කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
දැනට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හරහා දළ ජාතික ආදායමට වාර්ෂිකව එකතුවන කොටස ඇ.ඩො.බිලියන 1.9ක් පමණ වන බවත්, මෙයින් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මඟින් උපයන කොටස කොපමණද යන්න හඳුනාගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රමාණය වෙන් කර හඳුනාගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන් කෘතිම බුද්ධිය හරහා දළ දේශීය නිෂ්පාදනට එකතු වන ආදායම ඉදිරි වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ නංවා ගතහැකි ක්‍රියාමාර්ගවලට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ කඩිනමින් දියුණු කළ යුතු ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය නවීකරණය , සංචාරක ව්‍යාපාරය, සැපයුම් මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම වැනි කරුණු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අපි තාක්ෂණික කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
අද ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන් කරන බැවින් ශ්‍රී ලංකාව ද කෘතිම බුද්ධිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි වගේම ඒ සඳහා වැඩිපුර ආයෝජන සිදු කළයුතුයි. එය කිරීමට සිදුවන්නේ පෞද්ගලික අංශය හරහායි. මම අද මෙම සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වුණේ ඒ පිළිබඳ ඔබ සියලුදෙනාගේ අදහස් ලබා ගැනීමයි. ඒ වගේම මෙම වැඩසටහන් ආරම්භ කළ යුත්තේ කෙසේද? එහි වාසි අවාසි මොනවාද? කියා ඔබ සමග සාකච්ඡා කිරීමටයි.
ලබන වසරේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරනවා. කෘතිම බුද්ධිය රට තුළ දියුණු කිරීමේ දී පළමුව ඊට සරිලන පරිසරයක් අවශ්‍යයි. ඒ සඳහා ආයතනයක් මෙන්ම දත්ත අවශ්‍යයි. එබැවින් මෙම වැඩසටහන් සකස් කළ හැකි අන්දම පිළිබඳ ඔබගේ අදහස් ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා.
ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය තුළ අපට ඒ සඳහා දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇතියි. රජය පාර්ශ්වයෙන් මේ වන විටත් ඊට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ රටේ වාර්ෂිකව බිහිවන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. මම යෝජනා කර තිබෙනවා අපට ඉංජිනේරුවන් 10,000ක අවම ඉලක්කයක් තිබිය යුතුයි කියා. කෘතිම බුද්ධිය භාවිතයේ දී අප සිංගප්පූරුව සහ ඉන්දියාව සැළකිල්ලට ගත යුතුයි. නැගෙනහිර ආසියාව, දකුණු කොරියාව, ජපානය සහ චීනය කෘතිම බුද්ධිය සමග ඉදිරියට ගියත් බටහිර ආසියාවේ කිසිදු රටක් තවම එහි නැහැ. ඒ නිසා අපට තවමත් ඉතා පැහැදිළි ක්ෂේත්‍ර තිබෙනවා. ඒ සඳහා අපට උපාය මාර්ග තිබිය යුතු අතර මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීම ද ආරම්භ කළ යුතුයි”
තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ පුළුල් මාදිලියට AI තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය ගැළපෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී අදහස් පළ කළහ.
මීට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡාවට එක්ව සිටි විද්වත්හු අදහස් පළ කළහ.
ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා කෘතිම බුද්ධි සංගමය, විශ්වවිද්‍යාල සහ ජාතික නවෝත්පාදන ආයතන නියෝජිතයන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.
RN