රෂිකා හෙන්නායක
“රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය” – මැයෙන් අද (2025.05.01) දින ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ, අද ලෝකය තුළ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් තිබේ නම් එය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව බවත්, වාමාංශික ව්‍යාපාරයක් මඟින් ලබා ගත හැකි අතිශය සාමකාමී දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳව උදාහරණයක් තිබෙන්නේ නම් මේ මොහොතේ එහි හොඳම උදාහරණය ශ්‍රී ලංකාව බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“මීට වසරකට කලින් අප මැයි දිනය සමරන විට අනුර සහෝදරයා කිවුවා ලබන වසරේ මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුවක් යටතේ කියල. ඒ පොරොන්දුව ඉෂ්ට වෙලා තිබෙනවා. අප අරගල මඟින්, මීට පෙර මැයි දින සමරන විටදි ඉල්ලීම් ඉල්ලුවා. එහෙත් දැන් මේ අප ආණ්ඩුවක් අරගෙන සමරන පළමු මැයි දින සැමරුමයි. මෙතන සිටින සෙනඟ දිහා බලන විට අගෝස්තු මාසයේ හෝ දෙසැම්බර් මාසයේ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙන අයට මොනවා හිතෙනවා ඇද්ද?
මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රගතිශීලී බලාපොරොත්තුවක් ජාත්‍යන්තරය තුළ ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස අපේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට හැකි වුණා. ඒ අයුරින් අපේ රටේ ඉතිහාසය වෙනස් කර ගැනීමට හැකි වුණේ ඔබ නිසයි. ඒ වෙනුවෙන් ගැහැනු අපි එක මිටට එකතු වුණා. අදටත් ඒ බැඳීම තියෙනවා. ඉතිහාසයේ වැඩිම කාන්තා දේශපාලන නියෝජනය අපේ ආණ්ඩුව යටතේ සිදු වුණා. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියන්ගෙන් දහනවයක්ම ඉන්නේ ජාතික ජන බලවේගයේයි.
අපේ දේශපාලන ව්‍යාපාරය මේ තැනට ගෙන එන්න සහෝදර, සහෝදරියන් විශාල සංඛ්‍යාවක් තම ජීවිතවලින් වන්දි ගෙවුවා. මේ ආ ගමනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උදව් කළ අය බොහොමයි. අප මේ අවස්ථාවේ ඔවුන් සිහිපත් කළ යුතුයි. අපට අනාගතය පිළිබඳ සුබ ලකුණු පෙනෙමින් තිබෙනවා. අප වින්ඳ දුක තවත් පරම්පරාවකට අප භාර දෙන්නේ නැහැ. තවත් පරම්පරාවකට ඉතුරු කරන්නේත් නැහැ. අපට වඩා දහස් වාරයක් දක්ෂ, අපට වඩා දහස් වාරයක් ඉදිරියෙන් සිටින පරපුරක් අප නිර්මාණය කරනවා. ඔවුන් වෙනුවෙන් මේ රට සූදානම් කරනවා. ඒ අනුව අපේ රට ලබන ඉදිරි ජයග්‍රහණවල කොටස්කරුවන් වීමට අද මෙතැනට පැමිණි සියලු දෙනාටම ආරාධනා කරනවා.”
