මහාභාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් වශයෙන් ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) දිනයේදී මුල්වරට අධිකරණයට කරුණු දැක්වූයේය.
ඔවුන් විසින් කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත පිටු 27කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර මෙම විමර්ශනය සංවේදී, සූක්ෂ්ම කරුණු ඇතුළත් ක්රියාවලියක් වන බැවින් මෙම වාර්තාව අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා සතු ආරක්ෂක සේප්පුවෙහි තැන්පත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
මෙම ප්ර්ශ්නගත ගෙවීම ඕස්ට්රේලියානු රජයේ Export finance australia නැමැති ආයතනයට සිදුකිරීමට තිබූ එකක් බවත් ගනුදෙනු සිදුවෙමින් පවතින එක් අවස්ථාවකදී අදාළ සමාගමේ e-mail ලිපිනයට සමාන e-mail ලිපිනයකින් ගෙවීම්වලට අදාළ ඉන්වොයිසයක් පැමිණ ඇති බවත් එහිදී මුදල් ගෙවීම සිදුකළ යුතු ආයතනයේ Domain එක කුඩා වෙනසකට තමයි ලක්ව තිබී ඇති බවත් පැවසූ රහස් පොලිස් නිලධාරියා නිවැරදි domain එක ඕස්ට්රේලියානු රජයට අයත් “exportfinance.gov.au” වන නමුත්, ව්යාජ domain එක “exportfinance.av.com” නමින් වාණිජ අරමුණක් සහිත domain එකක් ලෙස වෙනස්කර තිබී ඇති බවත් එසේ තිබියදී පසු විපරමක් නොකර මුදල් බැරකිරීමක් සිදුව ඇති බවත් සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම සිදුවීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයේ ඊමේල් පද්ධතියට අනවසර ප්රවේශයක් සිදුව ඇති බවක් දැනට අනාවරණය වී නොමැති බවත් එම නිලධාරියා පැවසූ අතර ව්යාජ ලෙස domain එක වෙනස්වීම පිළිබඳ 2025.10.28 දින e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ සමාගම දැනුවත් කිරීමක් කර තිබෙන බවත් පැවසීය.
මෙම මුදල් නිදහස් කර ඇත්තේ එම අනතුරු හැඟවීමට පෙරද, පසුද යනුවෙන් මහේස්ත්රාත්වරයා කළ විමසීමට පිළිතුරු දෙමින් රහස් පොලිස් නිලධාරියා පැවසුවේ අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීමෙන් පසු මුදල මුදාහැරීම සිදුකර ඇති බවයි.
මෙම විමර්ශනයට අදාළව සැකකරුවන් නම්කර ඇත්දැයි මහේස්ත්රාත්වරයා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාරියා දැනට සැකකරුවන් නම්කිරීමක් කර නොමැති බව පැවසූ අතර පෙරකී ඊමේල් ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන් 5 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර දෙමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම විමර්ශනය සඳහා ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය, රජයේ රස පරීක්ෂක, කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්යයන පීඨයේ නියෝජනය සහිත තාක්ෂණික කමිටුවක් පත්කරන ලෙසත් ඉල්ලා සිටියේය.
මහේස්ත්රාත්වරයා විසින් එම ඉල්ලීම්වලට අවසර ලබාදුන් අතර නඩුවෙඅ ජුනි මස 03 වනදා යළි කැඳවීමට නියම කෙරිණි.


