*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

තිස් වසරකට පසු ආර්. ප්‍රේමදාස යළි කියවීම ….

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්ව අදට (01) වසර 30ක් සපිරේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙන් ලියැවෙන ආපසු හැරී බැලීමකි.

මේ සටහන ලියන අපි ද එදා පටන්ම දැඩි ප්‍රේමදාස විරෝධීන් වීමු. එදා ඔහුව හැඳින්වුණේ 60,000 ක් තරුණ ජීවිත බිලිගත් ඝාතකයා වශයෙනි. අපිත් එය එකහෙළා පිළිගත්තෙමු.

නමුත් රණසිංහ ප්‍රේමදාස යනු එදා පටන්ම මෙරට ඉතිහාසයෙහි හරිහැටි කියවා ගැනීමට බැරිවුණු චරිතයක් බව අද අපට පෙනෙයි.

ප්‍රේමදාස මහතාට තමන් අයිති පන්තිය තුළ නිසි ලෙස ස්ථානගත වීමට නොහැකි විය. ඔහු මව්ගම, පියගම හදමින් වෙනත් පන්තියක් කරා ආරෝහණය වීමට ගොස් අවුලක් ඇතිකර ගත්තේය. එහෙත් ඔහු අයිති පන්තිය අදටත් ඔහුව අත්හැර නැත. ඊට ඕනෑතරම් සාක්ෂි පෙන්විය හැකිය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන දිවියෙහි ඉහළම ඵලය වූයේ “ජනසවිය” වැඩසටහනයි. එය බිහි කෙරුණේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වූ ආචාර්ය සුසිල් සිරිවර්ධන මහතා සමග එක්ව ය. ප්‍රේමදාස මහතාට ආචාර්ය සුසිල් හමුවුණේ පෙර කලෙක 71 කැරැල්ලේ මහ නඩුව බැලීමට ගිය අවස්ථාවකදී ය. “නැතිබැරි අය ඇතිහැකි අය කරමු” යන තේමාවෙන් යුතුව ජනසවිය වැඩසටහන ආරම්භ කළේ දිගින් දිගටම සහනාධාර ගෙවීමේ අරමුණකින් නොවේ. නිශ්චිත කාලසීමාවක් තුළ රැකියා, ස්වයං රැකියා, වෙළඳාම් වැනි ආදායම් මාර්ග සකස් කරදී දිළිඳු පවුල් එම දිළිඳුකමින් මුදාගැනීමේ අරමුණින් යුතුව ය.

නමුත් ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ එය සමෘද්ධි ව්‍යාපාරය බවට පරිවර්තනය කෙරුණු අතර ජනසවියේ මූලික අරමුණින් බැහැරව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දිගින් දිගටම සහනාධාර ගෙවන, රජයේ වියදමින් එක් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයින් යාන්ත්‍රණයක් නඩත්තු කරන වැඩසටහනක් බවට පත්විය. එහි නරකම ඵලය වූයේ පවුල් ලක්ෂ ගණනක් සහනාධාර මානසිකත්වයකට හුරුවී ස්වෝත්සාහයෙන් නැඟීසිටීමේ වුවමනාවක් කොහෙත්ම නැති පිරිසක් බවට පත්වීමයි.

එසේම රණසිංහ ප්‍රේමදාස යනු පාසල් අධ්‍යාපනයෙහි වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටි නායකයෙකි. රටේ ආර්ථික හා සමාජයීය තත්වයන් මීට වඩා බොහෝ පසුගාමීව තිබුණු ඒ යුගයේදී ඔහු පාසල් දරුවන්ට දිවා ආහාර සපයමින්, පාසල් නිල ඇඳුම් සපයමින් අධ්‍යාපනය ලබන්නට දිරි දුන්නේ ග්‍රාමීට මට්ටමේ දිළිඳුකම තුරන් කිරීමට කළයුතු හොඳම ආයෝජනය එය බව දකිමිනි.

ඇත්තෙන්ම මේවා එක්සත් ජාතික පක්ෂය වැනි දක්ෂිණාංශික දේශපාලන පක්ෂවල සංකල්ප මත පිහිටන වැඩ නොව වාමාංශික දේශපාලන සංකල්ප මත පිහිටන වැඩ ය. ඇත්තෙන්ම ‘රතු අලියා’ යැයි නම්බුකාරව කිවයුතුව තිබුණේ රණසිංහ ප්‍රේමදාසට ය. රණසිංහ ප්‍රේමදාස මහතා හැකි සෑම විටම වාමාංශික මතධාරීන් තම දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගත්තේය. ඔහු පැවැත්වූ බොහෝ කතා ඔහුට ලියා දුන්නේත් සයිමන් නවගත්තේගම විසිනි.

ප්‍රේමදාස පාලන සමය තුළ රටේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේදී සිදුවූ ක්‍රියාදාමය අනුව එය ඉතිහාසයට එක්වුණේ භීෂණ සමය වශයෙනි. ප්‍රේමදාස මහතාගේ වචනයෙන්ම කිවහොත් ඔහුට ලැබී තිබුණේ දෙකොන පත්තුවෙන විලක්කුවකි. එය නිවීමට යාමේදී බිහිසුණු වාතාවරණයක් ඇතිවිය. තම බලයට ආයුධ සන්නද්ධ අභියෝගයක් එල්ල වන අවස්ථාවක ‘රාජ්‍යය’ කටයුතු කරන්නේ බිහිසුණු ආකාරයෙනි. එවිට එහි සියලු බර ඉතිහාසය තුළදී රාජ්‍ය නායකයාගේ ගිණුමට බැර වේ. එය සාමාන්‍ය ස්වභාවයයි. ඒ සමයේදී ප්‍රේමදාසගේ නමින් බොහෝ මිනීමැරුම් සිදුවිය. විවිධ කල්ලි, කණ්ඩායම් තම පුද්ගලික තරහා පිරිමසාගැනීම් ද ඒ තුළ සිදු කළහ. ඒවාත් බැරවුණේ ප්‍රේමදාස ගිණුමට ය. අප කලින් ද කී පරිදි මෙය එවැනි තත්වයක සාමාන්‍ය ස්වභාවය වන නමුත් ප්‍රේමදාස යුගයේදී එය වැඩිමනත් සිදුවූ බව කිවහැකිය.

අනෙක් අතට එදා කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණ අද කතා කරන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන කරනා දේශපාලනයක් ගැන ය. කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් තමන් අනුමත නොකරන බවත් රාජ්‍ය බලය ලබාගත යුත්තේ මැතිවරණයක් හරහාම පමණක් බවත් ඔවුහු අද එකහෙළා කියති. ඉතින් ඒ ගැන අපට වෙන කියන්නට දෙයක් නැත. රණසිංහ ප්‍රේමදාස නරක වේලාවක, නරක තැනක සිටි බවක් පෙනේ.

එමෙන්ම එදා ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාව සහ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මහතාව හමුදාව විසින් අත් අඩංගුවට ගත් පසුව, ආරක්ෂක ඇමති රංජන් විජේරත්නගේ නියෝග පරිදි ඔවුන්ව ඝාතනය කිරීමට පෙර රණසිංහ ප්‍රේමදාස මහතාට ඔවුන්ව හමුවුණේ නම් ඔවුන්ව ඝාතනය කිරීමට ඔහු ඉඩ නොදෙන බවත් කිව යුතුය. ඒ, ඊට වසර කිහිපයකට පෙර විජේවීර – ගමනායක – ප්‍රේමදාස සාකච්ඡාවක් ද සිදුව තිබුණු බැවිනි. ඔවුන් තිදෙනාම දෙවිදියකට එකම දේ කිරීමට උත්සාහ කළ අය වූහ. නමුත් එය ජනතාවට ඒත්තු ගැන්වීමට නොහැකි විණි. ( තොරතුරු තාක්ෂණය අද මෙන් දියුණු වී නොතිබුණු, ස්මාර්ට් ජංගම දුරකථන, වට්ස් ඇප්, ෆේස්බුක් නොතිබුණු, සාමාන්‍ය සන්නිවේදනය පවා බිඳවැටුණු සිවිල් යුධමය තත්වයක් රට තුළ තිබුණු එදා ප්‍රේමදාසටත් තොරතුර ලැබෙන්නේ විජේවීර ඝාතනය කිරීමෙන් අනතුරුව ය. )

රණසිංහ ප්‍රේමදාස එදා ‘ඇඟළුම් කම්හල් 200’ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී එය සුද්දියන්ට ජංගි මැසීමක් යනුවෙන් හෙළාදකිමින් අපිත් සිනාසුනෙමු. නමුත් අද රටේ ආර්ථිකය මේ මට්ටමෙන් හෝ පණ බේරාගෙන සිටින්නේ ඇඟළුම් කර්මාන්තයට පින් සිදුවන්නට ය. අපට එදා එය තේරුණේ නැත. එදා ප්‍රේමදාස ‘ගම් උදාව’ වැඩසටහන රැගෙන රටපුරා දුවද්දී එය නිධන් හෑරීමක් ලෙස හෙළාදකිමින් අපිත් ඊට සිනාසුනෙමු. එහෙත් අද අපට සිහිපත්කර ගැනීමටත් අපහසු තරම් අති දුෂ්කර මට්ටමේ තිබුණු ග්‍රාමීය ප්‍රදේශ කරා එයින් සංවර්ධනය ගලාගිය බව එදා අපට තේරුණේ නැත.

වසර 30 කට පසුව අප මේ ලියන්නේ හුදෙක් සමරු සටහනක්ම පමණක් නොවේ. මේ නිශ්චිත දේශපාලන සම්බන්ධයෙන් අපගේ පාපොච්ඡාරණය ද මෙහි අඩංගු ය. කොළ වේවා, රතු වේවා පාට කුමක් වුවත් ආණ්ඩුවකින් අපට අවශ්‍ය වන්නේ මානවයාගේ ජීවන තත්වය ඉලක්ක සහගතව දියුණු කිරීමයි. දුර්වලතා, අඩුපාඩු, වැරදි කොතෙක් තිබුණත් රණසිංහ ප්‍රේමදාස ඒ කාර්යය හොඳටම කළ බව අද අපට කිව හැකිය.

විශේෂයෙන්ම ‘ජනසවිය’ වැඩසටහන තවත් වසර කිහිපයක් එහි මූලික අරමුණු අනුවම යමින් කරගෙන යාමට ඔහුට අවකාශ ලැබිණි නම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දරිද්‍රතාවය පිළිබඳ කතාව අද වනවිට මීට වඩා බොහෝසෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණු බව පැහැදිලිවම කිව යුතුය. එදා රටේ තිබුණු තත්වය අනුව ප්‍රේමදාසට ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට හැකිවෙතැයි අප කියන්නේ නැත. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මූලික අඩිතාලම සකස් වුණි නම් රටේ ආර්ථිකය මීට වඩා ඉලක්ක සහගතව සංවර්ධනය දෙසට හැසිරවීමට ඔහුට පසුව පැමිණි ආණ්ඩුවලට පවා හැකිවන්නට ඉඩ තිබිණි. එහෙත් ඒ අවස්ථාව ලැබුණේ නැත.

‘දුප්පතාගේ හිතවතා’ යන නාමය ඔහු කෘතිමව පටබැඳගත් එකක් නොවේ. එය රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලනයෙන් ප්‍රතිලාභ ලැබූ දුගී දුප්පත් ජනතාව විසින් අවංකවම ඔහුට පටබඳින ලද නාමයකි. අපගේ තේරීම් කෙසේවුවත් නිදහස් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූයේ ජනමූල නායකයින් දෙදෙනෙකු පමණි. එයින් පළමුවැන්නා ආර්. ප්‍රේමදාස ය. දෙවැන්නා වූයේ මහින්ද රාජපක්ෂ ය.

නැවතත් වත්මන් දේශපාලනය දෙසට හැරෙමු. 1993 මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පෙළපාලියක ගමන් කරද්දී ආමර් වීදියේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතිවුණු හිඩැස වසර 30කට පසුව අදටත් පුරවා ගැනීමට නොහැකි වී තිබේ. එදා බිඳී විසිරුණු එජාපයේ සැලකිය යුතු කොටසක් සමගි ජන බලවේගය යටතේ ඒකරාශී කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාට හැකිවී තිබෙන බව ඇත්තය. එහෙත් ඒ සමස්තය නොවේ. අප කැමති වුවත් අකමැති වුවත් සමස්තය යළි ඒකරාශී කෙරෙන්නට නම් ඊට නාගරික ප්‍රභූ පැළැන්තියේ නියෝජනයත් එක්විය යුතුය.

ඒ අනුව, වසර තිහකට පසුව හෝ එදා නැවතුණු ගමන යළි ආරම්භ කරන්නට, රටේ දිළිඳුකම පිටුදකිමින් නිශ්චිත ඉලක්කයක් ඔස්සේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්නට මේ දෙපාර්ශ්වය යළි එකතු විය යුතුව තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan