කොළඹ LNW:2025 පළාත් පාලන මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් වී තිබෙන අතර මැතිවරණයේ සමස්ත ජයග්‍රහණය මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන තිබේ. ජන්ද 45,03,930ක් ලබා ගනිමින් පළාත් පාලන ආයතන 265ක බලය තහවුරු කර ගැනීමට මාලිමාව සමත් වී තිබෙන අතර ඒ 43.26%ක ජන්ද ප්‍රතිශයකිනි. සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශයද 61%ක මට්ටමක පැවතුණු අතර 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය හා සැසඳීමේදී මාලිමාව සිය ජයග්‍රහණය තුන්වෙනි වරටත් තහවුරු කර තිබෙන ආකාරය පෙනෙන්නට ඇත.
2018 වසරේදී ජන්ද 50,17150ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 226ක බලය පවත්වාගෙන යන ලදී. කෙසේවෙතත් මෙවර පොහොට්ටුව අභිබවා යමින් තනි පක්ෂයක් විසින් අත්පත්කරගත් වැඩිම පළාත් පාලන ආයතන ප්‍රමාණය මාලිමාව විසින් ලබාගෙන ඇති අතර එය දැක්වෙන්නේ 265ක් ලෙසයි.
මෙම පළාත් පාලන මැතිවරණයේ සුවිශේෂී තැනක් ලෙස කොළඹ මහ නගර සභාව දැක්විය හැකියි. එජාප බල කණුවක් ලෙස දැක්විය හැකි තැනක් වුවත් පසුගිය කාලය පුරා පැවති දේශපාලන ක්‍රියාකාරකම් සමඟ ඇති වූ මහජන මතයේ වෙනස්වීමත් සමඟ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද කොළඹ බලයත් මාලිමාවට ඉදිරියෙන් ලියැවුණි. එවැනි පසුබිමක 2025 පළාත් පාලන මැතිවරණයට ප්‍රවේශ වීමත් සමඟ මාලිමාවද කොළඹ බලය අත්පත්කරගැනීම වෙනුවෙන් විශාල මහන්සියක් ගත් ආකාරය දක්නට ලැබුණු අතර ඔවුන් නගරාධිපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම්කරන ලදී. එජාපයේ සිදුව ඇති ඛණ්ඩනය හේතුවෙන් එජාප බහුතරය සමගි ජන බලවේගය වටා ගොණු වී තිබෙන පසුබිමක ඔවුන් මාලිමාව සමඟ සටනට තෝරාගත්තේ ආචාර්ය, රුවේස් හනීෆා ය. ඒ අනුව පැවති දේශපාලන පසුබිම මත මෙම ද්වන්ද සටන දැන් නිමා වී තිබේ. තනි පක්ෂයක් ලෙස මාලිමාව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 117න් 48ක් ලබා ගෙන ඇති අතර සමඟි ජන බලවේගය 29ක් එක්සත් ජාතික පක්ෂය 13ක් පොහොට්ටුව 5ක්,ලංකා මුස්ලිම් කොංග්‍රසය 4ක්,සර්වජන බලය 2ක්,එක්සත් සමඟි සන්ධානය 2ක් යනදී ලෙසත් තවත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී ආසන 14ක් දිනාගෙන තිබේ. මෙම ප්‍රතිඵලයට අනුව ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය අභිබවා කොළඹ මහ නගර සභාවේ වැඩි මන්ත්‍රී ආසන විපක්ෂ තුළ බෙදී ගොස් ඇත.
මෙම පසුබිම මත මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී පැහැදිලි ලෙසම මාලිමාවට අභියෝගාත්මක තත්ත්වයක් පැන නගින අතර විපක්ෂයට ද එක්වී එහි බලය ස්ථාපිත කළ හැකිය. මේ වන විට සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇති පරිදි විපක්ෂයේ කණ්ඩායම් එක්කරගනිමින් ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයා සමඟ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමඟිය සූදානම්ය. සමඟියේ නායකත්වය ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පවසා තිබෙන්නේ විපක්ෂය බහුතර අසන ප්‍රමාණයක් ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා එම කටයුතු පවත්වාගෙන යාමට නායකත්වය දීමට සූදානම් බවයි.
එමෙන්ම මාලිමාව සිය ප්‍රතිපත්තිය එලෙසම පවත්වාගෙන යමින් පසුගිය මැතිවරණවලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සමඟ එකතු වී බලය පිහිටුවීමට සූදානම් නැති බවත් චෝදනා එල්ල වී නොමැති ස්වාධීන කණ්ඩායම ඇතුළු පාර්ශව සමඟ ඉදිරියට යාමට උත්සහ කරන බවත් පවසා තිබේ. ඒ අනුව මලිමාවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පූරණය කර ගැනීමට හැකි වනු ඇත්ද යන කාරණයද මෙහිලා මතු වෙයි. කෙසේවුවත් මේ වන විට කොළඹ බලය ඇල්ලීමට සමඟියද පිට්ටනියට පිවිස සිටීම තුළ ඔවුන්ට පක්ෂයක් ලෙස ඇත්තේ ආසන 29 නිසා එජාපය,පොහොට්ටුව ඇතුළු පක්ෂවල සහය ගැනීමට සිදුවීම අනිවාර්ය කාරණයකි. සමාජයට පෙන්වා තිබෙන මතවාදීමය කරුණු සමඟ එකිනෙකට වෙනස් ආස්ථානයක් සමඟ සිටින කණ්ඩායම්වලට එකට එක්විය හැකිද මෙන්ම එය කොතෙක් දුරට සාර්ථක ද? යන ප්‍රශ්නයද මෙහිදී මතුවෙයි.
අනෙක් පසින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මෙන්ම මැතිවරණ ක්‍රමයේ පවතින ගැටළු සහගත තැන් ගැනද සමාජයක් ලෙසම අවධානය යොමුකළ යුතුය. මේ වන විට සමාජය තුළ මතුව තිබෙන සංවාදයේ කොටසක් ලෙස ආණ්ඩු බලය පවතින මාලිමාව තනි පක්ෂයක් ලෙස බහුතර අසන ප්‍රමාණයක් ගත්තද ඇතැම් තැන්වලදී ඔවුන්ගේ එම අසන ප්‍රමාණය අභිබවා විපක්ෂයේ සියලුම ආසන ප්‍රමාණය වැඩිවීම හමුවේ විපක්ෂයේ කණ්ඩායම්වලට එකතු වී සභාවන්හි බලය පිහිටුවීමට ඇති නීතිමය අවසරය ප්‍රජාතන්ත්‍රවාදයට, මහජන අපේක්ෂාවන්ට කොතරම් දුරට ගැළපෙන්නේ ද යන්නයි.
කෙසේ හෝ බෙදුම් රේඛාව හරි හැටි නිශ්චිත කරගැනීමට නොහැකි වීම තුළ රටේම අවධානය දිනාගෙන සිටින කොළඹ මහ නගර සභාවේ බලය කාටද යන්න තීරණය හමුවේ ඉදිරි දේශපාලන දිශානතියන් පිළිබඳ අදහසක් ගැනීමට හැකිවනු ඇත.
