කොළඹ LNW:ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය දීමට සූදානම් බව ප්‍රකාශයක් නිකුත්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව ඇති බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ. ඒ අනුව රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බව හෙතෙම කියාසිටියි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත් මොවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් විපක්ෂ නායකයා කියාසිටියි.
රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා ඇති බවත් රටේ ජනතාව සත්‍යවාදී මහජන සේවාවක් අනුමත කර ඇති බවත් බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි කියන ජන මතය තුළ මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බව හෙතෙම අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
