සටහන – නිශ්මං රණසිංහ
මැයි 09, කොළඹ (LNW):ශ්‍රී ලංකා දැල්පන්දු නිලවරණයේදී, යාපනය දිස්ත්‍රික්කයෙන් පැමිණි නාම යෝජනාවකට ක්‍රීඩා නිලධාරිනියක් අත්සන් තබා තිබීම නිසා නාම යෝජනාව පිළිනොගන්නටත්,එම සංගමයට නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කරන්නටත් නිලවරණ කමිටුව පියවර ගෙන තිබෙනවා.
යාපනය දිස්ත්‍රික් සංගමය පාර්ශවයෙන් ලැබෙන තොරතුරු වලට අනුව,නිලබරණය සඳහා ලබා දෙන උපදෙස්වලදී,ක්‍රීඩා නිලධාරණයකට අත්සන් තැබීමට නොහැකි බව සඳහන්,කිසිදු ලේඛනයක් ඔවුන් වෙත යොමු කර නැහැ.ඒ නිසාම,වෙනත් දිස්ත්‍රික් සංගම්වල ක්‍රීඩා නිලධාරිනියන් සහ නිලධාරීන් අත්සන් තබා නාමෝජනා ඉදිරිපත් කර තිබෙන බවත්,මේ නිලවරණ කමිටුව ඒවා පිළිගෙන තිබෙන බවත් වාර්තා වෙනවා.
යාපනයට නොලැබුණු අවස්ථාවක්,වෙනත් සංගම් වලට ලැබෙන්නේ,ඊට එරෙහිව විරෝධතා නැගුනේ නැති නිසා බවට නිල වර්ණ කමිටුවට තර්කයක් ගොඩනැගිය හැකියි.එහෙත් නාම යෝජනා පත්‍ර පරීක්ෂා කිරීමේදී,එවැනි නාමයෝජනා පත්‍ර හතරක් නීත්‍යානුකූල මට්ටමෙන් ඇත්දැයි නැද්දයි පරීක්ෂා කිරීම සිදු වී නැති බව නම් හැඟෙන්නේ,නිලවරණ කමිටුව තමන්ගේ රාජකාරිය නිවැරදිව කර නැති බව පැහැදිළියි.
විශේෂයෙන්ම මේ දේ සිද්ධ වෙන්නේ ලංකාවේ ප්‍රධාන ජාතිය අතින්,නොපනත්කම් සිදුවූ බවට චෝදනා කරමින්,වසර තිහක් තිස්සේ පැවති,මෙරටේ යුද්ධයට තුඩු දුන් ප්‍රදේශයක ක්‍රීඩාව සඳහා පිවිසි සංගමයකටයි.එවැනි යුදමය තත්ත්වයකට සහ දකුණේ පාලනය සම්බන්ධ අවිස්වාසයකට තුඩු දුන් කාරණා ද,යුද්ධයක් දක්වා වර්ධනය වන්නේ දේශපාලනයේදී මෙන්ම,වෙනත් ඉහළ පරිපාලන කමිටු හරහා සිදුවූ අතපසුවීම් නිසා බව ඉතිහාසය හදාරන්නෙකුට පැහැදිළි කර ගැනීම අපහසු නැහැ.
ඒ ආකාරයෙන් බලන විට, යුද්ධයෙන් පසුව තවමත් උතුරේ ප්‍රජාවට බලපාන සමාජීය ගැටලු සම්පූර්ණයෙන් විසඳී නැති මොහොතක,ක්‍රීඩාව වැනි වින්දනාත්මක සහ සෞඛ්‍යමය කාරණා හරහා නැවත උතුරේ ප්‍රජාව ශ්‍රී ලංකාවේ පොදු සමාජය සමඟ එකතු වෙමින් තිබෙන මාර්ගයට,නිලවරණ කමිටුව විසින් කරන ඇති මේ බාධාව ඇතැම් විට අනාගතයේදී සාකච්ඡා කළ හැකි ඓතිහාසික වැරැද්දක් විය හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයත්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් කල්පනාවට ගත යුතුයි.
ගැටලුව ඇත්තේ නිලවරණ කමිටුව සියලු සංගම්වලට සමානව නොසළකා යාපනයේ දිස්ත්‍රික්කය පමණක් වැරදිකරුවන් කිරීමයි.එය නෙට්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩාවට පමණක් නොවන,ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය අපේක්ෂා කරන ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේද,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මැවීම සිදු කරනවා.
ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හෝ එතුමා විසින් පවරන ලද බලයක් අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ මේ නිලවරණය සඳහා ඉදිරිපත් වී ඇති සියලු නාමයෝජනා පරීක්ෂාවට ලක් කළ යුතු වෙනවා.එසේ පරීක්ෂා කර යාපනය දිස්ත්‍රික්කයේ නාම යෝජනාව පිළිගෙන නැත්තේ ක්‍රීඩා නිලධාරියෙකුගේ අත්සනක් පදනම් කරගෙන නම්,ඒ ආකාරයටම නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන සෙසු සංගම් වලද නාමයෝජනා පිළිනොගෙන ඡන්ද බලයද අහෝසි කළ යුතු වෙනවා.එසේ නොමැති නම් සෙසු සංගම්වල ඡන්ද බලය පිළිගත් ආකාරයටම යාපනය දිස්ත්‍රික්කයට ඡන්දය බලය ලබාදීමත්,එහි සාමාජිකාවට නිලවරණයට සහභාගි වීමට අවසර දීමටත් සිදුවෙනවා.
ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ නාම යෝජනාව පිළිනොගැනීම සහ එහි ඡන්ද බලය ප්‍රතික්ෂේප කිරීම සිදුවී ඇත්තේ නිලවරණ කමිටුව විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කර තිබේදීද යන්න සොයා බැලීමයි.
මෙවැනි තත්ත්වයක් මත නෙට්බෝල් නිලවරණය පැවැත්වුවහොත්,ආසියානු කුසලාන තරගාවලියේ පෙනෙන මානයේ ශ්‍රී ලංකා නෙට්බෝල් සඳහා නෛතික වාරණයක් පැනවෙන්නට ඉඩ තිබෙනවා.එයද ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුයි.
විශේෂයෙන්ම මෙහිදී මේ රටේ සුළු ජාතික ප්‍රජාවක් නියෝජනය කරන දිස්ත්‍රික් සංගමයකට වෙනස් ආකාරයේ සැලකීමක් කර ඇත්නම්,නිලවරණ කමිටුව විසින් එය නෙට්බෝල් ක්‍රීඩාවට පමණක් කරන හානියක් නොවන බවත්,අසීරුවෙන් ලෝකය ඉදිරියේ ආර්ථික හා සමාජයීය වශයෙන් හිස ඔසවමින් තිබෙන ශ්‍රී ලංකාවටද කරන හානියක් බව ක්‍රීඩා අමාත්‍යවරයාත්,ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීනුත් තේරුම් ගත යුතුයි.
