නිශ්මං රණසිංහ මැයි 02, කොළඹ LNW:
සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක වදයෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාර වෙත පමණක් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර,ඔවුන් එයින් ගැලවීම සඳහා මරණයේ වගකීම මිය ගිය සිසුවාගේ පෞද්ගලික දුර්වලකම් වෙත පවරන්නට උත්සාහ කරමින් සිටියි.මීට පෙර ද අමාලි චතුරිකා නම් සිසුවියක මේ ආකාරයටම නවක වදය නිසා ජීවිතය අහිමි කර ගත් බවට වන මරණය සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින්නේය.එම සිඳුවීම සිඳු වන්නේ 2015 වසරේදීය.
සබරගමුව විශ්ව විද්‍යාලය නවක වදයට කොහොමත් ප්‍රසිද්ධය.ඊට විරුද්ධව නැඟී සිටි ආචාර්යවරුන්ගේ පෞද්ගලික දේපළවලට පවා හානි කර අවස්ථා ද එහි ඉතිහාසයට ඇතුළත්ය.එහෙත් ඒ කැපවීම් අත් නොහැර ඒ වෙනුවෙන් කළ කැපවීම සබරගමුවේ නවක වදය සම්පූර්ණයෙන් නවතා දමන තරමට පොහොසත් කර තිබිණ.චීත්ත ගවුම් ඇදීම රබර් සෙරෙප්පු පැළදීමේ සංස්කෘතියද හැකිලී යමින් තිබිණ.ඒ නිසා සබරගමුව වධකාගාරයක් කියන සමාජගතව තිබුණත්,එම සරසවියේ ගෙවුණු වසරවල උගත් සිසු – සිසුවියනට ලැබුණේ එම අත්දැකීමට වඩා වෙනස් සුහදශීලි පරිසරයක්ය.
එහෙත් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පත් කරන්නට යෙදුණ උප කුලපතිවරයාගේ පිවිසීමත් සමඟ යළිත් එම තත්ත්වය වෙනස් වන්නට ගෙන ඇත.ඔහු ශිෂ්‍ය සංගම්වලට එරෙහිව කටයුතු කරන්නට බිය ය.දැඩි විවේචනයට බඳුන් වූ පත්වීමක් වූ උපකුලපතිවරයාගේ පත්වීමෙන් ඉනික්බිති සිසු සංගම්වලට තිබුණ විරෝධය එක දිගට නොපැවති අතර ඔවුන් තමන්ට නටවන්නට ලැබුණ රූකඩය සමඟ යළිත් සබරගමු විශ්ව විද්‍යාලයේ සංස්කෘතිය වෙනස් කිරීමට පටන් ගත්තේය.චරිත් දිල්ෂාන් ගේ නවක වද මරණය සිඳුවන්නේ එහි දිගුවක් ලෙසය.
නව උපකුලපතිවරයා වැරදි කරන සිසුවෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණකදී කටයුතු කරන්නේ අපූරු ආකාරයටය.සිසුවා ගැන චෝදනාව කරන ආචාර්යවරයාම කැඳවා සිසුවා ඉදිරියේ ප්‍රශ්න කරන ආකාරය අපූරුය.
මේ සර් කියනවා ඔයා මේ වරද කරා කියලා ඒක ඇත්තද?
මේ වැරදි විමසන සබරගමු උප කුලපති ක්‍රමයය.
ඔහු සිසුවන්ගේ වැරදි ක්‍රියාවන්වලට මැදිහත් වන්නට ආචාර්යවරුන්ට ඉඩ නොදෙයි.ඔහු පවසන්නේ ඒවා භයානක අත්දැකීම් බවය.ඔහු 88 – 89 කාල වකවානුවල තවත් ආචාර්යවරයෙකු සමඟ ජයවර්ධනපුර සරසවියේ ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටි සමයේ ගංගොඩවිල හන්දියේ බෝඩ් ලැලී උස්සාගෙන සිටින්නට වූ අවස්ථාව සිහි කරමින් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ටද සිසු සංගම්වලට බියෙන් සිටින ලෙස අවවාද කරන්නේය.මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වැනි වියතුන් මරා දැමීම ගැන සිහිකර බියෙන් ඉවසා සිටින ලෙස අවවාද දෙන්නේය.
මේ නිසා අද වන විට ආචාර්යවරුන් නවක වද ක්‍රියාවන් මැඬලීම සඳහා ඉදිරිපත් නොවන තත්ත්වයක් ඇති වී ඇත.එවැනි මැදිහත්වීමක් කළහොත් ශිෂ්‍ය සංගම්වලට ඇතිවන තුරු තඩි බාන්නට ආචාර්යවරයා අල්ලාගෙන සිටීමේ වගකීම උප කුලපතිවරයා ගන්නා තැනට සරසවිය පත්වී ඇත.ඔහුට මේ වන විට ආචාර්යවරුන්ගේ කැමත්තක් නැති තරම්ය.කැමත්ත ඇත්තේ සමහර සිසුවියන්ට හොර රහසේ කැඳවා විභාගය සමත් කරවීම සඳහා අයුතු යෝජනා කිරීම වැනි අයථා ක්‍රියාවන්ට චෝදනා එල්ල වී ඇති සරසවි ගුරුවරුන්ගෙන් පමණි.ප්‍රකට දේශපාලනඥයන්ට සමිපව නැකම් ඇති එවැනි ගුරුවරුන්ට ඇති එවැනි චෝදනා සම්බන්ධයෙන් උප කුලපතිවරයා ක්‍රියාත්මක වන්නේ නැත.සිසු සංගම් ද ඒ ගැන වැඩිය තකන්නේ නැත්තේ ඔවුන්ට හිතූ හැටියට පිණුම් ගසන්නට උප කුලපතිගෙන් ලැබී ඇති ඉඩ නිසාය.
මේ ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුද එහි ආචාර්යවරු ලෙස කටයුතු කර ඇත.ඔවුන් මේ උපකුලපතිවරයාගේ තත්ත්වය හොඳින්ම දන්නේය.හැබැයි ආණුඩුවට අවශ්‍යය දෙයක් කර ගැනීමට ඔහු වැන්නෙකු ඉතාමත් වටිනා බව ද දන්නේය.එතරම්ම සුවච කීකරු බැවින් මේ උපකුලපතිවරයා සම්බන්ධයෙන් තිබුණ විවේචන සියල්ල හකුලා ගෙන සිය දේශපාලන උවමනාවන්ට කීකරු කර ගත හැකි පහසුම පුද්ගලයා එම අසුනේ තියාගෙන සිටිනවා ද විය හැකිය.
කෙසේ වුවත් මේ මරණයේ අපකීර්තිය සමස්ත සබරගමුව සරසවියම දරා ගත යුතුය.උසස් පෙළ ප්‍රතිපල පැමිණිමෙන් ඉනික්බිති සිඳු වූ මරණය සමඟ මේ තත්ත්වය නිසා සබරගමුව සරසවියට සිය දරුවන් එවන්නට දෙමව්පියන් විශාල පිරිසක් අකමැති වනවා සැක නැත.එසේම නවක සිසුන් ද ඒමට කැමති නොවනු ඇත.මේ නිසා උසස් පෙළ ඉහළ ප්‍රතිපල ලබන පිරිස වෙනුවට පසුපස සිටින අයට ඒ සඳහා අවස්ථාව ලැබෙනු ඇත.කාට හෝ සරසවි අධ්‍යාපනය ලැබෙනවානම් අප ඊට කැමති වුව,සරසවියේ ක්‍රියාකාරීත්යේ ගුණාත්මකභාවයේ ගැටළුවක් නිසා සුදුසුම කෙනා එහි නොපැමිණෙන්නේනම් එහි ගැටළුවක් තිබෙන බව රටක් හැටියට කල්පනා කළ යුතු දෙයක්ය.
දැන් ගැටළුව සමාජය තුළ පවතින්නේ මියගිය සිසුවාගේ සහ ශිෂ්‍ය සංගම්වල ගැටළුවක් හැටියටය.මේ නවක වදයට සෘජුවම සම්බන්ධ බවට සිසුන් තිදෙනෙකු සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තිද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් ඇත.ඒ සියල්ල ගැන පරීක්ෂණ සිඳු කළ හැකිය.එහෙත් මේ සියල්ල සිඳුවන්නේ පසුගිය වසර කිහිපයක ඇවෑමෙන් සබරගමුව සරසවිය ශිෂ්‍යයන්ට වදකාගාරයක් නොවන තැනට පත්ව තිබීම නැවත වෙනස් කිරීමට බලපෑ පාලනාධිකාරයේ නිද්‍රාශීලීත්වය නිසා බව කිසිවෙකු කතා නොකරනු ඇත.ඔවුන් වරදකරුවන් ද නොවනු ඇත.
රටේ අනාගතයට වැදගත් කෙනෙකු මිය ගොස් ඇත.ඊට වැරදිකරුවන් ලෙස ඊට ආසන්න වයසේම,උගතුන් ලෙස සමාජයට පිවිසෙන්නට සූදානමින් සිටි පිරිසක් සමහර විට නීතිය ඉදිරියේ දඬුවම් ලබන්නට ඉඩ ඇත.එහෙත් ඒ තාරුණ්‍යය නිසි ලෙස කළමණාකරනය කරන්නට අධ්‍යාපනය වෙනුවෙන් සතුටුදායක බිමක් සකස් කර දෙන්නට රජයෙන් වගකීම පැවරුණු නායකත්වය තව දුරටත් උගතෙකු වියතෙකු ලෙස,අපරාධයට පරිසරය සකසා දී, මේ සමාජයේ ඉහළ වරප්‍රසාදලාභි පුරවැසියෙකු ලෙස හැසිරෙනු ඇත.
මේ සියල්ල දන්නා පිරිස් සබරගමුව සරසවිය මේ ඛේදණිය ඉරණමට රැඟෙන ගිය සහ රැඟෙන යන පුද්ගලයා සම්බන්ධයෙන් නිහඬව තමන් සරසවිය තුළ කළ භූමිකාවේ ආකල්ප වළලා අමාත්‍යවරු මන්ත්‍රීවරු ලෙස පත්වීම ලැබ බලා සිටිති.එක ජීවිතයක් අහිමි වූ පසුව හෝ ඉදිරියට පැමිණ සරසවි පාලනය වෙනස් කරන්නට තමන් සතු තොරතුරු සමඟ ඔවුන් කතා කරයිද?රජය මේ උපකුලපතිවරයාම දරාගෙන සිටීම ප්‍රශ්න කිරීම නොකර නිහඬව රජයේ අක්‍රීයත්වය ඉවසයිද?
අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ විජේදාස රාජපක්ෂ පොලිස් කොමිසටම කියා යැවූ ලිපියක සඳහන් වන බව දැක් වේ.එවකට තත්ත්වයද එබඳු වේ නම් මේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වත්මන් පරිපාලනයේ බියගුළු ස්වභාවය මත සාධාරණයක් ඉටු වේද යන්න සැළකිල්ල යොමු විය යුතු කරුණකි.
මේ මොහොතේ නවක වදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ඇසුරු කරන අචිනි ඉෂාරා සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති සටහනක් ද සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් ඇත.එයද අතිශයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන කෙනෙකුට වැදගත් බැවින් පහතින් එයද අමුණා තබමි.
// නවකවදය සහ ශ්‍රී ලංකාවේ නීතිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ, මූලික අයිතිවාසිකම් තුළ වධහිංසා වලින් තොරවීමේ අයිතිය තහවුරු කර තිබේ. ඒ අනුව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව , “විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකමක් කඩවූ විට හෝ කඩවීමට අත්‍යාසන්න වූ විට, එතැන් සිට මාසයක් ඇතුලත ඔහු විසින්ම හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ට පෙත්සමක් ගොනු කළ හැකිය”. ඊට අමතරව,
|1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතන වල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත|..
පනත ප්‍රකාරව නවකවදය යනු,
අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ශාරීරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදුකරන හෝ සිදුකිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් අදහස් වේ.
- (1)අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ ඉන් පිටතදී හෝ නවකවදය සිදුකරන්නා වූ හෝ එහිලා සහභාගි වන්නා වූ යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකරුවෙකු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට,අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සදහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතුය. තවද වරද සිදුකරනු ලැබුවේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද , ඒ තැනැත්තාට සිදු කරන ලද හානිය සදහා අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දි ගෙවන ලෙසද, ඒ පළමුව සදහන් කළ තැනැත්තාට ආඥා කරනු ලැබිය හැකිය.
- අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයෙකුට හෝ කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ නවකවදය සිදුකරන අතරතුර , ඒ ශිෂ්‍යයාට හෝ සාමාජිකයාට ලිංගික අතවරයක් හෝ බරපතළ තුවාල සිදුකරන්නාවූ යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත් ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු 10ක් නොඉක්මවන කාලයක් සදහා බන්ධනාගාරගත කරනු ලැබීමකට ඒ තැනැත්තා යටත් විය යුතුය.තවද වරද සිදුකරනු ලැබුවේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද , ඒ තැනැත්තාට සිදු කරන ලද හානිය සදහා අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දි ගෙවන ලෙසද, ඒ පළමුව සදහන් කළ තැනැත්තාට ආඥා කරනු ලැබිය හැකිය.
ඊට අමතරව නවකවදය යටතේ විවිධ වදහිංසා සම්බන්ධව සහා ඒවාට අදාල දඩුවම් පිළිබඳව පනත තුළ අර්ථ දක්වා ඇත. ඒ යටතේ,
සාපරාධී භය ගැන්වීම
අඩස්සියට ගැනීම
අයුතු ලෙස අවහිර කිරීම
අයුතු ලෙස සිර කර තැබීම
අධ්‍යාපන ආයතනයක දේපලෙහි බලහත්කාරයෙන් පදිංචි වීම හා ඒ දේපලට අලාභ හානි සිදුකිරීම.
ලෙස වැරදි සහා ඒවට අදාල දඩුවම් දක්වා ඇත.
ඒ අනුව ඉහත දක්වන ලද ඕනෑම වරදක් සම්බන්ධව වැරදිකරු වුවහොත්, පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව, අධිකරණය විසින් වරදේ බරපතළකම සැලකිල්ලට ගෙන,
(අ) වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයකු වන යම් විටක ඒ තැනැත්තා ඒ ආයත්නයෙන් නෙරපන ලෙස ආඥා කරනු ලැබිය හැක.
(ආ) වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන යම් විටක, ඒ තැනැත්තා ඒ අධ්‍යාපන ආයතනයෙන් පහකරන ලෙස ආඥා කරනු ලැබිය හැකිය.
පනතෙහි 2(2) සහ 4 වගන්තිය යටතේ වූ යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන්,
වරදකරු කරනු ලැබූ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් වන විට, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 වන වගන්තියේ විධිවිධාන අදාල නොවිය යුතුය. ( එනම් ඒ යටතේ නියම කරනු ලැබූ සිරදඬුවම් අත්හිටුවිය නොහැක)
මෙම පනත යටතේ වූ සියලුම වැරදි සංඥය වැරදි වේ. ( වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි වැරදි )
ඇප හිමිවීම.
මෙම පනතේ 2 වන වගන්තියේ (2) වන උපවගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් සැක කරනු ලැබූ හෝ චෝදනා කරනු ලැබූ තැනැත්තෙකු , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද මහාධිකරණය ක විනිශ්චයකාරවරයා විසින් හැර, ඇප පිට මුදා හරිනු නොලැබිය යුතුය. ඇප ලබා දීමෙහිලා ස්වකීය අභිමතය ක්‍රියාත්මක කිරීමට, එම විනිශ්චයකාරවරයා විසින් 1997 අංක 30 දරණ ඇප පනතේ 14 වන වගන්තියේ විධිවිධාන කෙරේ සැළකිල්ලක් දැක්විය යුතු වෙයි.
මෙම පනතෙහි 2 වන වගන්තියේ (2) උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදකට වරදකරු වූ තැනැත්තෙකු වෙනුවෙන්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, එම තැනැත්තා වරදකරු බවට තීරණය කල අධිකරණය විසින්, වරදෙහි බරපතල කම හා එම තැනැත්තාගේ පූර්ව ක්‍රියාකාරීත්වය සැළකිල්ලට ගෙන ඔහුව ඇප මත මුදා හැරිය හැකි වෙයි. නැතහොත් මුදා හැරීම ප්‍රතික්ෂේප කල හැකිවේ.
ඒ අනුව, මෙවැනි කැපීපෙනෙන නීති පැවැතියද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ ඇතැම් අඩුපාඩුකම් තිබීමත් සමාජය තුළ පවතින්නා වූ නොදැනුවත්කම නිසාවෙනුත් අදවනතුරුත් නවකවදය සම්බන්ධව ඇතැම් ශෝකජනක සිදුවීම් අසන්නට ලැබේ.නීතිය නිසියාකාරව දැනගෙන මේ සදහා දැඩි සේ විරුද්ධ වෙමු. //

ඡායාරූපයේ සිටින්නේ අමාලි චතුරිකා සහ චරිත් ඩිල්ෂාන් ය.
