රඹුක්කන පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොල්ස් අධිකාරීවරයෙකුත් තවත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් ඊයේ (28) රාත්‍රියේ අත් අඩංගුවට ගත්තා රහස් පොලිසිය විසින්.
ඔවුන්ව අත් අඩංගුවට ගැනුණේ මිනීමැරීම් චෝදනාත් ඇතුළත් පරීක්ෂණයකට අදාළව. එහෙම වුණාම ඔවුන් අත් අඩංගුවට පත්වූ සැණින් ආයතන සංග්‍රහය අනුව වැඩ තහනමකට ලක්විය යුතුයි. රාජකාරියේදී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වුණාම ඔවුන්ට මාසික වැටුපෙන් බාගයක් සමහර අවස්ථාවල ලැබෙනවා. නමුත් මේ වගේ මිනීමැරුමකදී එහෙම අර්ධ වැටුපක් ලැබෙන්නෙත් නෑ.
මේ අත් අඩංගුවට පත්වුණු නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළයුතු අතර එහිදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනවා. මේ SSP වරයා කලින්ම පොලිස් රෝහලට ඇතුළත් වෙලා හිටියත් ඔහුට ඇත්තටම අසනීපයක් තියෙනවාද කියන එක අධිකරණය හමුවේ ඔප්පු කරන්න වේවි. එහෙම අසනීපයක් තිබුණාම වුණත් ඔහුට පොලිස් රෝහලේ රැඳී සිටින්න බෑ, ඔහුට ඉන්න වෙන්නේ බන්ධනාගාර රෝහලේ. කොස්තාපල්වරුන්ට අසනීප කතාවක් නැති නිසා ඔවුන්ට කොහොමත් රිමාන්ඩ් බන්ධනාගාරයට යන්න වෙනවා, අපේ සාමාන්‍ය දැනීම අනුව නම් එතන කොහොමත් පොලිස් නිලධාරීන්ට සුහදව සලකන තැනක් නම් නෙවෙයි.
එතකොට මොවුන් සම්බන්ධව එක පැත්තකින් ආයතන සංග්‍රහය අනුව විනය ක්‍රියාමාර්ගයක් ගැනෙනවා. එහි විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම. ඔවුන්ගෙ රැකියාවට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග ටික එතැනින් තීරණය වේවි.
ඊළඟට මොවුන්ට අදාළ සිද්ධිය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරලා නඩු පැවරීම සිද්ධ වෙනවා.
මිනීමැරුම් සිද්ධියකට රිමාන්ඩ් වුණාම ඔවුන්ව ඇප මත නිදහස් කරන්න මහේස්ත්‍රාත් උසාවියට බලයක් නැහැ. ඉතින් ඉහළ උසාවියකට ඇප ගන්න මාස කිහිපයක් අඩුම ගාණෙ ගතවෙනවා. මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන්නේ නීතිපතිවරයා. එතකොට මොවුන්ට සිද්ධ වෙනවා තමන්ගේ අතේ වියදමින් පෞද්ගලිකව නීතීඥයින් සපයා ගන්න. වැඩ තහනමකට ලක්වෙලා, අර්ධ වැටුපත් නැතුව ඉද්දී ඉහළ උසාවිවල නීතීඥයින්ටත් විශාල මුදලක් ගෙවන්න වේවි අනිවාර්යයෙන්ම.
මේකෙදි වෙඩි තැබීමට අණදීපු SSP වරයාට ගොනු කෙරෙන්නේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් 296 වගන්තිය යටතේ සෘජු චෝදනාද එහෙම නැත්නම් 298 වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳ චෝදනාද කියන එක විමර්ශනයේදී තීරණය වෙයි. බොහෝවිට ඒකත් මිනීමැරුම් චෝදනාව වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් වෙඩි තියපු ගිනිඅවි භාවිතා කරපු කොස්තාපල්වරුන්ට අනිවාර්යයෙන්ම මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා.
ඒකෙදි ඔවුන්ට තමන් කළේ ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි කියලා බේරෙන්න වෙන්නේ නෑ. පේමවතී මනම්පේරි ඝාතන නඩුවේ ඓතිහාසික තීන්දුවේ මනාව සටහන් වෙලා තියෙනවා ඉහළ නිලධාරියෙකුගෙන් ලැබෙන නියෝගයක් වුවත් එය අනීතික එකක් නම් එය පහළ නිලධාරීන් පිළිපැදිය යුතු නැහැ කියලා.
ඒ වගේම තවත් දෙයක් ….
තුවක්කුවකුයි, ඒකට හරියන්න උණ්ඩයි දීලා තිබුණු පළියට පොලිස් නිලධාරියෙකුට එහෙම වෙඩි තියන්න බෑ. පොලිසියේ වෙඩිතැබීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු නියෝගයක් තියෙනවා “පොලිස් වෙඩිතැබීමේ නියෝගය” කියලා. ඒකට අනුව පොලිස් නිලධාරියෙකුට වෙඩි තියන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට වගේම තව කෙනෙකුගේත් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට. පුද්ගලික ආරක්ෂාවේ නීතියෙන් ආවරණය වෙනවා නම් විතරයි ඔවුන්ට වෙඩි තියන්න පුළුවන්, පළායන කෙනෙක් පසුපස පන්න පන්නා ගිහින් වෙඩි තියන්න ඔවුන්ට බෑ.
මේ නිශ්චිත රඹුක්කන සිදුවීමේදී ඔවුන් ඉන්ධන බවුසරයක් ආරක්ෂා කරගැනීම සඳහා වෙඩි තියපු කතාවක් කිව්වත් ඔවුන් පුද්ගලයින් පසුපස පන්න පන්නා වෙඩි තියා ඇති බවට දැනටමත් සාක්ෂි තියෙනවා. ඉතින් මේ මිනීමැරුම් නඩුවේදී පොලිස් නිලධාරීන්ට කොහෙත්ම බේරෙන්න ලේසි වෙන එකක් නෑ. බේරෙන්න බැරි වුණොත් අවසානයේ ලැබෙන දඬුවම ගැන ඔවුන්ට අවබෝධයක් ඇති. සරලව කිව්වොත් “ගස්” තමා …
මේ ටික ලිව්වේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මේ පාඩම් ඉගෙන ගන්න මඟහැරුණු හෝ මේවා දැනටමත් අමතක වෙලා ඉන්න පොලිස් පොඩ්ඩන් ඉන්නවා නම් කියවලා මතක් කරගන්න. ඉහළින් මොන නියෝග ආවත් තුවක්කු පත්තු කරන්න කලින් තම තමන්ගේ දරු පවුල් මතක් කරගන්න, ඔබ ඒ මොහොතේ ගන්න තීරණය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයින් බන්ධනාගාර පෝලිම් ගාණේ, උසාවි පෝලිම් ගාණේ, උකස් කඩ පෝලිම් ගාණේ රස්තියාදු වෙන හැටි දකින්න ආස නැතිව ඇතිනේ ? ඔබ ජීවිත කාලයක් මහ උළුගෙදර කල්දේරම් බත් කන්නත් ආසවේවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා නියෝග අනීතික නම් ඒවා පිළිපදින්න කලින් දහස් වාරයක් හිතන්න. නියෝග පිළිපැදලා ඔබ අමාරුවේ වැටුණාම කවුරුත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ….
- දර්ශන වීරසිංහ