්‍රය, වොෂිංටන් ඩී.සී., කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්රැන්සිස්කෝ යන නගර, ඇට්ලන්ටා නගරයේ CNN මූලස්ථානය අසළ යනාදී ස්ථාන පනහක පමණ එකම වෙලාවේ මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරෙනු ඇති බව සංවිධායකයෝ අප හා පැවසූහ.
මීට පෙර ද ඇමරිකාවේ විවිධ ස්ථානවල රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කෙරෙන උද්ඝෝෂණ පැවැත්වුණි. කෙසේ වෙතත් එම විරෝධතා තනි තනිව සංවිධානය වූ ඒවා විය. මැයි 1 වනදා උද්ඝෝෂණ මාලාවේ අරමුණ එක්සත් ජනපදය පුරා ඒකාබද්ධ විරෝධතාවයක් සංවිධානය කිරීමයි.
ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන අතරම, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව එරට මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබේ. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇමරිකාවේ මිලදී ගෙන ඇති බව කියන දේපල පිළිබඳ පරික්ෂා කරන ලෙස ඉල්ලීම් කෙරෙන සන්දේශයන් එරට ප්‍රාන්ත සෙනට් සභිකයන්ට, ප්‍රාන්ත කොන්ග්රස් සභිකයන්ට මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් ද සංවිධානය කර තිබේ. මෙහිදී එම මහජන නියෝජිතයන් හමුවීමට ගොස්, පුද්ගලිකව කරුණු දක්වා එම සන්දේශ බාරදීමට අපේක්ෂිත ය.
ඇමරිකාවේ වාසය කරන වෘත්තිකයන්, ශිෂ්‍යයන් ආදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජාති, ආගම් සහ දේශපාලන පක්ෂ භේද නොමැතිව මෙම උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිත ය.
- මෙහි දිස්වන උද්ඝෝෂණවල ඡායාරූප කලින් පැවති උද්ඝෝෂණ කිහිපයක අවස්ථා ය.