සඳුදාටවත් මහින්දව ගෙදර යවන්නම නම් එකම විකල්පය රනිල් …?

Date:

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවක් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතත් එය ස්ථිර වශයෙන් ඉටු කරවා ගැනීමට නම් කළ හැකි එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීම පමණක් බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ රනිල් වික්‍රමසිංහ මහතා එහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගැනීම පිළිබඳ කතාව දේශපාලන කරළිය තුළ ඉස්මතු වෙමින් යට යමින් පැවතියේ මීට මාස ගණනකට පෙර සිටම ය. ඇත්තෙන්ම ඒ වනවිට මේ දේශපාලන අර්බුදය මේ ආකාරයෙන් පුපුරා යන ලකුණුවත් පහළ වී තිබුණේ නැත.

කෙසේවෙතත් ඒ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ සංවාද තුළ පවා රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ 100%ක් ස්ථිර මතයක නොවන බවත් අපි මීට පෙර වාර්තා කළෙමු. ඒ අයුරින්ම අර්බුදය පුපුරා යන මොහොතේදීත් අගමැති ධුරය පිළිබඳ යෝජනාව විවෘත වෙද්දී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ මහජනතාවගේ පදනමක් නොමැතිව තමන්ට එම ධුරය භාරගත නොහැකි බවකි.

ඔය සියල්ල අතරේ දැන් අර්බුදය කරකැවෙමින් පවතින්නේ මීළඟ අනුප්‍රාප්තිකයා ඉදිරිපත් වනතුරු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කිරීමත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදුසුකම් ඇති කිසිවෙකු ඉදිරිපත් නොවීමත් වටා ය.

අද (07) දිනය වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම සිය මතය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, අන්තර්වාර පාලනයට කිසිසේත්ම සම්බන්ධ නොවන බව ය.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය අග්‍රාමාත්‍ය ධුරයට හිමිකම් නොකියන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගතහැකි වුවත් එවන් පත්කිරීමක් හුදෙක් තමන්ව රැවටීමක් මිස කිසිදු වෙනසක් වශයෙන් ජනතාව භාර නොගැනීම අනිවාර්යයකි. අනෙක් අතට රටේ පවතින සංකීර්ණ අර්බුදකාරී තත්වයට යන්තම් හෝ මුහුණ දීගත හැකිවෙතැයි සිතිය හැකි මට්ටමේ පුද්ගලයෙකු පොහොට්ටුවට ඇත්තේ ද නැත. විමල්, ගම්මන්පිල, වාසුදේව සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කුඩා පක්ෂ සන්ධානය ද අග්‍රාමාත්‍ය ධුරයට ආශාවෙන් සිටියත් ඔවුන්ට එය භාරදීම යනු රටක් වශයෙන් ශ්‍රී ලංකාව සියදිවි හානිකර ගැනීමකට සමාන වනු නියතය. එහෙයින් අවසානයේ නැවතත් ඉතිරි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණි.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ නම් කිසිදු දෙගිඩියාවකින් තොරව ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවත් දේශපාලන ක්ෂේත්‍රයේ තතුදත් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. මේ ආකාරයෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව ද මහින්ද රාජපක්ෂ මහතා සමග සාමකාමී බලහුවමාරුකට පැමිණියේ වික්‍රමසිංහ මහතා ය. එය දෙවැනි වතාවටත් කිසිදු සැකයකින් තොරවම ඉටුකරගත හැකි වනු ඇතිය යන්න ඔවුන්ගේ මතය වී තිබේ.

කෙසේවෙතත් අප යළිත් ප්‍රශ්නයෙහි මුලට පැමිණියහොත් පසුගිය අප්‍රේල් 03 වනදා රාත්‍රියෙහි එතෙක් පැවති කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වුණු නමුත් ප්‍රශ්නය විසඳීම කෙරෙහි පියවරක් හෝ ඉදිරියට නොයා සියල්ලන්ටම හිරවීමට සිදුවුණේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. දැන් මාසයකටත් වඩා කාලයක් නාස්ති වී ඇති අතර අපි ලබන සඳුදා දිනය ගැන බලාපොරොත්තුවෙන් සිටිමු. තවත් මෙය දුර ඇදෙනවාට වඩා නම් සුදුසු වන්නේ ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක වන තැනකට පියවර ගැනීම ය. වික්‍රමසිංහ මහතාව පිළිගැනීමට පොහොට්ටුව සූදානම් නම් එය පමණක්ම ප්‍රමාණවත් වනු ඇත.

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...